ආහාර සුරක්ෂිතතාවයට යෝජනාවක්… ඇමැතිට පිටරට සවාරියක්

289

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න තම නිල නිවාස පරිශ්‍රය තුළ කළ සාර්ථක ගෙවතු වගාව දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට. අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ද මෙම අවස්ථාවට එක්විය.

ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගතහොත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට නැවතත් විදේශගත වීමට අවස්ථාවක් උදාවිය හැක.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් වහාම කැඳවන ලෙස ඔක්තෝබර් 07 දින ඉල්ලා සිටියේය. ඒ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වූ දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ ‘ආහාර සුරක්ෂිතතාව’ පිළිබඳ වට මේස සාකච්ඡාවට සහභාගි වෙමිනි. මාලදිවයිනේ හිටපු ජනාධිපති අහමඩ් නෂීඩ් ද (වර්තමාන කථානායක) මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. ජගත් සංවිධානයේ මහා ලේකම් ඇන්තෝනියෝ ගුටේරිස් එම රැස්වීමට සහභාගි විය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ එතුමාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලෝක ආහාර තත්ත්වය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව අතිශය බරපතළ අවදානමකට ලක්වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. කෘෂිකර්ම අමාත්‍යවරයාට ලෝක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කීමට කිසිදු දෙයක් තිබිය නොහැක. (මෑතකදී මාධ්‍ය අවධානය අමරවීර අමාත්‍යවරයාට යොමු වූයේ ඔහුගේ සහෝදරයකුගේ පුතෙකු ඔක්තෝබර් 20 වැනි දින යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මහත් කලගබෑණියක් කළ කණ්ඩායමේ සාමාජිකයකු වීම නිසාය. එම කණ්ඩායමට තිබූ එකම දේශපාලන හයිය අමරවීර පවුල නොවේ. රට පත්වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය ඇමැති පවුල්වලට අදාළ නැත)

වී මිලදී ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණයක් අදටත් ක්‍රියාත්මක නොමැති තත්ත්වයක් යටතේ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට කැඳවන සාකච්ඡාවකට ශ්‍රී ලංකාව සහභාහි වීම නිෂ්ඵල කටයුත්තකි. ඇත්ත වශයෙන්ම විහිළුවකි. ලෝක බැංකුව කළ මැදිහත් වීම නොවන්නට අද මහා කන්නයට අවශ්‍ය පොහොර අපට නැත. පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලිය දූෂණයෙන් තොරව කිරීමටද ලෝක බැංකුව පියවර ගත්තේය. චීනය ගොවි සහ ධීවර ජනතාවට අවශ්‍ය ඩීසල් ලීටර් මිලියන 10.6 නොවැම්බර් – දෙසැම්බර් මස ලබා දීමට ඉදිරිපත් වී ඇත. තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලංකාවට ආහාර සහ බෙහෙත් පරිත්‍යාග කිරීම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයයි. විදේශ අමාත්‍යාංශය, කොළඹ පිහිටි තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති ආහාර, බෙහෙත්, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඉන්දියාව ලබා දී ඇති ණය පහසුකම් නැවත නැවතත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය රට නන්නත්තාර කර ඇති බවයි.

ශ්‍රී ලංකාව ලෝකයට බරක් වී ඇති බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරුම්ගත යුතුය. නමුත් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත පක්ෂ ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය නොසලකා හැර ඇත. වගකීම් විරහිත පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ ආහාර සුරක්ෂිතතාවය පමණක් නොව අති බහුතරයගේ ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත.

ශ්‍රී ලංකාව ලෝකයට බරක් බව මෑතකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය. ඉන්දියානු ව්‍යාප්තවාදය සහ අතපෙවීම් සම්බන්ධයෙන් ජවිපෙ විරෝධතාවය මීට පෙර පළකර ඇත. නමුත් සජීවී හිරු ‘සලකුණ’ වැඩසටහනට සහභාගි වෙමින් ජවිපෙ නායකයා අවධාරණය කළේ බදු ගෙවන ඉන්දියානු ජනතාව ශ්‍රී ලංකාවේ පිහිට වී ඇති බවයි. ඉන්දියාව මාස 6 ක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ණය ආධාර ලබා නොදෙන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් නරක තත්ත්වයකට පත්වීමට තිබූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ වගකීම සහ වගවීම නොවිමසා ශ්‍රී ලංකාව බංකොළොත් තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැක. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නේ නැත. එවැනි ආයතනයක් තවදුරටත් මහජන මුදලින් නඩත්තු කළ යුතුද යන ප්‍රශ්නය නිතැතින්ම නැඟේ. ආණ්ඩුවට උත්තර නැත. රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදයේදී මහා භාණ්ඩාගාරය ද අසරණ බවයි. ලෝක ආහාර සමුළුවක් පැවැත්වුවහොත් කෘෂිකර්ම අමාත්‍ය අමරවීරට තව නිලධාරීන් කීප දෙනකු සමඟ විදේශගත විය හැක. එම අමාත්‍යවරයා ඔක්තෝබර් 21 වන දින 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේදී ද සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඒ රාජකාරි කටයුත්තක් සඳහාය.

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන අමරවීරට අමතරව ප්‍රසන්න රණතුංග, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනුරාධ ජයරත්න, සිරිපාල ගම්ලත්, වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. එම්. මුෂාරෆ්, මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ නිපුන රණවක එදින විදේශගතවී සිටියේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද දේශගුණික විපර්යාසවලට මෙන්ම ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ද ලෝකයේම ඉහළ අවධානයක් මේ මොහොතේ යොමු විය යුතු බව සිංගප්පූරුවේ පැවැත්වෙන සම්මේලනයකදී පසුගියදා අවධාරණය කළේය. විශේෂයෙන් ආසියාතික කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ කෙරෙහි අවධානය යොමුකර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවද ප්‍රකාශ කළේය. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අමුතුවෙන් අවධාරණය කිරීමේ අවශ්‍යතාවයක් නැත. ගොවිතැනට ලබා දිය යුතු අවම සහ අත්‍යවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. අවාසනාවකට ගොවිතැනට ලබා දිය යුතු සහයෝගය සහ මහා පරිමාණයේ මෙන්ම මධ්‍යම තත්ත්වයේ මෝල් හිමියන්ගේ අවශ්‍යතා ආණ්ඩුව පටලවාගෙන ඇත. මෙය අලුත් තත්ත්වයක් නොවේ. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත් වීම අවධාරණය කරන්නේ වෙළෙඳපොළ හැසිරවීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට භාර දී ඇති බව නොවේද? එවැනි තත්ත්වයක් තුළ ලෝක ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කීමට දෙයක් නැත. බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති ශ්‍රී ලංකාවේ ආහාර, බෙහෙත් ඇතුළු බොහෝ ද්‍රව්‍ය සැපයුම් මාර්ග ඇහිරී ඇත. ආහාර සුරක්ෂිතතාවය සැලකිය යුතු පවුල් ප්‍රමාණයකට අහිමි කර ඇත. ජාත්‍යන්තර වාර්තා අනුව ලක්ෂ 57 හෝ සමස්ත ජනගහණයෙන් 26% මානුෂික ආධාර මත යැපෙන තත්ත්වයට පත්වී ඇත.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්නගේ සාර්ථක ගෙවතු වගාව අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මෑතකදී බැලීමට ගියේය. ගෙවතු වගාවට ජනතාව උනන්දු කිරීම ඉතාමත් හොඳය. නමුත් ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශය තීරණාත්මක ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදය විසඳීම බංකොළොත් රටට මහත් අභියෝගයකි.

ලෝක ආහාර සංවිධානය මෑත කාලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් වික්‍රමසිංහ -රාජපක්ෂ රජය නිසි ලෙස තේරුම් ගෙන තිබේද?

කථානායක මහින්ද යාපා අබේවර්ධන ද මෑතකදී ආහාර අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීය. එක්සත් ජාතික පක්ෂයෙන් පළමු වරට 1983 දී හක්මන ආසනයෙන් පාර්ලිමේන්තුවට පත්වූ අබේවර්ධන ප්‍රධාන පක්ෂ දෙකම (එජාප සහ ශ්‍රීලනිපය) නියෝජනය කළ පළපුරුදු මහජන නියෝජිතයෙකි. නමුත් එතුමා ජනතාවට අනතුරු අඟවන විට ඔහු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෘෂිකර්මාන්තය වනසා හමාරය.

පසුගියදා ජනාධිපති වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානයකදී 400 කට අධික වූ පිරිසකට පිසූ ආහාර වේලක් ලබා දුන්නේය. ප්‍රජා මුළුතැන්ගෙවල් හරහා ජනතාවට පිරිසිදු ආහාර වේලක් ලබා දීම යහපත් ක්‍රියාවකි. නමුත් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය නැති කළ හැක්කේ පූර්ණ ආර්ථික – දේශපාලනික – සමාජ ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් පමණි. මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රට බංකොළොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ පසුගිය මැයි මාසයේදීය. නමුත් අද වනතුරු රට බලාපොරොත්තු වන වෙනස ඇති කිරීමට සාධනීය මැදිහත්වීමක් පාර්ලිමේන්තුව කර නැත.

බදු පැනවීම තුළින් පමණක් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැක. නමුත් ආණ්ඩුවේ ස්ථාවරය බදු වැඩිකිරීම හරහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම බව පැහැදිලිය. බදු ගෙවීම් පැහැර හරින්නන්, වංචාකරුවන් සහ ව්‍යාපාර ප්‍රජාව සමඟ එක්වී රාජ්‍ය අදායම අහිමි කරන කණ්ඩායම් මෙල්ල කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැත. ආහාර සුරක්ෂිතතාවය අහිමි වන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කඩා වැටීම තුළ බව දැන්වත් ඊට වගකිවයුතු පාර්ලිමේන්තුව තේරුම්ගත යුතුය. පාර්ලිමේන්තුව කඩා වැටීම තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය ජය ගැනීමට අවස්ථාවක් තිබේද. ඊජිප්තුවේ පැවති සම්මේලනයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට සැපත් වූ ජනාධිපතිවරයා නොවැම්බර් 10 දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එදින විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල කළ ප්‍රකාශය යහපාලන කථානායක කරු ජයසූරිය ලෝකයේ හොඳම පාර්ලිමේන්තුවක් ලෙස හැඳින්වූ මැති සබයේ සැබෑ තත්ත්වය අවධාරණය කළේය. “මේ පාර්ලිමේන්තුව දැන් කල් ඉකුත් වෙලා. ඇමැතිවරු කී දෙනාද ඉන්නේ. ඇමැතිවරු එකයි, දෙකයි, තුනයි ඉන්නේ. කිසිම ජවයක් නැහැ. මේක මැරිලා.”

මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම අවම තත්ත්වයක පවතී. නීති සම්පාදකයන්ට නීතියක් නැත. පාර්ලිමේන්තු ක්‍රමයේ කඩා වැටීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පක්ෂ තුළ සාමුහිකත්වයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවීමයි. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම තුළ සියලුම පක්ෂ කැඩී විසිරී ඇත. අමාත්‍යාංශවල තත්ත්වයද එසේමය. සාකච්ඡා මාර්ගයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසර 2 1/2 කට ආසන්න කාලයක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය අහිමි කිරීමට ආණ්ඩුව වියරුවෙන් මෙන් කටයුතු කළ ආකාරය තේරුම්ගත හැක. ආණ්ඩුව අනුගමනය කළ වගකීම් විරහිත ක්‍රියාකලාපය තුළ සියලුම ක්ෂේත්‍රයන්ට බලපෑම් ඇතිවිය. මූල්‍ය ක්ෂේත්‍රය නැත්තටම නැතිවිය.

ලෝකයටම බරක් වූ ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමේ තත්ත්වයට වැටුණේය. මියන්මාරයෙන් සහල් පිනට ලබා ගත්තේය. තානාපති කාර්යාල කීපයක් වැසුවේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එම්. එම්. සුහෙර් මෑතකදී පෙන්වා දුන්නේ ලෝකය ඉදිරියේ දණින් වැටී ඇති ශ්‍රී ලංකාවට බටහිර බලපෑම් මෙන්ම ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාවේ සහයෝගය සම්පූර්ණයෙන්ම අහිමි වී යෑමට ඇති අවස්ථාවයි. ඒ පසුගිය සැප්තැම්බරයේ පැවති 51 ක් වැනි ජිනීවා සැසිවාරයේදී මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව එතුමා කළ විග්‍රහයකදීය.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සේවය කළ ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ මෙහි සිදුවූවා යැයි චෝදනා කරන යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයකට එරෙහිවීම 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට විදේශීය ආරක්ෂක අංශවලට ආරාධනා කිරීම පරස්පර විරෝධී බවයි. බරපතළ ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ සහයෝගය ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාවෙන් නොලැබුණ බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාව බංකොළොත් කළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරින් විමසා බැලිය යුතුය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට 2019 බලය ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආහාර සුරක්ෂිතතාවය රටට අහිමි කර පල්ලම් බැස්සේය. නමුත් කල් ඉකුත් වූ බවට කිරිඇල්ල හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ බලය තවමත් පොහොට්ටු පක්ෂයේය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment