ආහාර හිඟයක් එනවා හැම ඉඩමකම වවන්න

747

ඉදිරියේ දී මෙරටට මුහුණ දීමට සිදුවන මහා ආහාර හිඟය වළකා ගැනීමට වගා නොකළ ඉඩම්වල වගා කරමින් විශේෂ වගා වැඩ සටහන් ආරම්භ කිරීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු විය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) යෝජනා කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම දිස්ත්‍රික්කයේ ජනතාවට මේ වන විට මුහුණදීමට සිදුව ඇති වත්මන් අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කළ අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

දෛනික ආහාර ගැන ප්‍රශ්නය කොළඹට විතරක් එන එකක් නොවේ ලෝකෙටම එන එකක්. ලෝක ආහාර බැංකුව ඇමරිකන් ඩොලර් බිලියන 30ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජෙනට් ජැනන් කියලා තිබෙනවා ලොකුම ප්‍රශ්නයට ඒ අය මුහුණ දෙන්න සැලසුම් කරනවා, ලෝකයටම මේ අවුරුද්දේ ආහාර හිඟයක් එනවා කියලා. ඔහු විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා ඒකේ එක රටක් තමයි ශ්‍රී ලංකාව, අනෙක් රට තමයි ඇෆ්ගනිස්ථානය කියලා. ඒ නිසා අපට වගා කරන්න වෙයි. අවශ්‍ය ආහාර වගා කරන්න. කොළඹ වගේම නුවර වුණත් වගා කරන්න වෙනවා. ඒ නිසා අපි වෙනම අයවැයක් ගෙනල්ලා සහන දෙන්න යනවා. අපි ඔක්කොම එකතුවෙලා මේ ආහාර හිඟය නවත්වන්න ක්‍රියා කරමු. කොළඹ මන්ත්‍රීවරු සියලු දෙනාම එකතු වෙලා කොළඹ ආහාර හිඟය වළක්වන්න හිස් ඉඩම්වල වගා කිරීම ගැන ව්‍යාපෘතියක් හදන්න. ඒ ගැන අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු.

මුජිබර් රහුමාන් මහතා –

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ගෑස් නෑ, තෙල් නෑ. කඩවල් වහලා. ඒ අයට උයා පිහාගෙන කන්නත් බැරි තත්ත්වයක් ඇතිවෙලා. අඩුම තරමේ ඒ අයට භූමිතෙල් ටිකවත් ලබා දෙන්න. මේ ජනතාව ළඟදී පාරට බහීවි. එතකොට කියන්න එපා කව්රු හරි උසි ගැන්නුවා කියලා. මේකට වැඩපිළිවෙළක් හදන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment