ඇඟේ මාළු ගඟේ මුහුදේ නටන මාළු මිල

388

වෙනදාට දවසක් හැර දවසක් නිවෙස් සමීපයට පැමිණෙන ජංගම මාළු අලෙවි රථය දැන් පැමිණෙන්නේ කලාතුරකින්. සුපුරුදු පරිදි ඉස්සන් මගුරන් ගීතය ගමටම ඇහෙන්නට දැම්මත් ඇත්තම කතාව දැන් ඉස්සෙක් මගුරෙක් තියා හාල්මැස්සෙක්, සාලයෙක්වත් අඩුවට නම් ලැබෙන්නේ නැත.

එළවළු පලතුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඒවා පරිභෝජනය අවම කළ පාරිභෝගිකයන් ඒ වෙනුවෙන් විකල්ප ආහාර ලෙස මස්, මාළු බිත්තර කරවල වැනි දෑ පරිභෝජනයට වැඩිපුර නැඹුරු විය. නමුත් දැන් මස්, බිත්තර, කරවල පමණක් නොව මාළුද ගිනි ගණන් ය. ජනතාවගේ වචනයෙන්ම කියනවා නම් හෙට අනිද්දාට උදාවෙන්නේ දොළදුකකට මාළු කෑල්ලක් කන්නත් රුපියල් දෙතුන් දාහක් නැතිව බැරි තත්ත්වයකි.

“රට වටේම මුහුද තිබ්බට මාළු ටික ඉබේම වෙළෙඳපොළට එන්නෙ නෑ. ඒකට අපි මහන්සි වෙන්න ඕන. සමහර දවස්වල සති ගණන් මාස ගණන් මුහුද මැද්දේ. අපි ජීවිත අනතුරේ දාගෙන තමයි මාළු අල්ලන්නේ. දැන් ඉන්ධන නැති ප්‍රශ්නෙ නිසා ධීවර කර්මාන්තය තියෙන්නේ අවදානමක. ධීවරයන්ගේ ප්‍රශ්නවලට හැමදාම පිළිතුරු ලැබුණේ ප්‍රමාද වෙලා. දැන් නම් අපේ රස්සාවත් නැතිවෙන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ.”

රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම ධීවර කර්මාන්තයට සෘජුවම බලපෑම් කරන බව අමුතුවෙන් කිව යුතු නැත. මසුන් ඇල්ලීම සඳහා යොදාගනු ලබන ධීවර යාත්‍රාවලට ඉන්ධන නොමැති වීම නිසා දැන් ධීවරයෝ මුහුදු යන්නේ කලාතුරකිනි. කෙලෙසක හෝ සපයා ගන්නා ඉන්ධන වලින් මුහුදු ගොස් ගෙන එන මත්ස්‍යයන් වෙළෙඳපොළට රැගෙන ඒමටද අමතර වියදමක් දරන්නට ඔවුන්ට සිදුව ඇත.

ඇඟේ මාළු ගඟේ මුහුදේ නටන මාළු මිල

“වාරකන් නිසා දැන් මාර්කට් එකට මාළු එන්නේ අඩුවෙන්. ඒ වගේම තෙල් ප්‍රශ්නය නිසාත් ලැබෙන මාළු ප්‍රමාණය අඩුවෙලා. සාමාන්‍යයෙන් මාළු ප්‍රමාණය අඩු වෙද්දි මිල ගණන් ඉහළ යනවා. මේ දවස් වල මාළු මිල සීයට සීයකින් වැඩි වෙලා. තලපත් කිලෝවක් රුපියල් රුපියල් 2,400 – 2,800ත් ට, කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200ට, පරා මාළු කිලෝවක් රුපියල් 1,800- 2,000ට, ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800 ට, සාලයන් කිලෝවක් රුපියල් 800ක් වැනි ඉහළ මිල ගණන් වලට තමයි මේ දවස්වල විකුණුවේ. මාළුවල මිල වැඩි නිසාම දැන් මාර්කට් එකට මාළු ගන්න එන පිරිසත් අඩුවෙලා.” ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පවසයි. වෙනදාට අතුරු සිදුරු නැතිව පාරිභෝගිකයන්ගෙන් පිරී යන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ දැන් එතරම්ම කලබලකාරී බවක් නැත. වෙළෙන්දාගෙන් වෙළෙන්දා සමීපයට ගොස් මිල ගණන් විමසන බොහෝ පාරිභෝගිකයන් කිසිවක් මිලදී නොගෙනම ආපසු හැරී යන අවස්ථාද ඕනෑ තරම් බව සභාපතිවරයා කියා සිටියි. මාළු වෙළෙඳපොළ නිර්මාණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. ඉල්ලුමට සැපයුම ලැබෙන්නේ නැතිනම් මාළු මිල අධිකයි. ඒක තමයි මේ මාළු මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වෙන්නේ. මාර්කට් එකට මාළු වැඩියෙන් ලැබුණොත් මිල බහිනවා. පසුගිය මාස දෙක තුනේම ඉල්ලුමට අනුව සැපයුම තිබ්බේ නෑ” පෑලියගොඩ මධ්‍යම මත්ස්‍යය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා මාළු මිල ඉහළ යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කළේ එලෙසය.

“තව ටික දවසකින් මිනිස්සුන්ට මාළු කන්න වෙන්නෙත් නෑ. මාළු ලොරියේ වගේම, කඩෙත්, පෑලියගොඩ මාර්කට් එකෙත් මාළු ගිනි ගණන්. වෙනදට මාළු කිලෝ එකහමාරක් ගන්න සල්ලි වලට දැන් ගන්නේ ග්‍රෑම් පන්සීයයි. අපි නැතත් ගෙදර ඇති කරන බලු පැටව් දෙන්නට මාළු කෑල්ලක් වත් නැතිව බත් ටිකක් දෙන්නේ කොහොමද?” කල්‍යාණි මහත්මිය සිහිපත් කරන්නේ දැන් මිනිසුන් මෙන්ම සතුන් ද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි. මේ අතර කුඩා ලොරි රථයකින් ගමින් ගමට ගොස් මාළු ව්‍යාපාරයේ යෙදුන සිල්වා මාළු මිල ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මිනිස්සු කියනවා දැන් මාළු වෙළෙන්දන්ට සරු කාලයක් ලබලලු. අපි මේ මාළු තොග අරගෙන නගරයෙන් නගරයට ගමින් ගමට යනවා. මේ වාහනය කුලියට ගත්ත එකක්. වාහනේ කුලිය දීලා, තෙල්වලට වියදම් කළාම ඉතුරු වෙන දෙයක් නෑ. දැන් මිනිස්සු වෙනදා වගේ මාළු ගන්නෙත් නෑ. ඇත්තටම දැන් මිනිසුන්ගේ අතේ සල්ලිත් නෑ. තියෙන සල්ලිවලට ගන්න පුළුවන් දේකුත් නෑ. අපි වැඩිපුර හම්බ කරගන්නවා කියලා මිනිස්සු හිතුවට ඇත්තටම අපිත් එදා වේල පිරිමහ ගන්නේ අමාරුවෙන්.”

ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ධීවරයන්, ව්‍යාපාරිකයන්, අතරමැදි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද අසරණව සිටිති. රට වටේම මුහුද තිබ්බත් දැන් මුහුදු මාළු මිල අහස උසටය. වැව් මාළුවල තත්ත්වයද එසේමය. පසුගිය සතියේ වැව් මාළු කිලෝවක් රුපියල් දාහක මිලකට අලෙවි වූ බවට අපට තොරතුරු වාර්තා විය. වෙනදාට පාපැදියෙන් නිවසක් නිවසක් ගානේ ගොස් වැව් මාළු අලෙවි කරන්නන් දැන් එන්නේ කලාතුරකින් බව ප්‍රදේශ කිහිපයකින්ම තොරතුරු විමසූ විට ගැමියෝ පැවසූහ. එමෙන්ම මාළු වර්ග කිහිපයක් බහාලූ කත රැගෙන නිවෙසින් නිවෙසට යන වෙළෙඳුන්ද දැන් දකින්නටවත් නැත. මාළු මිල ඉහළ යෑම සමඟම කරවල මිල ද ඉහළ ගොසිනි.

“එළවළු ගිනි ගණන්. මස් නැතත් මාළු කෑල්ලක් එක්ක හරි පොඩි උන්ට කන්න දෙන්න පුළුවන් කම තිබුණා. දැන් ඒකත් නෑ. මුහුදු මාළු වගේම වැව් මාළුත් ගිනි ගණන්. ඔරුවෙන් වැවේ ගිහින් මාළු ටික අල්ලගෙන සයිකලෙන් ගෙවල් ගානේ එන මාළු වෙළෙන්දත් තෙල් ගණන් හින්දා මාළු ගණන් කියනවා. කවදාවත් ගම්වල මිනිස්සු රුපියල් දාහට වැව් මාළු කාලා නැතුව ඇති. ඇත්තටම කිව්වොත් දැන් මාළු මිල ඇහුවාම ඇඟේ මාළු නටනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ආසාවටවත් මාළු ටිකක් එළවළු දෙක තුනක් එක්ක බත් කටක් කන්න වෙන එකක් නෑ.”

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment