ආහාර අර්බුදය ජයගැනීමට සියලුදෙනා අපට සහාය දිය යුතුයි

501

මේ මොහොතේ කෘෂිකර්මාන්තයත් දේශයත් රැකගැනීමේ සටනක යෙදී සිටින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මේ වන විට වගා සංග්‍රාමයක් අතර සහ යළිත් ආනයනික පොහොර අර්බුදයකට මැදිවී සිටී. පවතින තත්ත්වය යටතේ යූරියා ආනයනය කිරීම කාලෝචිත බවත්, එය සිදුවන්නේ කෙසේ ද යන්න තවමත් නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකි බවත් ඔහු කියා සිටී. ලංකාවට උචිත යූරියා ගෙන ඒමට හැකිවේද යන්න කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ මොහොතේත් සිටින්නේ ප්‍රහේලිකාවක් විසඳමිනි.

වගා සංග්‍රාම කෘෂිකර්ම ඇමැතිවරු කීපදෙනෙකු යටතේම අපි දුටිමු. ඔවන් කෘෂිකර්ම විෂයෙන් යද්දිම රටේ වගා සංග්‍රාමයත් යන්නට ගියේය. මෙවර අලුතින් සකසන වගා සංග්‍රාමයත් එවැනි වූ වගා සංග්‍රාමයක් දැයි අප අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසුවෙමු.

මේ ඔහු අප සමඟ ඒ පිළිබඳව කළ සාකච්ඡාවයි.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන යූරියා පොහොර තොගය සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති පියවර කුමක්ද……?

ඉන්දීය ප්‍රමිතියට අනුව ඉන්දියාව ඕමානයෙන් ආනයනය කරන පොහොර තොගයෙන් කොටසක් බැවින් එය ලංකාවේ යූරියා සම්බන්ධ ප්‍රමිතියට වෙනස් වීමට ඉඩ ඇති බව තවම නිශ්චිත වශයෙන් කිව නොහැකියි. එම කාරණාව තහවුරු කරගත හැක්කේ ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණයකින් පමණයි. ඉන්දියාවෙන් ණය ආධාර යටතේ ලැබෙන්නට නියමිත යූරියා සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් අප පොහොර පිළිබඳ උපදේශන කමිටුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා. රජයේ සාකච්ඡා වට කීපයක් තව ඉදිරියට පැවැත්වීමට සැලසුම් කර තියනවා.

ආහාර අර්බුදය ජයගැනීමට සියලුදෙනා අපට සහාය දිය යුතුයි

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා

ආනයනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලෙත් දැඩි කතාබහක් ඇති වුණා මෙවරත් එවැන්නක් ඇති වෙමින් තිබෙනවා. ප්‍රමිතිය පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලකිලිමත් නේද?

පොහොර ආනයනයේ දී ලංකාවට උචිත පොහොර ගෙන එන්න පොහොර විධිවිධාන පනත යටතේ නිගමනය කිරීමේ අයිතිය තියෙන්නේ කෘෂිකර්ම බලධාරීන්ට. අපි අපේ නියාමනයන් සලකා බලමින් ලංකාවට යූරියා ගෙන එන්නේ නම් 2014 වසරේ අනුමත වූ ප්‍රමිතිය පරිදි යූරියාවල බයුරේට් අනුපාතය සියයට එකක් විය යුතුයි. මේ ආකාරයේ බයුරේට් සියයට 1ක් සහිත පොහොර

ගෙන්වන්න නම් අපි ශ්‍රී ලංකා රජය වශයෙන් අදාළ ආයතනය සහිත රටට මුදල් ගෙවිය යුතුයි.

එසේනම් ඇයි අප ඉන්දියාව හරහා මුදල් යොදවා රටට යූරියා ගෙන එන්නේ?

ඇත්තම කාරණාව දැන් අපිට මුදල් නෑ. මේ අවස්ථාවේ පොහොර ආනයනය සඳහා අපට ණය ආධාර දෙන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාව එක්සීම් බැංකුව හරහා දෙන ණය මුදල යොමු කරන්නෙ ඔවුන් පොහොර ගෙන්වන ඕමාන රටට. ඕමානයෙන් පොහොර ඉල්ලුම් කරන්නේ ඉන්දියාව. එවිට ඕමානය පොහොර ලබා දෙන්නේ ඉන්දියාවේ නියාමන පනත අනුවයි. ඉන්දියාවට උචිත පරිදි යූරියාවල බයුරේට් සංයුතිය 1.5% ක් බව ඉන්දියාව පිළිගෙන තිබෙනවා.

එසේ නම් අපට ලැබෙන්නේ ද 1.5% ක් බයුරේට් අඩංගු යූරියා ද යන්න තවමත් නිශ්චිත නෑ. එය නිශ්චිතව දැන ගත හැකි වන්නේ ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂාවෙන් අනතුරුව ලැබෙන තත්ත්ව සහතිකය මතයි. එම තත්ත්ව සහතිකයට අනුව ඒ යූරියා ශ්‍රී ලංකාවේ වී වගාවට නුසුදුසු නම් එම පොහොර තොගය රට තුළට ගෙන ඒමට විරුද්ධ වීමේ අයිතියක් රජයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තියෙනවා. අප හමුවේ තිබෙන්නෙ ප්‍රායෝගිකව උචිතම තීන්දුව ගැනීමේ අභියෝගයයි.

ගෙන ඒමට නියමිත යූරියා සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් කර නොතිබුණත් බයුරේට් සියයට එකකට වැඩි ප්‍රතිශතයක් ඇති යූරියා එළවළු බෝග සඳහා අහිතකර බව කෘෂි විද්‍යාඥයන් මේ වන විට පවසා තිබෙනවා?

“ඉදිරි ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත මෙම යූරියා තොගය පැළ ගොයමට හානි කර නම් සති හතර හය හත ඉක්මවූ පසු යෙදීමට අවසර ලබා දිය හැකියි.

සමහර එළවළු සහ වෙනත් පැඟිරි බෝග සඳහා එම යූරියා නුසුදුසු බවට මතයක් පැවැතිය ද තත්ත්ව පරීක්ෂණ සහතිකය ලැබෙන තෙක් ඒ පිළිබඳව නිශ්චිතව නිගමනයක් කරන්න බෑ.”

මොකක්ද මේ දේශීය වගා සංග්‍රාමය ….?

රට තුළ මේ වෙනකොට පැනනැඟී ඇති අර්බුද හමුවේ ආහාර හිඟයකට යෑම වළක්වාලීම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කළ යුතු කාර්යභාරය සැලකිල්ලට ගනිමින් දේශීය වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම අපේ එකම අරමුණයි. මේ වන විට ඊට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා.

මේ සංග්‍රාමයත් වචනයට පමණක් සීමා වෙයි ද..?

නැහැ.. එහි පළමු අදියර අපි මේ සතියේ සිටම ආරම්භ කරනවා. රටේ ජනතාව වගාවට යොමු කිරීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඒ ආශ්‍රිතව ඇති ආයතන දෙසිය හැට හතෙහි නිලධාරීන් ප්‍රායෝගිකව වගාවට යොමු කර සිටිය යුතුයි. ඒ සඳහා මේ සතියේ සිට නව වැඩසටහන් ආරම්භ කෙරෙනවා. රට පුරා සියලුම කෘෂිකර්ම ආයතනවල නිලධාරීන් මැදිහත්ව ඒ ඒ ආයතන මට්ටමේ ඇති බෝග බීජ පැළෑටි දඬු වැල් ආදී සියල්ල හුවමාරු කරගනිමින් තම තමන්ගේ ආයතන මට්ටමින් වගාව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී තිබෙනවා. ඒ සඳහා සියලු උපදෙස්ද ආයතන මට්ටමින් හුවමාරු කර ගැනීමට හැකි පසුබිමක් අපි සකස් කර තිබෙනවා.

මේ කර්තව්‍යය රටේ ජනතාව අතරට යන්නේ කවදාද..?

තව සති දෙකකට මෙපිට රටේ සියලු ජනතාව ඒකරාශී කරගනිමින් දේශීය බෝග වගාව ගෙවතු වගාව ආරම්භ කිරීමට අවශ්‍ය සියලු උපදෙස් මෙහෙයවීම් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂවරු පළාත් අධ්‍යක්ෂවරු මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එය සැලසුමක් පමණක්ම වෙයිද..?

එය සැලසුමක් පමණක් වුවහොත් රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ ප්‍රධානතම අභියෝගය රටේ ජනතාවට ආහාර සැපයීමයි. පොදුවේ මෙතෙක් වූ ක්‍රියාදාමයන් ඔස්සේ කළ නොහැකි නම් ඊට විකල්පයක් වශයෙන් ඒ ඒ පවුලට අවශ්‍ය පරිදි තමන්ගේ ආහාර වේල තමන්ගේ නිවස ආශ්‍රිතවම වගා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම ලෙස මා දකිනවා.

දැනට උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ ආහාර අර්බුදයෙන් ගොඩඒමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පමණක් තනියම නැඟී සිටිමින් ඊට මුහුණ දිය හැකි ද…?

කොහෙත්ම බැහැ. මේ සඳහා සමස්ත ජනතාව සියලුම අමාත්‍යාංශයන් සියලුම නිලධාරීන් ඒකරාශී විය යුතුයි. දැනටමත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා සියලුම පාසල් මේ සඳහා දායක කර ගැනීමට කටයුතු යොදන බව.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවේ දී ඔහුගේ අදහස වූයේ දේශීය ආහාර සුලභතාවය වැඩිකිරීම පිණිස ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක අංශ මැදිහත් කර ගනිමින් ඔවුන් යොදවා වගා කළහැකි සියලුම ඉඩම්වල වගාවන් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙය පොදුවේ වී අතිරේක බෝග එළවළු සහ පළතුරු ඖෂධ සියල්ල නියෝජනය කරන ක්‍රමවේදයක්ද ?

ඔව්. මේ වන විට අතිරේක බෝග සඳහා සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව නිගමනය කරන්න බැරි පසුබිමක් තිබෙනවා. බඩඉරිඟු වගාව වුවත් සියයට හතළිහක් පමණයි බලාපොරොත්තු වන්නේ. බඩඉරිඟු හිඟ වීම මත සත්ත්ව ආහාර හිඟ වෙනවා. එය බිත්තර කුකුළු මස් නිෂ්පාදනයට ඍජුව බලපෑමක් කරාවි. අපි එවන් තත්ත්වයකට යන්නට පෙර කුමක් හෝ පිළියමක් දැන්ම යෙදිය යුතුයි. මේ සූදානම ඒ සඳහායි.

වගාව සඳහා නිශ්චිත පිළිවෙළක් තිබෙනවාද අවශ්‍ය දැනුම සහාය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් ද?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සෑම දෙපාර්තමේන්තුවකම සිටින සේවකයන් සතුව හොඳ දැනුමක් තිබෙනවා. රට පුරා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විසිරිලා සිටිනවා. තවද ගොවිජන සේවා නිලධාරීන් රැසක්ද සිටිනවා. අපි හැමෝම ඒකරාශී වෙලා ජනතාව සමග කටයුතු කරන්න අවශ්‍යයි. මේ සියලුම අදහස් ඒකරාශී කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපගේ වගකීම වගාවන්ට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම වගාවන් පිළිබඳ නවීන දැනුම පොහොර භාවිතය කෘමි පාලනය සියලුම වගාකරුවන් වෙත ලබා දීමයි. සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මේ වනවිටත් සැලසුම් කොට තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් වැඩිහිටි සමිති සුභසාධන සමිති ඇතුළු සියලුම සමිති ඔස්සේ කෘෂි දැනුම ලබාදීමටත් බීජ හා පැළ හුවමාරුව කර ගත හැක්කේ කෙසේද යන්න මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමටත් අප සූදානම්.

මේ හරහා පැහැදිලි වන්නේ ඉදිරියේදී දැඩි ආහාර අර්බුදයක් ඇති වන බව නේද?

අපේ රටේ මේ වන විට ආහාර සංරක්ෂණයක් නැහැ. විවිධ කාරණා මත අස්වනු හානි සිදු වෙලා, අස්වනු පාළු වීම් මත අස්වනු අඩු වීම් සිදු වෙලා. සාමාන්‍යයෙන් මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක් පමණ වී වගාව සිදු කරනවා. මහ කන්නයේදී වී අස්වැන්න හෙක්ටයාර එකකට මෙටි්‍රක් ටොන් හතරයි දශම හතරක්.

නමුත් පසුගිය මහ කන්නයේ දී අපට නොසිතූවිරූ ප්‍රශ්න

රැසක් හමුවේ අස්වැන්න අඩුවීමක් දක්නට ලැබුණා. වෙනත් සෑම මහ කන්නෙකදීම ඉදිරි මාස තුනක සූදානමක් සහිතව වී අස්වැන්න ගබඩා කර තබා තැබීමේ හැකියාවක් ඉකුත් වසරවල තිබුණා. මෙවර මහ කන්නෙ අනතුරුව එවැනි

ගබඩා කිරීමක් සිදුකිරීම සඳහා ප්‍රමාණවත් වී තොග අප සතුව නැහැ. එහෙයින් අපගේ එකම බලාපොරොත්තුව යල කන්නේ ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමයි.

යල වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි ලැබුණත් කලට වේලාවට පොහොර නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා. එවැනි තත්ත්වයක් හමුවේ යල අස්වැන්න විශාල අඩුවීමක් සිදුවිය හැකි බවයි ගොවීන් කියා සිටින්නේ?

මෙහි තරමක සත්‍යතාවයක් තිබෙනවා. පොහොර

ගෙන්වීමේ ප්‍රමාදවීම මත නිසි කලට පොහොර ගෙන ඒම ප්‍රමාද වීමක් නැහැයි කියන්න බැහැ. නමුත් මහින්ද අමරවීර අමාත්‍යතුමා කියා සිටියා හැකි ඉක්මනින් ඉන්දියානු ණය සහනාධාර යටතේ පොහොර ගෙන්වා දෙන බව.

හැකි ඉක්මනින් යැයි කීවත් වගා කාලය පසු වී ඇති නිසා පොහොර ගෙන ඒමේ ප්‍රමාදයක් සිදුවුවහොත් නැවතත් අර්බුදකාරී තත්ත්වයක් මතු වෙයි නේද?

අර්බුදකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට තමයි අපි හැකි තරම් උත්සාහ කරන්නේ. ඉන්දියාවෙන් පොහොර

ගෙන්වනවා නම් ලංකාවට ගේන්නේ තූත්තුකුඩිය හරහා. තූත්තුකුඩියෙන් පොහොර ගේන්න ගතවන්නේ පැය තිස්හයක් හෝ හතළිහක් වැනි කාලයක්. අපගේ දැන් බලාපොරොත්තුව කඩිනමින් තූත්තුකුඩියෙන් පොහොර ගෙනැත් යල කන්නය සාර්ථක කර ගැනීමයි. එසේ නොවුණ හොත් ආහාර අර්බුදයක් ඇති වේවි.

හැකි තරම් විශේෂඥ දැනුම පාවිච්චි කරලා රටේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට අපි කටයුතු කරනවා.

සාකච්ඡා කළේ –  සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment