ඇගේ සිරුර සහ ඇගේ අයිතිය (2)

2207

ගණිකා වෘත්තිය මෙරට තුළ නීතිගත කළ යුතු බවට නිහඬ ව්‍යාපාරයක් දශක දෙකක් පමණ තිස්සේ ඉතා රහසින් කනට කොඳුරන ලෙවල් එකෙන් තිබේ.

 සමලිංගික අයිතිවාසිකම් ද ඒ සමගම නීතිගත කළ යුතු බව ටිකක් හයියෙන් කියනු ලැබේ. මේ දෙකෙන්ම කියවෙන පොදු කාරණයක් තිබේ. එය පොදු කාරණයකට වඩා පොදු විලාපයක් ලෙස දකිමු. ඒ විලාපය වූකලී ගණිකා වෘත්තියේ යෙදී සූරාකෑමට ලක්වන කාන්තාවන් සහ ලිංගික ශ‍්‍රමය විකුණා අපහරණයට ලක්වන සමලිංගිකයන් නගන විලාපයයි. සමලිංගික ප‍්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ලංකාවේ පළමුවරට ප‍්‍රසිද්ධියේ කතා කළ එකම පුවත්පත ‘දිවයින’ ය. ගැහැනුන් ඇඟ විකුණන්නේ ගැහැනුන්ගේ වරද නිසා නොව ආර්ථිකයේ ඇති විෂමතාව සහ ලිංගික ශ‍්‍රමය මිලට ගැනීමට පිරිමින් තුළ ඇති ක‍්‍රය ශක්තිය නිසා බව අපි එදත් අදත් නොපැකිල කියමු. බුද්ධ කාලීන සමාජයේ ද  ලිංගික ශ‍්‍රමික කාන්තාවෝ ජීවත් වූහ. එම සමාජය තුළම සමලිංගිකයන් හෙවත් පණ්ඩකයෝ ද ජීවත් වූහ. පණ්ඩකයන් පස් වර්ගයක් සිටින බවත් ඒ පස් වර්ගය කෙසේ බිහිවන්නේ ද යන කාරණයත් බුදුන් විසින් දෙසා වදාරනු ලැබ තිබේ. භික්ෂූන් අතර අපහරණය වීම වැළැක්වීම සඳහා පණ්ඩකයන් බුදු සසුනට අනුයුක්ත නොකළ යුතු බවට ද උපදෙසක් ඇත. මේ හැම උපදෙසකම අරමුණ වන්නේ මනුෂ්‍යයන් ලෙස උපත ලැබූවන් සූරාකෑම වැළැක්වීමය. ගණිකා වෘත්තිය නීතිගත කිරීම කෙරෙහි තමන් තුළ විරෝධයක් නැතැයි කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් තිදෙනකු ගැන අපි ඊයේ මේ තීරුව ඔස්සේ සඳහන් කළෙමු. හරි වේවා වැරදි වේවා ස්වකීය මතවාදය ප‍්‍රකාශ කිරීමට ඔවුන් තුළ වූ ආත්මශක්තිය පිළිබඳව අපේ ගෞරවය පුද කෙරේ. ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ කිසිදු අදහසක් මේ පුවත්පතට නැත. අපේ අරමුණ වන්නේ ගණිකා වෘත්තියෙහි යෙදෙන සහ යොදවනු ලබන කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෛතික ආවරණයක් ලබාදීම පමණි.

 ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව ගණිකා වෘත්තීය ඉඳුරාම තහනම් ය. එනම් කිසියම් කාන්තාවකගේ ශරීරය මුදලට විකිණීම හෝ එම ශරීරය මුදලට ගැනීමට තැත් කිරීම හෝ ගණිකාවක් සහ පුරුෂයකු අතර මුදලට සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා බ්‍රෝකර් වැඩ කිරීම හෝ ගණිකා නිවාස පවත්වාගෙන යෑම තහනම් කාරණා වෙති. එසේම ගණිකා වෘත්තියේ යෙදවීමේ අරමුණ සහිතව කාන්තාවන් තැනකින් තැනකට ගෙන යෑම (Trafficking) ද වරදකි. එසේ කාන්තාවන් ප‍්‍රවාහනය කිරීමේ අරමුණ ඔවුන් මුදලට විකිණීම ම ද යන කාරණය ඔප්පු කරගන්නේ කොහොමදැයි ඔබ දැන් විමසනවා ඇත. එවැනි බ්‍රෝකර් කෙනකු අල්ලා පොලිසියේ වහලයේ එල්ලා මිරිස් දුම් ටිකක් නහයට අල්ලා කිතුල් පොල්ලකින් යටි පතුලට පහරදෙන විට ඔහු ස්වකීය අරමුණ වමාරන්නේ බස බසගාය. නීතියෙන් තහනම් වුණත් ශ‍්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල වෘත්තියක තරමටම ගණිකා වෘත්තිය තිබේ. එහෙත් අසල්වැසි නේපාලය, ඉන්දියාව, බංගලාදේශය යන රටවල තරමටම මෙරට ගණිකා වෘත්තිය මෙහි පැතිරී නැත. පිළිගත් සංඛ්‍යා ලේඛනවලට අනුව ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් හතළිස් දහසක් මේ රටේ සිටිති. ඉන් විසි දහසක්ම ඉන්නේ කොළඹ ය. ඇත්තම කතාව නම් මේ රටේ සමස්ත ගණිකාවන් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවන බවය. ගණිකා වෘත්තියට අදාළ වැරදි සඳහා දඬුවම් දීම 1842 පාදඩ ආඥා පනත  (Vagrants Ordinance) යටතේ සිදු කෙරෙයි. ගණිකා නිවාස සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම සිදුවන්නේ 1889 ගණිකා නිවාස පනත යටතේය. මොන පනත් තිබුණත් අන්තර්ජාලයට පිවිසි විට එක ටෙලිෆෝන් කෝල් එකෙන් ගණිකාවන් ගෙදරට ගෙන්වා ගැනීම හෝ ගණිකාවන් සිටින තැනකට ගොස් සේවාව ලබා ගැනීමට මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන්ට පුළුවන. පසුගියදා ගණිකාවන් විකුණන වෙබ් අඩවියක් ඔස්සේ බාල වයස්කාර දැරියක වෙතින් ලිංගික ශ‍්‍රමය ලබාගත් අයියලා කිහිපදෙනකුට රිමාන්ඞ් කූඩුවේ ළගින්නට සිදුවිය. අනතුරුව එම වෙබ් අඩවිය තහනම් කළ යුතු බවට විශාල ඉල්ලීමක් සමාජයෙන් නැගිණ. ඒ සමගම එම වෙබ් අඩවිය තහනම් කරන ලෙසට අධිකරණ නියෝගයක් ද නිකුත් විය. ඉන් දින දෙකකට පමණ පසු වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් අතුරුදන් විය. මේ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය මහතා වූකලී ලංකාවේ ජනප‍්‍රියම පිරිත් වෙබ් අඩවියේ අයිතිකරු ය. ඒ අනුව එතුමා ලෝකෝත්තර සුවය සඳහා මෙන්ම ලෞකික සුවය සඳහා ද එකවර පහසුකම් සැපයූ හාදයකු බව පෙනෙන්නට තිබිණ. එය සමාන වන්නේ ගණිකා නිවාසයක් සහ කුලඟන සමිතියක් එකම ගෙදර කාමර දෙකක පවත්වාගෙන යෑමටය. පෙරකී වෙබ් අඩවිය අතුරුදන් වී මාසයකට පසු ඊට වඩා කාර්යක්ෂම සහ ඊට වඩා පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ගණිකා වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් මතු විය. මුදලට ඇඟ විකුණන කාන්තාවන්ගේ මිල, ඔවුන්ගේ ඡුායාරූපය, ඔවුන්ගේ ක‍්‍රියාශීලිත්වය සහ ඔවුන් සපයන විශේෂාංග යන සියල්ලම මේ වෙබ් අඩවිවල ඇතුළත්ය. මෙබඳු වෙබ් අඩවියකට පිවිසි විට කෙනකුට දැනෙන්නේ තමන් වාත්ස්‍යායනගේ කාම සූත‍්‍රය, ශ‍්‍රී කල්‍යාණමලලගේ අනංග රංගය, නාගර්ජුනගේ රතී ශාස්ත‍්‍රය යන ග‍්‍රන්ථ තුන එකවර පරිශීලනය කරන බවය. මේ වෙබ් සයිට්වල වෙබ් ලිපින පළ කිරීමෙන් අපි වළකිමු. මේවා ඔස්සේ විකිණෙන දැරියන් වැඩිදෙනා රස්සාවල් දෙනු පිණිස දුර ගම්වලින් කොළඹට රවටාගෙන පැමිණි තරුණියෝ වෙති. නීතියේ ආවරණය නැතිකමින් මේ අසරණ ගැහැනු කබරගොයින් වැනි නන්නාඳුනන පිරිමින් අතින් අපහරණය වෙති. ගණිකා වෘත්තිය නීතිගත කළා නැතා අපට වැඩක් නැත. සල්ලි පෙන්වා ගැහැනුන්ට වධ දෙන කාමුක නීචයන් අල්ලා උන්ට දඬුවම් දීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අපට ඒ හොඳටම ඇතිය.

advertistmentadvertistment
advertistmentadvertistment