ආහාර අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනේ

233

රට තුළ පවතින ආර්ථික පරිහානිය විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබුණත් එය වැඩිහරියක්ම දැනෙනුයේ ගෙදර, කුස්සියට බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. අපේ රටේ මේ වන විට කුස්සිය හිස්වන තරමට දැනෙන විලාපයේ අරුම පාලක පැලැන්තියට නොතේරෙන තරම්ය. ඔවුනට ඒ පිළිබඳ තේරුම් ගියද ඇතැම් විට ඒ පිළිබඳ වගේ වගක් නැති ආකාරයක්ද දක්නට ලැබේ.

කෙසේ වෙතත් මේ වන විට අපේ රටේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තුවේ කුස්සිය නම් ගජරාමෙට ජයට ඇති යැයි බොහෝ දෙනා සිතනා කාරණයකි. ඊට හේතුව මැති ඇමැතිවරුන්ගේ කඳ, බඩ දකිනා විටය. එපමණක් නොව ඔවුනගේ මුහුණුවල් දුටු විට හොඳට කා, බී සිටින අයුරක් පෙනෙන්නට ඇතැයි ඇතැමෙකුට සිතෙනවාද විය හැක.

පාර්ලිමේන්තුවේ කෑම නම් සුපිරියට ඇති කියා බොහෝ දෙනකු කතා කරන්න ගත්තේ විටින් විට ඒ පිළිබඳ ඇහෙන්න ලැබෙන තොරතුරත් සමගය. පාර්ලිමේන්තුවේ පිසින කෑම වේලක් සඳහා මැති ඇමැතිවරුන්ගෙන් අය කරනුයේ ඉතා සුළු මුදලක් බවටද මීට පෙර හෙළි වූ කරුණකි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ බැණ ගත්තද කැන්ටිමේදී කරට අත දමා කෑම ගන්නවා දුටු බවද සමහර මන්ත්‍රීවරු ද කියති. මේ කෑම වේලක් සඳහා රුපියල් 3000 කට අධික වන බව පසුගිය වසරේදී මාධ්‍ය මගින් හෙළිදරව්වක් කෙරිණ. ඒ අනුව මේ වන විට රටේ තිබෙන උද්ධමනයත් සමග එම මිල අනිවාර්යයෙන්ම වැඩි වී තිබිය යුතුය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කෑම ගනු ලබන්නේ මන්ත්‍රීවරුන්ම 225 ක් පමණක්ම නොව, එහි සිටින රජයේ නිලධාරීන්, ආරක්ෂකයන්, මාධ්‍යවේදීන්ද (ඉතා සීමිත පිරිසක්) සිටිති. විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ කියා සිටියේ තම නිවසේ කෑම වේල පාර්ලිමේන්තු කෑම වේලට වඩා හොඳ බවක්ය.

එබැවින් පාර්ලිමේන්තු කෑම වේල ගැන කියමින් කරනු ලබන කතා නිසා ඔවුන් අසීරුතාවට පත්වන බවය. මේ ගැන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම කියා සිටි අතර ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් කෑම ලබා නොදෙන ලෙසත් පසුගිය දිනවල ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අප දන්නා තරමට පාර්ලිමේන්තු කෑම වේලක් අඩු මිලට මෙන්ම ඉස්තරම් ලෙස තවමත් ලබාගත හැකි බවට වන විශ්වාසය සමාජයෙන් මුළුමනින්ම ඈත් වී ගොස් නැත.

පාර්ලිමේන්තු කෑම සෑදීම සඳහා වෙනම අංශයක් පවතී. ඒ සඳහා අවශ්‍ය කෝකිවරුන්, සහායකයන්, පිළිගන්වන්නන් ඇතුළු කාර්ය මණ්ඩලයක් සිටී. එය සම්පූර්ණයෙන්ම අධි ආරක්ෂිත කලාපයක් බඳුය. අනවසරයෙන් ඊට ඇතුළත් වීමට කිසිවකුට නොහැකිය. එදාට අවශ්‍ය ආහාර එදිනම පිළියෙල කෙරේ. ඒ සඳහා ප්‍රධාන මුළුතැන් ගෙවල් දෙකක් පවතී. සාමාන්‍යයෙන් දිවා ආහාරය සඳහා පුද්ගලයන් 2700කට මදක් වැඩි ප්‍රමාණයකට ආහාර පිළියෙල වන බව සඳහන් වේ. ඒ සඳහා වෙනම සැපයුම්කරුවන් සිටිනවා මෙන්ම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ගෘහ්‍ය කාරක සභාවක් එම කටයුතු සියල්ල අධ්‍යයනය කෙරේ. පාර්ලිමේන්තු ආහාර සැකසීම සඳහා අවශ්‍ය මිරිස්, තුනපහ ආදිය ද පාර්ලිමේන්තු මුළුතැන්ගෙයින්ම සකසා ගනු බව කියවේ.

සුදු බත්, රතු බත් හෝ එළවළු බත් ද, මස්, මාළු, බිත්තර, එළවළු, විවිධ සලාද මෙන්ම අතුරුපසද පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැකසේ. ඊට අමතරව තේ, කෝපි, විවිධ පළතුරු පානයන්, බීම වර්ගවලින්ද අඩුවක් නැති බව සියල්ලන් දන්නා කරුණකි. මන්ත්‍රීවරුන්ට වෙන්වූ වෙනම භෝජනාගාරයක් මෙන්ම ඔවුන්ගේ ආගන්තුකයන් වෙනුවෙන් වෙන්වූ භෝජනාගාරයක් මෙන්ම කාර්ය මණ්ඩලවලටද වෙන්වූ ලෙස භෝජනාගාර පාර්ලිමේන්තුවේ පවතී. මන්ත්‍රීවරුන්ගේ වැටුප් මගින් ඔවුන් ලබා ගන්නා ආහාර සඳහා මුදල් අයකරගනු ලබන අතර පිටතින් පැමිණෙන අය නම් මුදල් ගෙවා ආහාර ලබාගත යුතුවේ.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තු කුස්සිටයද යම් තරමක ඛේදනීය තත්ත්වයක් මතුවී ඇති බව දැන ගන්නට ලැබේ. විදුලිය, ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මත පාර්ලිමේන්තුවේ ආහාර වියදම සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බව කියවේ.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසික වියදම රුපියල් ලක්ෂ අනූවක් පමණ වුවද දැන් එය කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි. පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වැය වන මුදලින් සියයට 60 කට අධික ප්‍රමාණයක් වැය වන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාර ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී පමණක් වන අතර එය බොහෝ දුරට මාසයකට දින අටක් පමණ වෙයි. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා නොගනී. නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මාසය පුරා රජයේ වැඩ කරන දිනවල පාර්ලිමේන්තුවෙන් ආහාර සහනදායි මිලට ලබා දෙයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් ගැන කියවෙන විට ඔවුන්ගේ කෑම වේල මෙන්ම ඔවුනට ලැබෙන වරප්‍රසාද ගැන කියවෙන යුගයක පාර්ලිමේන්තු කෑම මෙන්ම අප කාටක් ආහාර ලැබෙනවා නම් මරු යැයි සමාජය තවත් දිගු කාලයක් තිස්සේ කියනු දැකීම නම් අනිවාර්යයෙන් සිදුවනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment