ආසියානු කුසලාන සත්කාරකත්ව නැති වුණොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5ක පාඩුවක්

302

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට නොලැබී යෑමේ වැඩි අවදානමක් මේ වන විට උද්ගත වී තිබේ. ඒ අනුව එහි සත්කාරකත්වය අහිමිව ගියහොත් ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව ඩොලර් මිලියන 5ක ආසන්න බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය. කරුණු එසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවරත්වය සහ අර්බුදකාරී තත්ත්වය මත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකි දැයි නැවත වරක් කරුණු විමසිය යුතු යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක අයි.පී.එල් තරගාවලියෙන් අනතුරුව ඒ පිළිබඳ නැවතවරක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව වසර 4කට පසුව හිමි වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියහොත් එහිදී සිදුවන පාඩුව ඩොලර් මිලියන 5ත් 6ත් අතර වේ. ඒ අනුව යම් හෙයකින් අදාළ තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට අහිමිව ගියහොත් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අස්ථාවරභාවයට එය තවත් තල්ලුවක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට කියා සිටියේය.

කෙසේ වෙතත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට ලබා දෙනවාද නැද්ද යන්න ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ වන විට දෙලොවක් අතර සිටින අතර එය බොහෝ දුරට ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් පවතී.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment