ආහාර සහ ආර්ථික වශයෙන්ද  රටක ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

87

බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානය

 රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්ත්වයන් නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 එමෙන්ම මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 ‘කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය’ යන්න තේමා කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

 දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර මේ වනවිටත් සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාමීය මට්ටමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බවත්, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් අනාවරණය විය.

 ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළව වගා කටයුතු කරගෙන යෑමේදී පවතින බාධක සහ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඉන්ධන සහ පොහොර සපයා ගැනීම, ඉඩම් ගැටලු, බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු විය.

 දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මකවීමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරිපත් කළ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම උදෙසා ග්‍රාමීය මට්ටමින් සිදු කළයුතු බෝග වගාවන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 මෙම තොරතුරු මත පදනම්ව ආහාර බැංකු (දෙදා ඉ්බන) සහ ප්‍රජා මුළුතැන් ගෙය (ක්‍දපපමබසඑහ නසඑජයැබ) යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

 මේ වනවිට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායකකර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබාගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

 කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment