ආහාර මිල අහසට ජනතාව කබලෙන් ළිපට

170

අර්තාපල්, ලොකුලූනු, තක්කාලි, මාළු මිරිස්, බෝංචි, ලීක්ස්, කැරට්, පතෝල ඇතුළු එළවළු වර්ග රැසකත්, පොල් සහ පලතුරු මිලත් විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 420 – 500 දක්වා ඉහළ ගොස් ඇති අතර ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 320 – 400 දක්වා ඉහළ නැඟ ඇත. එසේම තක්කාලි කිලෝවක මිල රුපියල් 430 – 500 ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ. කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 450 දක්වා ද, කැරට්, බෝංචි, ලීක්ස් කිලෝව රුපියල් 420 – 480 දක්වා ද ඉහළ ගොස් ඇති අතර පතෝල, මෑකරල්, නෝකෝල් කිලෝවක් රුපියල් 320 – 450 ත් අතර මිලක පවතී.

මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 – 700 දක්වා ඉහළ ගොස් තිබෙන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 90 – 120 දක්වා ඉහළ ගොස් තිබේ.

පැපොල්, අන්නාසි, කෙසෙල්, දොඩම් ඇතුළු පලතුරු වර්ගවල කිලෝවක මිල රුපියල් 140 සිට 220 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීය දෙළුම් ගෙඩියක් රුපියල් 350 – 400 ක් අතර මිලකට අලෙවි වෙයි.

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීම සියයට 35 – 37 මට්ටමක පැවතීම හේතුවෙන් සහ ඉල්ලීමට සරිලන ලෙස තොග නොලැබීමත් ඉකුත් දිනවල ඇති වූ වැසි සහිත කාලගුණික තත්ත්වය ප්‍රදේශ රැසක එළවළු වගාවන්ට හානි පැමිණීම සහ දිලීර රෝග ඇතුළු විවිධ රෝග හේතුවෙන් අස්වැන්න අවම වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සමිති පවසයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment