ඇඟලුම් සේවකයන් 15,000 කට රැකියා අහිමි වෙලා

199

පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වන විටත් වෙළෙඳ කලාපවල පිහිටි ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන් 15,000 ක පමණ පිරිසකට රැකියා අහිමිවී ඇතැයි නිදහස් වෙළෙඳ සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

දිවයින පුරා වෙළෙඳ කලාප 14ක් තුළ සේවකයන් 1,48,000 ක් පමණ රැකියාවේ නියුතු අතර එම පිරිසෙන් 15,000 කට පමණ මේ වන විට රැකියා අහිමිවී ඇතැයිද ඒ මහතා පැවසීය. ජනවාරි 01 වැනිදා සිට රජය දේශීය ආදායම් නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු තවත් ආයතන කිහිපයක සේවකයන් රැසකට රැකියා අහිමිවී යාහැකි බවද රත්නායක මහතා කීවේය.

මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් අපනයන

සමාගමක් කටුනායක, කොග්ගල, බියගම පිහිටි සිය කර්මාන්ත ශාලා තුන වසා දැමීමට තීරණය කර ඇති බවත් ඉන් රැකියා 5,000 ක් පමණ අහිමි වන බවත් පැවසූ ඒ මහතා මේ වන විටත් එම ආයතනවල කාර්යය මණ්ඩලයට ඉන්දියාවේ පිහිටි සිය කර්මාන්ත ශාලාවල සේවයට ඉල්ලුම් කරන ලෙස දැනුම්දී ඇතැයිද කියා සිටියේය.

වෙළෙඳ කලාපවලින් බාහිරව පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් වැසී රැකියා අහිමිවී ඇති බවත් ඒවාහි තොරතුරු ලබා ගැනීමට ස්ථානයක්වත් නොමැතිවීම

ගැටලුවක් බවත් රත්නායක මහතා කීවේය.

මීට අමතරව ජනවාරි සිට විදුලිබිලද වැඩිවන බවට ප්‍රකාශය වීමත්, විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බවට ප්‍රචාරය වීමත් නිසා විදෙස් නියෝජිතයන් ශ්‍රී ලංකාවට ඇණවුම් දීම ප්‍රමාද කිරීම සහ ලබාදෙන ඇණවුම් අඩු කිරීම නිසා ඇඟලුම් ආයතනවල නිෂ්පාදන කටයුතු අඩුවී ඇතැයිද ඔහු පැවසීය.

විදුලිබිල වැඩි කිරීම නිසා ඇඟලුම් නිෂ්පාදනවල පිරිවැය වැඩිවී මිල ඉහළ ගොස් ඇති බවත් එම මිල අධික ඇඟලුම් හිමියන්ට ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මිල අඩු වෙනත් රටවල ඇඟලුම් සමග තරගකාරී ලෙස අලෙවි කිරීමේ ගැටලු පවතින නිසා බොහෝ ඇඟලුම් හිමියන් මෙරට පවතින ඇඟලුම් ආයතන ඉන්දියාව, මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකට රැගෙන යෑමට සාකච්ඡාකරමින් සිටින බවත් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment