ආහාර හිඟයට බිය වුණොත් කුසගින්න වැඩි වේ

401

 

රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ගැන මේ වනවිට බොහෝ දෙනා කථා බහ කරන්නට පටන්ගෙන ඇත. ඊට පිළියම් ලෙස ඇතැම් අය තමුන් කැමැති ආහාර වර්ග එක් රැස් කරගැනීමට උත්සාහ කරති. මෙය කොපමණ කාලයකට රැස් කර තබාගත හැකිදැයි කියා මෙලෙස ආහාර වර්ග රැස් කරගන්නා අය නො දනිති. එනිසා එය ඊට ප්‍රායෝගික විසඳුමක් නොවේ.
 
 වෛද්‍යතුමනි ආහාර හිඟයකදී අප ඊට මුහුණ දිය යුත්තේ කෙසේද

ආහාර හිඟයක් ලෙස අතීතයේදී අප පැවසුවේ සාගතයක් ලෙසය. එවිට පොදුවේ සියලුදෙනාට තමාගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර පාන ප්‍රමාණවත් ලෙස ලබාගැනීමට නොහැකි වේ. එය කොපමණ කාලයක් පවතී දැයි කියා පැවසීය නොහැකිය. කෙසේ නමුත් අප ඊට නිවැරදිව මුහුණ දෙන ආකාරය අනුව සාගතයේ කාලසීමාව කෙටි කරගත හැකිය.එසේ නොමැතිව ඇති හැකි අය ආහාර තොග රැස් කර ගැනීමෙන් සිදුවන්නේ සාගතය ඇතිවීමටත් පෙර ඊට අවශ්‍ය පසු බිම සැකසීමය. එසේම ඒ සඳහා අප තුළ ඇතිවන බිය නිසා මානසික පීඩාවද හටගනී.එනිසා අප සාගතයට මුහුණදීම සඳහා කායිකව සහ මානසිකවද හුරුවීමක් ඇති කරගත යුතුය.

 මානසිකව හුරුවීම

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවනවිට පළමුව අප සොයා බැලිය යුත්තේ එය ඇතිවන්නේ ස්වභාවික විපත් නිසා හෝ වෙනත් ගැටලු නිසා දැයි කියා ය. නියඟයක් ගංවතුරක් ආදිය නිසා ආහාර හිඟයක් ඇතිවේනම් ඉන් හානියට ලක්වන ආහාර භෝග හඳුනාගෙන ඊට වෙනත් විකල්ප ආහාර භෝග කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ඒ සඳහා අපගේ හුරුපුරුදු ආහාර රටාව ක්‍රම ක්‍රමයෙන් වෙනස් කරගැනීමට මනස හුරුකරගත යුතුය. රසවත් ආහාර රසට උයන ආහාර නොව, පෝෂ්‍යදායී ආහාර සහ කුඩා ප්‍රමාණයකින් වැඩි ශක්තියක් ගෙනදෙන ආහාර ගැනීමට හුරුවිය යුතුය.උදාහරණයක් ලෙස කොස්, දෙල්, මක්‍ද්ක්‍දාක්කා වැනි ආහාර බත්වලට විකල්ප ලෙස භාවිත කළ හැකිය. බත් සමග මෙම ආහාර ගත්තොත් සිදුවන්නේ සිරුරට ලැබෙන පිෂ්ඨය අධික වීමය. එනිසා මෙවැනි ආහාර ගන්නාවිට බත් ආහාරයට නොගත යුතුය.කොස් තම්බා ආහාරයට ගන්නේනම් ඊට පොල් හෝ පොල් සම්බෝලයක්, පොල් කිරි හොද්දක් එක්කර ගැනීමෙන් එහි ඇති තෙල් මගින් සිරුරට ශක්තිය ලැබේ. මෙමගින් කුසගින්න ඇතිවීමද පාලනය කරගත හැකිවේ.ඒ අනුව තුන්වේලම බත් වෙනුවට මෙවැනි විකල්ප ආහාර තම ප්‍රධාන ආහාරවේලට යොදා ගැනීම සහ ඒවා අනුභව කිරීමට මනස හුරු කරගත යුතුය.ආහාර හිඟයක් ඇතිවේයැයි කියා නිතර සිතමින් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම තුළින් සිදුවන්නේ අප තුළ වෙනදාට වඩා කුස ගින්න වැඩි වීමය. එසේම ඉතා ඉක්මනින් රෝගී වීමය.

 කායිකව මුහුණදීම
 වර්තමානයේ බොහෝ දෙනා දිය වැඩියාව, අධි රුධිර පීඩනය හෘදයාබාධ වැනි රෝගවලින් පෙළෙති.එවැනි අය තම රෝග තත්ත්වයන් නිසි ලෙස පාලනය කරගත යුතුය. මෙවැනි අය දිනපතා තම ආහාර වේලට පලාවර්ග එක්කර ගැනීම ගුණදායකය. ගොටුකොළ, කංකුං, කෝප්පකොළ, කතුරුමුරුංගා කොළ,ආදී මැල්ලුම් ඉතා ගුණදායකය. පලාවර්ගවල පිෂ්ඨය හෝ මේදය නැත. විටමින් වර්ග, කෙදි සහිත ගුණය බහුල නිසා ජීර්ණයට ද පහසුවේ.වැඩිවේලායක් එක තැන හිඳිමින් කාලය ගතකිරීම වෙනුවට තමාට ප්‍රයෝජනවයත් ආහාර පැළයක් වගාකර ගැනීමට සිරුර වෙහෙස කරවීම මගින් අලස බව ද නැතිවේ.පවතින වැසි සහිත කාලගුණය නිසා සෙම් රෝග පෙණහලු ආශ්‍රිත රෝගවලින් පෙළෙන අයට වැස්සට තෙමීම සීතල ජලය ස්නානාය, සීතල ජලය පානය හොඳ නැත. ඉන් තමා තුළ පවතින රෝග උත්සන්න වේ. දිනපතා ස්නානය අත්‍යවශ්‍ය නැත. සතියකට වරක් වුව ප්‍රමාණවත්ය. කළ යුත්තේ සිරුර හොඳින් පිරිසිදුව තබා ගැනීමය. මෙවැනි අය දිනපතා වෙනිවැල්ගැට සහ කොත්තමල්ලි පානයක් ගැනීම ගුණදායකය. ඉන් විෂබීජ මගින් ඇතිවන රෝග පාලනය කරගැනීමට අවශ්‍ය
ප්‍රතිශක්තිය සිරුරට ලැබේ. ගමන් බිමන් යෑමේදී හැකිතාක් පයින් ඇවිද යෑමට හුරුවියයුතුය. ඉන් ශරීරයට ව්‍යායාමයක් මෙන්ම මුදල් ඉතිරියක් සිදු කරගත හැකිය. මෙලෙස අපට ජීවන රටාව යම් ආකාරයකට හෝ වෙනස් කරගත හැකිනම් සිරුරේ සෞඛ්‍යය ද රැකගෙන මතුවිය හැකි ආහාර අර්බුදයට විසඳුම් සෙවිය හැකිය. එනිසා අය සූදානම් විය යුත්තේ ආහාර අර්බුදයට මුහුණදීමට නොව, එය පාලනය කරගැනීමට විසඳුම් සෙවීමටය.

 

ආහාර හිඟයට බිය වුණොත් කුසගින්න වැඩි වේ
advertistmentadvertistment
advertistmentadvertistment