ආසියානු කුසලාන තරගාවලියෙන් අපට ඩොලර් මල්ලක්!

465

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත්, තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ සේවකයින් වෙනුවෙන් වන රක්ෂණාවරණ ආයතනය ඒ සඳහා එකඟත්වය පළ නොකිරීම, මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණාත්මක සාධකය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය.

ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම සම්බන්ධව පෙරේදා (03 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා ඉහත අදහස් පළ කර සිටියේය. මෙම මාධ්‍ය හමුව සඳහා ලේකම් මොහාන් මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද සහභාගි වී සිටියහ.

“අපි සෑහෙන්න උත්සාහ කළා මේ තරගාවලිය ලංකාවේ පවත්වන්න. නමුත් ඔවුන් එක්ක ඝට්ටනයකට යන්න උවමනා වුණේ නෑ. බොහොම සුහදතාවයෙන් අපි කටයුතු කළේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ සභාපති ශම්මි සිල්වා මහතා. ඔහුගේ උත්සාහය. අනිත් අයව උනන්දු කරවලා තරගාවලිය ලංකාවේ පවත්වන්න ඔහු සෑහෙන්න උත්සාහයක් ගත්තා. නමුත් විකාශන අයිතිය හිමි රූපවාහිනි ආයතනයේ කාර්යය මණ්ඩලය රක්ෂණය කර තිබෙන රක්ෂණාවරණ ආයතනය කැමැති වුණේ නෑ ඔවුන්ට ඒ රක්ෂණාවරණය ලබා දෙන්න. ඒක තමයි තීරණාත්මක සාධකය වුණේ’ යැයි මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

යම් ලෙසකින් ජූලි මසදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකියාව තිබුණේ නම් එය මෙම තරගාවලියට ධනාත්මක ආකල්පයක් එක් කරවීමට හේතු කාරණාවක් වීමට ඉඩ තිබූ බවත් සඳහන් කර සිටි ක්‍රිකට් ලේකම්වරයා, එය කල් දැමීමට සිදුවීම ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම පසුබෑම බවයි.

“ප්‍රධානම පසුබැසීම තමයි එල්.පී.එල්. තරගාවලිය කල්දාපු එක. අපිට ඒ තරගාවලිය පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් මං හිතන්නේ නෑ මෙච්චර ප්‍රශ්නයක් පැන නගියි කියලා. නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මුදල් ලබා ගන්නේ මේ වගේ තරගාවලියකින්. අවුරුදු 3 කින් විතර මේ තරගාවලිය පවත්වලා තිබුණේ නැති නිසා එයාලටත් මුදල් අවශ්‍යයි. නමුත් එයාලා උත්සාහ කළා මේ තරගාවලිය ලබා දෙන්න. ඒත් මේ ආකාරයේ ලොකු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන කොට එහි අවදානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුණා. තරගාවලිය අතරතුරදී යම් විදියකින් මොකක් හරි අකරතැබ්බයක් වුණොත් එහෙම ඔවුන් අපිට දොස් කියාවි. එහෙම වුණොත් ඒ රටවලටත් විශාල මුදල් අලාභයකට මුහුණ දීමට සිදුවෙනවා’ යැයිද ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය. කෙසේ වෙතත් අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට හිමිවීම සතුටට කරුණක් බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.

“ඇත්තටම මේ තරගාවලිය ලංකාවේ පැවැත්වූවා නම් අපිට තරගාවලිය පැවැත්වීමේ ගාස්තුව හැටියට ඩොලර් මිලියන දෙකහමාරක් එයාලා ලබා දෙනවා. ඒ වගේම තරගාවලියේ ලාභයෙන් ලැබෙන කොටස අඩුම ගාණේ මිලියන දෙකහමාරත් තුනත් අතර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා එයාලා අපිට ඩොලර් මිලියන දෙකහමාරක් සම්පූර්ණයෙන්ම දෙනවා. ඊට අමතරව ටිකට් සල්ලි වලින් තව ඩොලර් මිලියන එකහමාරක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊටත් අමතරව තරගාවලියේ ආදායමේ කොටසෙන් තවත් ඩොලර් මිලියන 2.5 ත් 3 ත් අතර මුදලක් අපිට ලැබෙනවා. ඒ අනුව සම්පූර්ණ ආදායම විදියට ඩොලර් මිලියන 6.5 ක් විතර අපි මේ තරගාවලියේදි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා’ යැයි මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment