ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් – කතරගම හෝටල් හිමියෝ හාන්සියි

133

ආර්ථීක අහේනියෙන් පෙළෙන ජනතාවට වන්දනා ගමන් එපාවෙලා

රටෙහි පවතින ආහාර ද්‍රව්‍ය මිල, අධික ලෙස ඉහළ යෑම මුල් කරගෙන ආපන ශාලාවල බත් ඇතුළු අමතරව කෑමට ගන්නා ආහාරවල මිලද ඉහළ යෑමෙන් ජනයා ආහාර නොකන බව හෝටල් හිමියෝ මැසිවිලි නඟති.

මාලු කෑම රු. 500 ත්, කුකුල් මස් කෑම එකක් 600 – 650 ත් අතර මිලකට හෝටල්වල මේ දිනවල විකිණීම සිදුවේ.

තිස්සමහාරාම සහ කතරගමට දෙස් විදෙස් සංචාරකයන් සහ වන්දනා බැතිමතුන් නිතර පැමිණියත් රටේ පවතින ආර්ථික අහේනිය මුල් කොටගෙන ජනයා වන්දනා ගමන් සීමාකර තිබේ.

තිස්සමහාරාම ආපනශාලා හිමියන් පැවසුවේ දිනකට කෑම පිඟන් 70 – 50 අතර විකිණීම සිදු වුවත් මේ දිනවල විකිණෙන්නේ කෑම 10 ක් තරම් අඩු ප්‍රමාණයක් බවයි.

මේ දිනවල හෝටල්වල පිසින ලද ආහාර අලෙවියක් නොමැතිව අපතේ දැමීමට සිදුවන අතර ඉදිරියටත් මෙලෙසම රටේ ආර්ථිකය පැවතුණහොත් ආපනශාලා වසා දැමීමට සිදුවන බව හෝටල් හිමියෝ සඳහන් කරති.

ඉන්ධන ගැටලුව මුල්කරගෙන සංචාරකයන් සහ වන්දනාකරුවන්ගේ කතරගම සහ යාල වනෝද්‍යානයට පැමිණීමද අඩු වී ඇති බව සෆාරි ජිප් රථ හිමියෝ සහ සංචාරක මඟ පෙන්වන අය පවසති.

බොහෝ වන්දනාකරුවන් සුළු ආහාරයක් කෑමට ගෙන එක් දිනකින් කතරගම වන්දනා කර යෑමට හුරුව ඇති හෙයින් නවාතැන් පොළවල් රැසක් වැසී ගොස් ඇත.

කොළඹ සිට කතරගමට පැමිණීමට වෑන් රථයක් රු. අනූදහසක මුදලක් අයකරන බව කතරගමට පැමිණි වන්දනාකරුවෝ පවසති.

රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනපතා අධික ලෙස ඉහළ යෑම හමුවේ රටේ ජනයා දැඩි ආර්ථික අහේනියෙන් වෙළී සිටිති. එමනිසා ඔවුන් විනෝදාස්වාද ගමන් සහ වන්දනා ගමන් නවතා දමා තිබේ.

කතරගම – සහන් දේවප්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment