ආසියාවේ අනාගතයට බලපාන ආගමික නිදහස

507

ආගමික සහජීවනය සම්බන්ධයෙන් පවතින ගැටලු ආසියානු කලාපය තුළ මුල් බැසගත් කරුණක් බවට පත්ව තිබේ. සමස්තයක් ලෙස ගත් විට ලොව ආර්ථික, සාමාජයීය අතින් ආසියානු කලාපයේ නැගී සිටීම වෙත බාධා පමුණුවන ප්‍රධානතම කරුණක් බවටද මෙම ආගමික සහජීවනයෙන් තොර වූ බෙදී වෙන්වීම් හේතුවක් වී ඇත.

 විශේෂයෙන්ම ආසියානු කලාපීය රාජ්‍යයන්හි දේශපාලනික වුවමනා එපාකම් වෙනුවෙන් මෙම ආගමික කාරණා භාවිතා කිරීම මේ තත්ත්වය ඔඩුදිවීමට හේතුවක් වී තිබේ. එහි ආරම්භක අවස්ථාව වන්නේ යම් රටක පාලකයන් විසින් එම රටෙහි ජනතාව සතු ආගමික නිදහස සීමා කිරීමයි. එසේත් නොමැති නම් සිය දේශපාලන බලය වෙනුවෙන් යම් ආගමක් පහත්කොට සැලකීමයි. බෙදී වෙන්වීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි.

 අතීතයේ සිටම මේ සඳහා උදාහරණ බොහෝමයක් පවතී. වර්තමානයේදීත් එසේමය. අනාගතයේදීත් එය එසේම වනු ඇතැයි විශ්වාසය වී තිබේ. එහෙත් කලාපයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම බෙදී වෙන්වීම කොතැනකදී හෝ නැවැත්විය යුතුව ඇත.

 එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත්කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනයේ ආගමික නිදහස පිළිබඳ සඳහන් වන්නේ, “ලොව ඕනෑම අයෙකුට තමන් කැමති ඇදහිල්ලක්, විශ්වාසයක් සහ ආගමක් පිළිගැනීමේ නිදහස් පවතින බවකි. එහිදී මෙම අයිතිවාසිකම යටතේ තමන්ගේ ආගම හෝ ඇදහීම් හෝ වෙනස් කිරීමේ නිදහසක්ද එම පුද්ගලයාට ඇත. එසේම තනිව හෝ සමූහයක් ලෙස හෝ පෞද්ගලිකව හෝ පොදුවේ හෝ එම ආගම ඇදහීමේ හිමිකමක්ද එම පුද්ගලයාට පවතී. එම ආගමික ඉගැන්වීම්, සිරිත්, වැඳුම් සහ පිළිවෙත් සැපිරීමේ අයිතියද එම පුද්ගලයා වෙත හිමි වෙයි යනුවෙනි.

 එහෙත් මෙම ආගමික නිදහස නොමැතිවීම හෝ එකිනෙකා ආගම් කෙරෙහි පවතින ගෞරවය හීනවීම යන හේතු නිසා අද වනවිට ආසියානු කලාපීය රටවල් බොහෝමයකම ගැටුම්කාරී තත්ත්වයන් මතුව තිබෙන බව පෙනෙන්නට තිබේ. එහි ආසන්නතම සිදුවීමක් දැනට මාස හතරකට පමණ පෙරාතුව පසුගිය ජූනි මාසයේදී ඉන්දියාවෙන් වාර්තා විය. එහිදී පාලක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශිකාව වන නුපුර් ෂර්මා එක්තරා රූපවාහිනි වැඩසටහනකදි ඉස්ලාම් ආගමේ මුහම්මද්තුමන් වෙත අපහාස වන අන්දමේ අදහස් දැක්වීමක් සිදු කළාය. ඊට එරෙහිව ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් දැඩි විරෝධතාවක් සිදුකළ අතර, ඇතිවූ ගැටුම්වලදී මරණ කිහිපයක් සහ තුවාල සිදුවීම්ද වාර්තා විය. එසේම මෙම තත්ත්වය ඉන්දියාව සහ එම මුස්ලිම් රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ ගැටලු ඇති කරන තත්ත්වයටද පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජූනි 05 වැනිදා කටාරය, ඉරානය සහ ක්වේටය යන රටවල සිටින ඉන්දියානු තානාපතිවරුන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන ලෙස බලපෑම් සිදුකර තිබුණි. අනතුරුව මෙය ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉරාකය, සෞදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීරය, ජෝර්දානය, මාලදිවයින, පාකිස්තානය, බහරේනය, ලිබියාව සහ තුර්කිය ඇතුළු රටවල් රැසක් වෙතම ව්‍යාප්ත විය.

 කෙසේ වෙතත් මාස හතරක් ගත වීමෙන් පසුව අදටත්, මෙම ආගමික ගැටලුව ඉන්දියාව තුළ අර්බුදයක් බවට පත්ව තිබේ. නුපුර් ෂර්මා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කර ඇතත්, ඇයගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සඳහා කිසිදු පරීක්ෂණයක්, නඩු විභාගයක් හෝ අවසන් ප්‍රතිඵලයක් මෙතෙක් ලැබී නැත. ඊට මූලිකම හේතුව වන්නේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයේ සිටම පවතින හින්දු ආගමිකවාදය බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ අතර, පසුගිය 2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියාල්කොට්හි ඇඟලුම් කර්මාන්තශාලාවකදී පාකිස්තානයේ මුස්ලිම් ආගමිකයන් පිරිසක් අතින් ප්‍රියන්ත කුමාර නම් ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු අමානුෂික ලෙස ඝාතනය වන්නේද මෙම ආගමික සහජීවනයෙන් තොර වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එවකට පාකිස්තාන අගමැතිවරයාව සිටි ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය එම ශ්‍රී ලාංකිකයා වෙත ගෞරව සම්මාන පිරිනැමුවත්, එම ඇඟලුම් සමාගම ඔහු වෙනුවෙන් වන්දි පිරිනැමුවත්, මේ සිදුවීම පාකිස්තානය වෙත ආගමික සහජීවනය අතින් යළිත් පිරියම් කළ නොහැකි දරුණු කැළලක් ඇති කර තිබේ. එසේම මෙය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වෙතද බලපෑම් එල්ල කෙරිණි.

 මේ අතරතුරදීම ආසියානු කලාපය තුළ සිදුවන මෙවැනි සිදුවීම් ඇතැම් බටහිර රාජ්‍යයන්හි අවස්ථාවාදී උපායමාර්ගයන්ට යටත් වන අවස්ථාවන්ද දක්නට ලැබෙයි. එහිදී මූලිකවම දැනටමත් පවතින දේශපාලනික මතභේද තවදුරටත් ඔඩු දිවීමටත් මෙම තත්ත්වයන් හේතු වෙයි. එය අවසානයේදී දරුණු යුද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම් දක්වා වර්ධනයවීමටත් ඉඩ තිබේ. ඉන් සිදුවන්නේ ආසියානු කලාපය දැනට තිබෙන මට්ටමින් තවත් පහළට ඇද වැටීමයි.

 ඒ අනුව ආසියානු කලාපය තුළ වඩාත් තිරසාර ආර්ථික ගමන් මාර්ගයක් ඇති කරගැනීම සඳහා පැහැදිලිවම එකිනෙකා අතර ආගමික සහජීවනය පැවැතීම අනිවාර්යය කරුණක් බවට පත්ව තිබේ. දැනට වසර හයකට පෙරාතුව එනම් 2016 වසරේදී තායිවානයේදී පැවැත්වුණු ආසියා පැසිෆික් ආගමික නිදහස සමුළුව වෙත අදහස් දැක්වූ ආගමික නිදහස සහ ව්‍යාපාරික පදනම පිළිබඳ ආයතනයේ සභාපති බ්‍රයන් ග්‍රිම් ආගමික නිදහස ව්‍යාපාර සඳහා යහපත් වෙනවා වගේම ව්‍යාපාර ආගමික නිදහස සඳහා යහපත් වෙනවා යනුවෙන් පවසා සිටියේය. ආගමික නිදහස සහ ව්‍යාපාරික පදනම පිළිබඳ ආයතනයේ සභාපති බ්‍රයන් ග්‍රිම් ජාත්‍යන්තර ත්‍දරඉැි සඟරාව වෙත ලියූ ආගමික

 විවිධාංගීකරණය, නිදහස සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව ලිපියක වසර 2008 සිට 2012 දක්වා කාලය තුළදී ලෝකයේ ආර්ථික වර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වය ලබාදුන් ලොව රටවල් 12ක් තුළ ඉතාමත් ඉහළ ආගමික විවිධාංගීකරණයක් පවතින බව හඳුනාගත් බව පෙන්වා දී තිබේ. එහිදී මෙම රාජ්‍යයන් 12ම යුරෝපා සහ උතුරු ඇමෙරිකානු කලාපයෙන් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක් විය. ඉන් රටවල් හයක් ආසියා පැසිපික් කලාපයේ (සිංගප්පූරුව, තායිවානය, වියෙට්නාමය, දකුණු කොරියාව, චීනය සහ හොංකොං) පිහිටා ඇත. එසේම උප සහරා අප්‍රිකානු කලාපය තුළ රටවල් පහක් (ටොගෝ, ගිනිබිසව්, අයිවරි කොස්ට්, බෙනින් සහ මොසැම්බික්) පිහිටා ඇත. මීට අමතරව ලතින් ඇමෙරිකානු සහ කැරීබියානු කලාපයේ පිහිටි සුරිනාමේ රාජ්‍යයද මීට අයත් වෙයි.

 මෙලෙස සිය ආගමික නිදහස සහ සහජීවනය ආසන්න කාලසීමාවේදී සිය ආර්ථික සංවර්ධනය සඳහා දායක කරගත් ආසියානු රටවල් අතරින් චීනය මුල් තැනක පසුවෙයි. බටහිර මාධ්‍ය සඳහන් කරන ආකාරයට චීනය තුළ යම් ආකාරයක ආගම් සම්බන්ධ සීමා කිරීමක් පැවතියත්, එය එරට වෙත වඩාත් හිතකර ආකාරයෙන් පවත්වාගෙන යන්නට බලධාරීන් කටයුතුයොදා තිබීම එයට හේතුව වී තිබේ. චීනය යනු ලොව නවවැනියට වැඩිම ආගමික විවිධත්වයක් පවතින රාජ්‍යය වෙයි. ආගමික නිදහස සම්බන්ධයෙන් චීනයේ ඉතිහාසය එතරම් යහපත් නැත. 1960 සහ 70 කාලයේදී ජනතාව ආගම නිසා විවිධ බෙදී වෙන්වීම් සිදු කරගත් අතර, සිය ආගමික විශ්වාසයන් පාදක කරගනිමින් එකිනෙකා අතර ගැටුම් සහ ඝාතනය කිරීම් පවා ඇති කරගෙන තිබේ.

 එහෙත් අද වනවිට චීනය යනු ලොව විශාලතම බෞද්ධ ජනගහනයක් වෙසෙන රාජ්‍යයයි. එසේම එරට තුළ ග්‍රාමීය ආගම් අදහන අතිවිශාල පිරිසක් වාසය කරයි. ටාඕවාදය අදහන විශාල පිරිසක් සිටියි. එසේම ලොව වැඩිම ක්‍රිස්තියානුවන් සිටින රටවල් අතර නවවැනි තැනත් සහ ලොව වැඩිම මුස්ලිම් ජාකියන් පිරිසක් වාසය කරන රටවල් අතර 17 වැනි තැනත් අයත් වන්නේද චීනයටයි.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment