ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන ෂාෆ්ටර් ඝාතනය

418

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනයට අදට (01 දා) දින දාහතකි. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයතු කළ දිනේෂ් ෂාෆ්ටර් කෝටිපති දක්‍ෂ ව්‍යවසායකයෙකි. ඔහු ඝාතනයට ලක්වූයේ බොරැල්ල කනත්ත පරිශ්‍රය තුළය. ඝාතනය සිදුවූයේ මහ රෑක නොව මහ දවාලකය. ඒ ඉකුත් දෙසැම්බර් මස 15 වැනිදාය. පස්වරු 1 ත් 3 ත් අතර කාලයේදී කොළඹ 07 මල් පාරේ සිට සිය මෝටර් රථයෙන් පැමිණි ෂාෆ්ටර් මහතා හෝරා දෙක තුනක් තුළ මාරයාගේ ගොදුරක් බවට පත්වන කල එය ඇසින් දුටුවකු නොවීමම ප්‍රශ්නයකි. ගහක් ගලක් පාසා සීසීටිවී සවිකර තිබෙන කොළඹ නගරය මැද මහ දවාලේ වූ මේ මිනීමැරුම සම්බන්ධව දින දාහතක් යන තුරුම නිවැරදි තොරතුරක් හෙළිවී නොතිබීමෙන්ම මේ අභිරහස් මරණය සැලසුම් සහගත බවට තවත් සහතික අවශ්‍ය නැත.

දිනේෂ් ෂාෆ්ටර් යනු පොඩි මිනිසෙක් නොව ලොකු මිනිසෙකි. ලොකු මිනිසෙකු කියා සඳහන් කළේ ධනයත්, බලයත් දෙකම තිබූ අයකු වූ නිසාය. ප්‍රභූ සමාජය ඇසුරු කළ ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට එක දුරකථන ඇමතුමකින් බොහෝ අමාරු දේවල් කරගත හැකිව තිබුණු බව අතිශයොක්තියක්ද නොවන්නේය. නිවසින් පිටවී පැය දෙකක් යන්නට මත්තෙන් බිරිඳ ඔහු පිළිබඳ විපරම් කළේ මුදල් ගනුදෙනුවකට නිවසින් පිටවී ගිය නිසාය. බොරැල්ල කනත්තේ ඔහුගේ මෝටර් රථයේම සිටියදී ඔහු සොයා ගත්තේද නවීන තාක්‍ෂණයේ පිහිටෙනි. ඒ කතා දැන් රටට අලුත් දේවල් නොවන ඇත්තය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මේ මරණය පිළිබඳව වූ අභිරහස තාමත් හෙළිකර ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට නොහැකිවී තිබීමය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන රහසිගත පරීක්‍ෂණ කටයුතුවලට අදාළව ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තා සහ වෙබ්අඩවිවල පළ වූ වාර්තා වැරදි ඒවා යැයි ඊයේ පෙරේදා වාර්තා විය. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ගෙන් අප කළ විමසීමේදී එම නිලධාරියා කියා සිටියේ මේ ටිකය.

ඇතැම් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති නිර්මාණය කරලා ඒවා ප්‍රචාරය කරනවා. ෂාෆ්ටර් මහතා ඔහුගේ නැන්දම්මාට ලියූ බව කියන ලිපියක් හමුවූ බවට මාධ්‍ය වාර්තා කළා. එය සම්පූර්ණ අසත්‍ය එකක්. ෂාෆ්ටර් මහතාගේ ගෙල සිරකර තිබූ වයරයට සමාන වයරයක් නිවසින් හමුවූ බවට පළවූ වාර්තාද අසත්‍යයයි. ඇතැම් මාධ්‍ය වගකීම් විරහිතව සිදුකරන මෙම වාර්තා නිසා එය විමර්ශනවලටත් බාධාවක් යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන ෂාෆ්ටර් ඝාතනය

මෙහි අතිශය වැදගත්ම දේ වන්නේ ‘මෙම අසත්‍ය ප්‍රචාර සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකරන්නේද යන්නයි.’

මාධ්‍ය සහ මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති පිටුපස හඹා යෑමේ වරදක් නැත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පොලිස් උසස් නිලධාරීන් ලබාදෙන තොරතුරු පදනම් කරගෙන ඒ ප්‍රවෘත්ති ලිවීමේ අරුමයක්ද නැත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මේ ප්‍රවෘත්ති නිර්මාණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්නයි.

මහ දවාලක කොළඹ 07 මල් පාරේ සිට බොරැල්ල දක්වා ගමන්ගත් මෝටර් රථයක සිටි කෝටිපතියකු මෙලෙස ඝාතනය කළේ කාගේ අවශ්‍යතාවකටද? ඒ පිටුපස ඇත්තේ මුදල් ගනුදෙනුවක්ද? රහස් පොලිස් කණ්ඩායම් විවිධ ඉසව් ඔස්සේ සියුම් විමර්ශනයක් සිදුකරන අතර දින 17 ක් යන තුරුම ඝාතනයට සම්බන්ධ එකදු සැකකරුවකු හෝ අල්ලා ගැනීමට නොහැකි වී තිබීම දක්‍ෂ විමර්ශකයන්ටද ලජ්ජාවට කාරණයක් බවට පත්ව තිබේ. මේ ඝාතනය අතිශය සියුම්ය, ශූක්‍ෂමය, සැලසුම් සහගතය. ඒ ගැන විවාදයක් නැත. නමුත් අපරාධයක් කළ කිසිවකුට ගැලවී යා නොහැකිය. ඒ බවත් ඇත්තකි. නමුත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතකයන් තාමත් නිදැල්ලේය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ද මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් කැඳවා 28 වැනිදා පැය දෙකක් පුරා මෙහි විමර්ශන පිළිබඳ විමසා ඇත. මේ වනවිට සිද්ධියට අදාළව අනූ දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙරට සිටින ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු හසුවන ආකාරයට මුල සිටම සැලසුම් කළ ෂාෆ්ටර් ඝාතනය කිසියම් කණ්ඩායමක් විසින් වෙනතකට හරවා ඇතැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. විමර්ශන ආරම්භ කළ යුත්තේද එතැනිණි. ෂර්ලොක් හෝම්ස් මහතාගේ පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ මෙහිදී අතිශය වැදගත්ය.

ඝාතකයන් ඉතා සැලසුම් සහගතව සිදුකර තිබෙන ෂාෆ්ටර් ඝාතනය විමර්ශනයට ලක් කළ යුත්තේද ඉතා සැලසුම් සහගතවය. වැරදි තොරතුරු ලබාදී විමර්ශන වෙනතකට යොමුකරන පිරිස පිළිබඳ විමර්ශකයන්ගේ අවධානයට ලක්ව තිබීම අතිශය වැදගත්ය.

ප්‍රකෝටිපතියකු මහ දවාලේ මෙලෙස අභිරහස් ලෙස ඝාතනය වී තිබීම රටටම හොඳ නැත. අභිරහස කාලයේ වැලි තලාවට යටවී යනවා යනු ඉතා නරක තත්ත්වයකි. එනිසා මේ ඝාතකයන් වහා නීතියේ රැහැනට හසුකර ගත යුතුමය.

ශිරාන් රණසිංහ,
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment