ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවට ටොක්කක්

201

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දැන් හෙනහුරා පාත් වී ඇත. පරිපාලනය අත්හිටුවා ඇත. නිලධාරි මණ්ඩලය ගෙදර යවා ඇත. ක්‍රීඩකයන්ට යන එන මං නැති වී ඇත. කොටින්ම එම ක්‍රීඩාවට තවත් නැති වෙන්නට දෙයක් නැත. හිටපු ඇමැතිවරයා එහි පරිපාලනය අත්හිටුවූයේය. ඉන්පසු ආසියානු රග්බි සංගමය ද තාවකාලිකව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට තහනමක් පැනවීය. ඉන් නොනැවතුණු ඔවුහු පසුගිය 01 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ආසියා රග්බි සංගමය හා බැඳි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වයද අත්හිටුවීමට පියවර ගත්තේය.

ආසියා රග්බි සංගමය සමග ඇති බැඳීම කටු ගා දැමීම යනු විශාල ප්‍රශ්න ගොඩක ආරම්භයකි. දැන් රග්බි ප්‍රශ්නය අධිකරණය හමුවටත් ගොස් ඇත. එය අධිකරණය හමුවට රැගෙන ගියේ ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සහ එහි හිටපු සභාපති එම්. ඉල්යාස් මහතා විසිනි. ඔවුහු අධිකරණයට පෙත්සමක් ගොනු කළහ. පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා සිටියේ රග්බි පරිපාලනය අත්හිටුවීමට නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසයි. ඔවුන් ගොනුකළ අදාළ රීට් පෙත්සම සලකා බැලීම අධිකරණය විසින් ලබන දොළොස් වැනිදාට කල් තබන ලදී.

කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා රග්බි පරිපාලනය අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කළේ අප්‍රේල් මස පළවෙනිදාය. අප්‍රේල් පළවැනිදා යනු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා එම ධුරයේ කටයුතු කළ අන්තිම දාට පෙර දා ය. ඊට පසු දින ඔහු ක්‍රීඩා ඇමැති ධූරයට සමුදුනි. දැන් ඉන්නේ නව ක්‍රීඩා ඇමැතිවරයෙකි. හිටපු රග්බි සභාපති ඇතුළු පිරිස ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නව ක්‍රීඩා ඇමැති ද සිටින්නේ ය. එමෙන්ම හිටපු ක්‍රීඩා ඇමැති සහ රග්බි පරිපානය අනතුරුව පැවරූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වග උත්තරකරුවකු ලෙස සිටී. ඔවුන් කිසිවෙක් එදින උසාවියට නොපැමිණි නිසා ඔවුන්ට නොතීසි නිකුත් කරන ලදී.

ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවට ටොක්කක්

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ලෝක රග්බි සංගමය සමග සෘජුව බැඳුණු ඒකකයකි. ඔලිම්පික් කමිටුවේ කොටසක් සහ ඔලිම්පික් ප්‍රඥප්තියට අනුබද්ධිත මෙන්ම ආසියානු රග්බි සංගමයේද සාමාජිකත්වය ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට හිමි වී ඇත. ආසියානු රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවූ බැවින් ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සංගමය සංවිධානය කරන කිසිදු තරගාවලියකට සහභාගි විය නොහැක. එහෙත් මෙවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට එය බාධාවක් නොවේ. එහෙත් රග්බි ක්‍රීඩකයන්ට බාධාවක් වී තිබෙන්නේ රටේ උද්ගතව ඇති ඩොලර් ප්‍රශ්නයයි. ඒ අනුව අනිවාර්යයෙන් පදක්කම් දිනිය හැකියි යන උපකල්පනයේ සිටින ක්‍රීඩකයන් පමණක් ජාත්‍යන්තර තරගවලට සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත. රග්බි ක්‍රීඩකයන්ට හෙනහුරු දසාව උග්‍ර වන්නේ මේ කරුණත් සමගය. යන්න පුළුවන් තරගාවලියට ද සහභාගිවීමට මුදල් දෙන තත්ත්වයක් දැන් ඇත. ෆීජී, වේල්ස්, සැමෝවා වැනි රටවල් සමග සටන් කර පදක්කමක් දිනන්නට තරම් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු නැත. එනිසා ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ශ්‍රී ලංකා රග්බි නියෝජනයක් දැකීම අසීරු කාරණයක් වනු ඇත. එහෙත් ඒ අසීරු කාරණය ඉටුකර ගත හැකි නම් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට යහපතකි. රග්බි ක්‍රීඩාවේ ඉහත කී දැවැන්තයන් සමග තරග කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාගත හැකි අත්දැකීම් අපමණය..

ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට තාවකාලික තහංචි දැමූ ආසියා රග්බි සංගමය එහි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර දැම්මේ නිකම්ම නොවේ. ඔවුහු ඒ සඳහා හොඳ අධ්‍යයනයක් කළහ. ශ්‍රී ලංකාවට නියෝජිතයෝ පිරිසක් එවූහ. එසේ පැමිණි ඔවුහු ක්‍රීඩා අමාත්‍යාංශය, ඔලිම්පික් කමිටුව, තහනමට ලක් වූ රග්බි පරිපාලනය, රග්බි ක්‍රීඩා සංගම් කීපයක නියෝජිතයන්, රග්බි තරග තීරක සංගමය සහ විනිසුරුවරුන්ගේ සංගමය සමඟ ද සාකච්ඡා කළහ. අනතුරුව ආසියා රග්බි ආයතනයට ඔවුහු වාර්තාවක් සකස් කළහ. ඒ වාර්තාවට අනුව ආසියා රග්බි සංගමය අති විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවූයේය. එම විශේෂ විධායක කමිටු රැස්වීමේ ඒකමතික තීරණය වූයේ ආසියා රග්බි සංගමයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමය. තත්ත්වය තවත් දරුණු අතට හැරුණේ ඉන් පසුවය.

මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව කොවිඩ් ප්‍රශ්නයෙන් බැට කෑවේය. තරග පැවැත්වූයේ නැත. එකල ක්‍රීඩකයන්ගේ ඇඟ බැන්දා මෙනි. දැන් නම් හෙමින් හෙමින් තැන තැන තරග පැවැත්වේ. එහෙත් ආසියා රග්බි සංගමය සංවිධානය කරන තරගවලට නම් යෑමට නොහැක. හිටපු ඇමැතිවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් තීරණයට ආසියානු රග්බි සංගමය හොඳ ටොක්කක් ඇන්නේය. එහෙත් ඒ ටොක්කෙන් ඔළුව හිල් වුණේ ඇමැතිවරයාගේ නොව ක්‍රීඩකයන්ගේ ය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment