ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි – මාධ්‍යවේදීන් සී.අයි.ඩියට කැඳවන ආණ්ඩුව මහජන නියෝජිතයන් කැඳවීම අරුමයක් නොවේ – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

122

ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ජනතාවට ඇත්ත හෙළිකරන මාධ්‍යවේදීන්ව, පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක්, මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවද ඒ මහතා පැවසීය.

ඊයේ (30 දා) පෙරවරුවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ මාධ්‍ය ප‍්‍රකාශක මනූෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ මහතා සමඟ එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා මාධ්‍ය අමතා මේ බව සඳහන් කළේය.

‘‘දත්ත මකාදැමීමේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ, ජනතාවට එන්නත ලබාදීම, රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිථ්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව, අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප‍්‍රචලිත කළ බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක‍්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බව යැයි පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළ බව ද පැවසීය.

ජාතික ආරක්ෂාව යනු විශාල පරාසයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, එය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ වෙනුවට බොරු බේගල් ඉදිරිපත් කරමින් ජනතාව මංමුළා කිරීම සහ ව්‍යාකූල කිරීම වගකිවයුතු ආණ්ඩුවකට තරම් නොවන බවත් සඳහන් කළේය.

මාධ්‍ය මර්දනය කරමින්, රාජ්‍ය සේවකයන් මර්දනය, මානව නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උල්ලංඝනය කරමින් රටක් ඉදිරියට ගෙන යෑමට නොහැකි බව පැවසූ ඒ මහතා, වර්තමාන ආණ්ඩුව මේ රටට ශෝචනීය ඉරණමක් අත්කොට ඇති බවද පැවසීය.

මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ කිසිම විපක්ෂයක් තම පක්ෂයේ ශක්තියෙන් රටට අගයක් එකතු කොට තිබේදැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් සමගි ජන බලවේගය එකී වගකීම උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ කරන බව පැවසූ අතර ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන එහි කදිම නිදසුනක් යැයිද පැවසීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment