ආසියානු පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පනවා තිබූ දඩය අඩු කර ගනී

120

උස්බෙකිස්තානයේ පැවැති වයස අවුරුදු 17න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගීවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු ඩොලර් 20,000 ක දඩය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ මැදිහත් වීමෙන් ඩොලර් 5000 දක්වා අඩුකරගෙන ඇත.

ජස්වර් උමාර් ආසියානු පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවකට අනුව ආසියානු පාපන්දු සම්මේලනයේ විනය කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇත.

තවද දඩ මුදලේ ඉතිරිය වූ ඩොලර් 15,000 වසර දෙකක් සඳහා අත්හිටුවීමට ද තීරණය කර ඇත. අවුරුදු දෙකක් තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පාපන්දු තරග සඳහා සහභාගී වීම පැහැර හැරියහොත් මෙම ඩොලර් 15,000ක් මුදල ගෙවීමට සිදුවනු ඇති බවද ජස්වර් උමාර් මහතා පැවසීය. 2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුණ මෙම තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුණ ද අවසන් මොහොතේ එම සංචාරය ඇනහිටිණ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ විනය කමිටුව, තරග නීති රීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබිණි. මෙසේ දඩ මුදල අඩුකිරීමේදී තමා තවමත් ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයකු ලෙස කටයුතු කිරීම විශාල පිටිවහලක් වූ බවද ජස්වර් උමාර් මහතා පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment