ආසියාවේ අභිමානය අවසන් 16 න් නවතී

361

ආසියාවේ අභිමානය පාපන්දු ලොව තුළ රඳවමින් 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසි ජපානයේ සහ දකුණු කොරියාවේ බලාපොරොත්තු බිඳ දමමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සහ ලෝක අනුශූරයන් වන ක්‍රොඒෂියාව පෙරේදා (05 වැනිදා ) රාත්‍රියේදී සමත් විය.

එහිදී බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර පැවැති තරගයෙන් ගෝල් 4-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත්වූ අතර ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගයෙන් දඬුවම් පහර 3-1 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ක්‍රොඒෂියාවට හැකි විය.

බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර තරඟයේ 36 වැනි මිනිත්තුව වන විට ගෝල් 4ක් වාර්තා කරමින් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට බ්‍රසීල ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී විනීශස් ජූනියර්, නේමාර්, රිචාර්ලිසන් සහ ලුකාස් පැක්ටා බ්‍රසීලය වෙනුවෙන් ගෝල වාර්තා කළහ.

මෙම ජයග්‍රහණයත් සමග 1994 වසරෙන් පසුව අඛණ්ඩව අර්ධ අවසන් පූර්ව තරග වලට පිවිසි පළමු කණ්ඩායම බවට බ්‍රසීලය පත් විය.

ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරඟය නියමිත කාලයෙන් පසුවද විසඳුමක් නොලැබීම හේතුවෙන් අතිරේක අමතර කාලයක් ලබාදීමටද විනිසුරුවරු කටයුතු කළහ.

ඉන් පසුව ලබා දුන් අතිරේක කාලයෙන් ද විසඳුමක් නොලැබීම නිසා පළමු වරට දඬුවම් පහර මගින් විසඳුමක් සොයා ගැනීමට සිදු වූ අතර ඉන් 3-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ලෝක අනුශූරයෝ සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment