ඇත් දළ ජාවාරම්කාරයෝ තවත් ඇත් බිල්ලක් ගනිති…

592

ශ‍්‍රී ලංකාවේ දිවිගෙවන අලි ඇතුන් පිළිබඳව අපට කලක සිට අසන්නට ලැබෙන්නේ සතුටුදායක පුවත් නොවේ. 2016 – 2020 ඉකුත් පස් වසර තුළ පමණක් ශ‍්‍රී ලංකාවේ ජීවත්වූ අලි ඇතුන් 317ක් පමණ වාර්ෂිකව මරණයට පත්වී ඇත. ලෝකයේ ජීවත්වන ආසියානු අලි අතරින් මෙරට ජීවත්වන උප විශේෂය ශ‍්‍රී ලංකාවට ආවේණිකය. එසේම ශ‍්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් ප‍්‍රමාණය සහ දෙවැනි විශාලතම මිනිසුන් ප‍්‍රමාණය මියයන රට බව ලියුම්කරු ඇතුළු පර්යේෂකයන් පිරිසක් ඉකුත් 2020 වසරේ පලකෙරුණු විද්‍යාත්මක පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් අනාවරණය කළෙමු. නමුත් වන අලි සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා සාධණීය මැදිහත්වීමක් ඊට වගකිවයුතු පාර්ශ්වයන් වෙතින් දක්නට නැත. මේ වසරේදීද ගෙවුණු දින ගණනට සමාන අලි ඇතුන් සංඛ්‍යාවක් මේ වන විට අප රටට අහිමිවී ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. එසේම මෙරට හස්ති ඝාතන රැල්ලට ඇත්දළ ජාවාරමද යම්කිසි දායකත්වයක් ලබාදෙන බව යළි යළිත් සිහි කැඳවන සිදුවීමක් පසුගිය සති අන්තයේ කතරගම ප‍්‍රදේශයෙන් වාර්තා විය.

කතරගම, ගෝතමීපුර ගම්මානයට ඔබ්බෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන ප‍්‍රදේශයේදී ඉතා අමානුෂික ලෙස ඇතෙකු මරා හිස් කබල පළා (යාන්ත‍්‍රික කියතකින් විය හැකි) දළ පැහැරගෙන ගොස් ඇති බවට වන පුවත පැතිරී ගියේ ඉකුත් ඉරිදා (15දා) පෙරවරුවේය. එනම් ලෝකයා මෙන්ම ශ‍්‍රී ලංකාවේ අපද මහත් උත්කර්ෂවත් ආකාරයෙන් ලෝක අලි දිනය සමරා දින දෙකක් ගෙවී යමින් තිබියදීය. ගෝතමීපුර ආසන්නයේ යාල ජාතික උද්‍යානය මායිම් කරමින් ඉදිකර ඇති විදුලි වැටෙන් ඇතුළත ස්ථානයක දී, යාල කලාප අංක තුන තුළ විසූ මෙම සද්ධන්ත හස්තියා ඝාතනය කර දළ පැහැරගැනීමට වනජීවී අපරාධකරුවන් පිරිස කටයුතුකර තිබුණේ පෙරදා සවස් යාමයේ හෝ රාත‍්‍රී කාලයේදීය.

ඇත් දළ ජාවාරම්කාරයෝ තවත් ඇත් බිල්ලක් ගනිති…

හස්තියාගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර අපරාධකරුවන් පලා ගොස් තිබුණේ දළ මෙන්ම වල්ගය ද කපා ගෙනය. මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව කඩිනමින් විමර්ශන ආරම්භ කළ අතර පොලිස් නිළ සුනඛයන්ගේ සහයද ඒ සඳහා ලබාගෙන තිබුණි. තවද ඉකුත් අඟහරුවාදා දින මේ සම්බන්ධයෙන් එක් සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබීම සතුටට කරුණකි. ඌව වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි කතරගම අඩවිය භාර වනජීවී අඩවි ආරක්ෂක එච්. ආර්. කේ. කුමාර මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම කතරගම පොලිසියද මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් ඇත් දළ ජාවාරම් පිළිබඳව අසන්න ලැබුණත් අමු අමුවේ ඇතෙකු ඝාතනය කර දළ පැහැරගෙන යෑමට අපරාධකරුවන් කටයුතු කළ අවස්ථාවක් මෑතකදී වාර්තාවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව පෙනෙන්නට තිබේ. එසේම මරා දමන ලද හස්තියා හඳුනාගත නොහැකිවන ආකාරයට දළ දෙක සහිතව හස්ති හිස් කබලේ කොටසක්ද අපරාධකරුවන් විසින් රැගෙන ගොස් තිබීම මෙහි සංවිධානාත්මකම ස්වරූපය තවදුරටත් පැහැදිළි කරයි. එසේම සිරුරේ වෙනත් මරණීය තුවාල දකින්නට නොලැබීම නිසා ස්වයංක‍්‍රීය තුවක්කුවකින් හිසටම එල්ලකර තබන ලද වෙඩි උණ්ඩයකින් ඇතා මරණයට පත්වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. ඒ අනුව ඇතුන් මරා දළ ලබාගැනීම හුදෙකලා සිදුවීමක් නොවන බවත් සංවිධානාත්මක ජාවාරමක් බවත් සිතීමේ වරදක් නැත.

ශ‍්‍රී ලංකාවේ ඇත් දළ ජාවාරම අප‍්‍රිකාවේ තරම් ප‍්‍රචලිත නොවීමට හේතුවක් ලෙස මෙරට අලි ගහනයේ දළ සහිත ඇතුන් විරළ වීම දැක්විය හැකිය. නමුත් එම විරල වීමම තවදුරටත් මෙරට ඇත් දළ සඳහා වැඩි ලංසුවක් හිමිවීමට හේතුවක් විය හැකි බව පෙනෙන්නට තිබේ. මෙරට එක් අවස්ථාවකදී රේගුව මගින් අත්අඩංගුවට ගැණුනු ඇත්දළ තොගයක් ප‍්‍රසිද්ධියේ විනාශ කෙරුණි. නමුත් මෙරට ඇතුන් ඝාතනය කර ලබාගත් ඇත්දළ වනජීවී අත්අඩංගුවට පත්වූ පසු ඒවාද ප‍්‍රසිද්ධියේ විනාශකර දමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උනන්දු නොවීම කණගාටුවට කරුණකි. එසේ රාජසන්තක වන ඇත්දළ ප‍්‍රසිද්ධ විහාරස්ථාන වෙත පිරිනැමීමට විවිධ මැති ඇමැතිවරුන් කටයුතු කිරීම සහ ඒවා කෑදරකමින් යුතුව භාරගැනීමට විහාරධිකාරීන් කටයුතු කිරීමද මෙරට ඇත්දළ වලට ඇති ආකර්ෂණය නොවෙනස්ව පැවතීමට හේතු වූවා විය හැකිය. තවද මෙවැනි සංවිධානාත්මක වනජීවී ජාවාරම මැ`ඩලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්දෝත්සාහී බවද හේතුවී ඇති බව කිවයුතුය. මුර සංචාරයකදී, වැටලීමකදී එසේත් නැතිනම් ලැබුණු ඔත්තුවක් අනුව හඹාගොස් වනජීවී අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගේ සන්තකයේ තිබූ කිසියම් තහනම් භාණ්ඩයක් සමග ඔහුව අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමට පනතේ බලයලත් නිලධාරීන් සමත්කමක් දක්වන බව සැබෑය. නමුත් ඉන් එහා ගොස් සියුම්ව තම ඥානය මෙහෙයවා සංකීර්ණ විමර්ශන සිදුකර සෘජු සාක්ෂි නොමැති අවස්ථාවල පරිවේශණීය සාක්ෂි සපයාගෙන ඕනෑම තරාතිරමක වැරදිකරුවෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ පනතේ ප‍්‍රධාන බලයලත් නිලධාරීන් වන වනජීවී සංරක්ෂණ නිලධාරීන් කොතරම් සමත්කමක් දක්වනවාද යන්න ගැටලූවකි.

ඇත් දළ ජාවාරම්කාරයෝ තවත් ඇත් බිල්ලක් ගනිති…

උදාහණරයක් ලෙස මෙම සිදුවීමේ ආකාරයෙන් ඇතෙකු ඝාතනය කිරීමක් වැනි වනජීවී අපරාධයකදී ඇසින් දුටු සාක්ෂි සපයාගැනීමට හෝ සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ලැබෙන අවස්ථා විරලය. එවැනි අවස්ථාවල පරිවේශනීය සාක්ෂි මඟින් නඩුව විසඳීමට උත්සාහ දැරිය යුතුය. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සමත්කමක් දැක්වුවත් ඔවුන්ගේ කටයුතු ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍රගතවී ඇත්තේ මිනිසුන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙනි. ඒ නිසා වනජීවී නිලධාරීන්ද වනජීවී අපරාධ මැ`ඩලීම සම්බන්ධයෙන් මෙම ශක්‍යතාවය පෙන්විය යුතුමය. නමුත් කණගාටුවට කරුණ නම් එවැනි දක්ෂ නිලධාරීන් මේ වනවිට දෙපාර්තමේන්තුවේ සිටින්නේ ඉතා අතළොස්සක් පමණක් වීමය.

විගණකාධිපති විසින් 2012 – 2016 කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් පලකළ වාර්තාව අනුව 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝම්බර් දක්වා මෙරට සිදුවූ හස්ති ඝාතන 384 කින් සියයට අසූ නමයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක‍්‍රියාමාර්ගයක් අරගෙන නොමැත. තවද ලියුම්කරුගේ පෞද්ගලික සොයාබැලීම් අනුව පසුගිය සමයේ ජාවාරම්කරුවන් විසින් පැහැර ගැනුණු අලි පැටවුන් ගණනාවක් වනාන්තර තුළදීම වනජීවී නිලධාරීන් විසින් සොයා ගැනුනද ඊට සම්බන්ධ එකඳු සැකකරුවකුවත් අත්අඩංගුවට ගැනීමට වනජීවී බලධාරීන්ට හැකියාව ලැබී නැත. ඊට ප‍්‍රධාන හේතුව එවැනි සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැ`ඩලීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණයක් නොවීම බව පැහැදිළිය.

ශ‍්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් නිසා එම ජෛව විවිධත්වයට එල්ලවී ඇති තර්ජන වලද නිමක් නැත. අපේ රටට හිමි සොබා උරුමයන් විවිධ පුද්ගලයන් විසින් තම පටු අරමුණු වෙනුවෙන් විවිධ ආකාර වලින් විනාශකර දමමින් සිටී. උදාහරණයක් වශයෙන් වනාන්තර හා වනජීවී වාසස්ථාන විනාශකිරීම, වනජීවීන්ට හානි කිරීම හා ඝාතනය කිරීම, වනජීවී සහ සත්ත්ව කොටස් ජාවාරම, ජාන මංකොල්ලය වැනි දෑ දැක්විය හැකිය. මෙම වනජීවී අපරාධ වැළැක්වීම සඳහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ශක්තිමත් නීතිමය ප‍්‍රතිපාදන ලැබී තිබුණත් අපේ රටේ මේ මොහොතේත් සිදුවෙන සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැ`ඩලීම සඳහා සුදුසු ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් වන තුරු ඇතුන් මරා ඔළු පලා දළ පැහැරගෙන යන සහ තවත් එවැනි වනජීවී අපරාධ සිදුකරණ ජාවාරම්කරුවන්ට වැට බැඳීම අපට තවදුරටත් අපහසු වන බව කනගාටුවෙන් නමුත් ලියා තැබිය යුතුය.

සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment