ආසියා ක්‍රිකට් කුසලානයේ ටිකට් එකක් රුපියල් ලක්ෂය පනී

838

ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට 14000ක පිරිසක්

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පල්ලෙකැලේ ක්‍රිකට් තරගයේ පැවැත්වෙන තරගයේ ප්‍රවේශ පත්‍රයක මිල ඇමෙරිකානු ඩොලර් 300ක් (රුපියල් ලක්ෂ 1ක් පමණ) වේ.

තණකොළ සහිත විවෘත ප්‍රදේශයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල ඇමෙරිකානු ඩොලර් 30ක් (රුපියල් 9,660) වේ. කෙසේ වුවද පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා හා පාකිස්තාන ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පැය කිහිපයක් තුළදී අවසන්ව ඇත. මෙම තරගය නැරැඹීමට ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට 14000ක පිරිසක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පැවැසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුපරි කණ්ඩායම් හතර අතරේ තරග වටයේදී ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල ඇමෙරිකානු ඩොලර් 400ක් පමණ වනු ඇතැයි (රුපියල් 128,800ක්) සඳහන් වේ. මූලික වටයේ ඉන්දියාව – පාකිස්තානය හා ශ්‍රී ලංකා නොවන තරගවල ප්‍රවේශ පත්‍රයක අවම මිල ඇමෙරිකානු ඩොලර් 3ක් (රුපියල් 966ක්) වැනි මුදලකට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම් විවෘතව පවතී.

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පෙරේදා සිට ආරම්භ වූ අතර, ආරක්ෂක හේතු මත ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා සෑම පුද්ගලයකුගේම ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රයේ විස්තර මුදල් ගෙවීමට පෙර ලබාදීම අනිවාර්ය කර ඇත. පකිස්තාන – ඉන්දියා තරගය සඳහා හැඳුනුම්පතකින් හෝ විදේශ ගමන් බලපත්‍රයකින් එක් පුද්ගලයකුට ප්‍රවේශපත්‍ර දෙකක් පමණක් මිලදී ගැනීමේ සීමාවක් ද පනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment