ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලිය: ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

133

සය වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට අපරාජිත ශ‍්‍රී ලංකාව ඊයේ (15දා) සමත් විය.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දෙන මධුරංග විජේසිංහ සහ හිටපු නායක ලහිරු වීරසූරිය තමන් සහභාගි වූ 50 වැනි ජාත්‍යන්තර හොකී තරගය ඊයේ දිනයේදී සටහන් වීම ද විශේෂත්වයකි.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර කේන්ද්‍ර කර ගනිමින් රටවල් 09 ක සහභාගිත්වයෙන් දැන් ක‍්‍රියාත්මක මෙවර තරගාවලියේ මූලික වටයට අයත් තරග ආශ‍්‍රිතව තම අපරාජිත බව සටහන් කර ගැනීමට ශ‍්‍රී ලංකාව මෙන්ම ඕමානය සහ බංග්ලාදේශය ද සමත්ව සිටී.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වී සිටින ශ‍්‍රී ලංකාව වෙතින් ප‍්‍රබල ආක‍්‍රමණීය ක‍්‍රීඩා රටාවක නිරත වන ආකාරයක් ප‍්‍රදර්ශනය විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පළමු තරගයේදී උස්බෙකිස්තානය ගෝල් 05 – 00 කින් ද දෙවන තරගයේදී තායිලන්තය ගෝල් 06 – 02 කින් ද තෙවන තරගයේදී කසකස්තානය ගෝල් 04 – 00 කින් ද පරාජය කිරීමට සමත්වීම කැපී පෙණුනි.

ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලිය:  ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

‘බී’ කාණ්ඩයේ තරග ආශ‍්‍රිතව ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට බංග්ලාදේශය සහ ඕමානයට හැකියාව ලැබී තිබේ. තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වී සිටින බංග්ලාදේශය සහ ඕමානය තමන් මුහුණ දුන් සියලූ තරග ජය ගෙන තිබීම ද විශේෂත්වයකි.

උස්බෙකිස්ථානයට එරෙහිව ප‍්‍රථම කාර්තුවේදී ගෝල් 03 – 00 ක් ලෙස පෙරමුණ ගත් ශ‍්‍රී ලංකා පිල දෙවන කාර්තුවේදී තවත් එක් ගෝලයක් ද තෙවන කාර්තුවේ අවසන් ගෝලය ද ලෙස 05 – 00 ක ජයග‍්‍රහණයකට හිමිකම් කීය. ඒ මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් ආරම්භක තරගයේදීය.

එහි සිව්වන කාර්තුවේදී දෙපිලටම එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට නොහැකි වීම ද කැපී පෙනුණි.

ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ඉෂංක ජයසුන්දර (02) උදයශාන් ප‍්‍රනාන්දු (01) රජිත කුලතුංග (01) සහ එස්. එස්. ප‍්‍රියලංකා (01) ගෝල් වාර්තා කර ගත්හ.

තායිලන්තය එරෙහිව වාර්තා කර ගත් ගෝල් 06 – 02 ක ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ඉෂංක ජයසුන්දර (02) ධනංජය බණ්ඩාර 02, ළහිරු වීරසූරිය 01 සහ එස්. එස්. ප‍්‍රියලංකා (01) බැගින් ගෝල් වාර්තා කළහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 03 – 02 කි.

කසකස්ථානය සමඟ ඊයේ (15දා) සවස ක‍්‍රියාත්මක වූ තරගයේ ජයග‍්‍රහණය ගෝල් 04 – 00 ක් ලෙස සටහන් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළම ස්ථානය ආරක්ෂා කරගනිමින් වීම කැපී පෙනෙයි. එම ජයග‍්‍රහණය වෙනුවෙන් මනා පන්දු පාලනයක නිරත වූ ධම්මික රණසිංහ 02, අනුරාධ සුරේෂ් 01 සහ ඉෂංක ජයසුන්දර 01 බැගින් ගෝල් වාර්තා කරමින් කැපී පෙණුනි.

මෙවර තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග යුගළය එළඹෙන 19 දින පැවැත්වෙන අතර එහිදී ජයග‍්‍රහණ වාර්තා කර ගන්නා දෙපිල 20 වැනි දින සවස ක‍්‍රියාත්මක කෙරෙන අවසන් තරගය සඳහා වරම් ලබනු ඇත.

‘බී’ කාණ්ඩය යටතේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශය සහ ඕමානය අතර තරගයේ ප‍්‍රතිඵලය අනුව අවසන් පූර්ව වටයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව සටන් වදින කණ්ඩායම තීරණය කෙරෙනු ඇත.

2016 වසරේ හොංකොං දේශයේදී පවත්වන ලද අවසන් තරගාවලියේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාව සතු කර ගැනීමට සමත් වූ අතර එකී රන් පදක්කම බංග්ලාදේශය දිනා ගත්තේය. ඒ අනුව යමින් ශ‍්‍රී ලංකා පිල මෙවර තරගාවලිය තුළ ප‍්‍රදර්ශනය කරන දක්ෂතා ද ඉහළ අගයක් ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment