ආසියානු කුසලාන සත්කාරකත්වය ස්ථිර වෙයි – තරගාවලියේ දින වෙනසක්

686

ශ්‍රී ලංකාවේ ආර්ථික අවිනිශ්චිතභාවය සහ දේශපාලනික කැළඹීම් හේතුවෙන් සත්කාරකත්වය දැරීම අවිනිශ්චිත තත්ත්වයක පැවැති 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම මේ වනවිට ස්ථිර වී තිබේ. ඒ අනුව ලබන අගෝස්තු මස 27 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමේදී තීරණය වූ පරිදි 18 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට පෙර අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට දින වෙන්කර තිබුණි. කෙසේ වෙතත් කණ්ඩායම් කිහිපයක් විසින් කළ ඉල්ලීමකට අනුව එම දිනවකවානු වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අතර විශේෂයෙන් පාකිස්තාන කණ්ඩායම ලබන සැප්තැම්බර් මස අගදී එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමට නියමිත අතර මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ දින වෙනස් කිරීමට ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ලැබීමට ශ්‍රී ලංකාව සුදුසු මට්ටමක ඇත්දැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡාවක් පෙරේදා පැවැති අයි.පී.එල් අවසන් මහා තරගයට පෙර පැවැත්විණි. ඒ අනුව මෙවර ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්ථීර බවට එහිදී තීරණය කෙරිණි.

කසුන් රණවීර

 

advertistmentadvertistment
advertistmentadvertistment