ආසියානු ශූරයෝ සහ ලෝක ශූරයෝ අද ගැටෙති

376

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ලෝක ක්‍රිකට් ශූරයන් හමුවන තරගය පර්ත් හිදී අද (25 වෙනිදා) පස්වරු 4:30 ට පැවැත්වේ.

2022 ආසියානු ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකාව 2014 වසරේ ලෝක ක්‍රිකට් ශූරයන් ද වන අතර පසුගිය වර ලෝක ශූරයන් වූ ඔස්ටේ්‍රලියාව 2010 වසරෙ අනුශූරයෝ බවට ද පත්වූහ.

එමෙන්ම ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරවලදී ද අනුශූරතාවයට හිමිකම් කීය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය මෙන්ම සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය ද මෙය වේ.

සුපිරි 12 වටය යටතේ මෙම කණ්ඩායම් දෙකෙහි දක්ෂතා විමසා බැලීමේදී එම පළමු තරගයේ ඔස්ටේ්‍රලියාව දරුණු පරාජයකට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව පළමු තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ඒ අනුව අද තරගයට ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් මුහුණ දෙන අතර සත්කාරක ඔස්ටේ්‍රලියාව පරාජිත මානසිකත්වයකින් මෙන්ම පළමු පරාජය හමුවේ ඇතිවූ පීඩනයත් සමග තරගයට මුහුණ දේ.

නවසීලන්තය සමඟ පැවති එම තරගයේ දී කිසිදු ඔස්ටේ්‍රලියානු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට අපහසු වූ අතර පන්දු යවන්නන් ද දැඩි ලෙස ප්‍රහාරයකට ලක් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ විමසා බැලීමේදී මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ සිටින කුසල් මෙන්ඩිස් ගේ ශක්තිය ඔවුන් සතුව පවතී. කුසල් තරග හතරක් තුළ ලකුණු 171ක් ලබා ගෙන ඇති අතර එහි සාමාන්‍ය අගය 57.00ක් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේද පෙරමුණ ගෙන සිටින වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්ටේ්‍රලියාවට අද පීඩනයක් ගෙන දෙනු ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභීහුද වෙති.

වනිඳු මේ වන විට කඩුලු නමයක් ද මහීෂ් කඩුලු හතක්ද දවාගෙන සිටිති.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වල් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් හැකි ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසිලිදායක වනු ඇත.

දෙරට අතර මේ දක්වා පන්දු වාර විස්සයි විස්ස තරග 25 ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකාව ජයගනිද්දී ඔස්ටේ්‍රලියාව තරග දාහතරක් ජයගෙන ඇත.

පසුගිය තරගයේ දී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment