ඇති හැකි අයට ඇති නැති අයට නැත්තටම නැති සහන

91

දූෂිතයන් වෙනුවෙන් වන්දි ගෙවන රටේ ජනතාව

තමන්ගේ අයට පමණක් වලංගු ජනප්‍රිය තීන්දු

බීරි අලින්ට වීණා වයන්නාක් මෙන් යැයි යනුවෙන් අපේ ජනවහරේ එන කියමනක් ඇත. කොතෙක් පෙන්වා දුන්නද කිසිත් නෑසුනාක් මෙන් හිතුවක්කාර හැසිරීමක යෙදෙන යමෙකු හමුවේ අපේ වැඩිහිටියෝ මේ කියමන පැවසූහ.

ඇති හැකි අයට ඇති නැති අයට නැත්තටම නැති සහන

ඒ අනුව යමින් මේ මොහොතේ විදුලිබල ඇමැති කංචන විජේසේකර දෙස බලා අපට කියන්නට ඇත්තේද එකී බීරි අලින්ට වීණා වැයීමේ කියමනමය. මෙහිදී එම කියමන අපේ සිහියට එන්නේ ඇයි.

දැන් රටේ ජනාධිපතිවරයා වී සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතා මෙරට සිටින පරිණත දේශපාලන නායකයෙකි. ශ්‍රී ලාංකේය විශ්විද්‍යාලයකින් උපාධියක් හිමිකරගත් උගතෙකි. අලියා යනු රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්‍ෂයේ සලකුණය.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විඳින දුක අති විශාල එකකි. ඈත දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සිට මහල්ලන් දක්වා සියල්ලෝ තක්කාලි හොද්දක් සමඟ හැදෙන කුරහන් තලප ගුලියකින් එසේත් නැතහොත් පුච්චා ගත් රොටියකින් වේලක් නොකා වේලක් පිරිමසා ගන්නා අවස්ථා එමට වෙති.

එළැඹෙන වසරේ පාසල් යන දරුවන්ට පොත්ටික, සපත්තු දෙක ගෙන දීමට වත්කමක් නොමැතිව ළතැවෙන දෙමාපියෝ බොහෝ ය. බැලු බැලූ තැන ඇත්තේ අසරණකමය. එහෙත් මහජන සේවයට යැයි පවසමින් පිය උරුමයෙන් දේශපාලනයට පිවිසි කංචන විජේසේකර වැනි දේශපාලනඥයන්ට තවමත් එකී ජන දුක පිළිබඳ හැඟීමක් නැති සේය.

මෙතරම් දුකකට ජනතාව පත්ව සිටියදීත් කිසිදු අනුකම්පාවකින් තොරව විදුලිබල ඇමැතිවරයා මේ මොහොතේත් සිටිනුයේ තවත් අති විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කළ යුතුයි යන ස්ථාවරයේය.

ඔහු එසේ හිතුවක්කාරී ලෙසින් විදුලි බිල වැඩි කළ යුතු යැයි හඬ නඟද්දී ඉන් කෝපයට පත් වන්නේ දැඩි ලෙස පීඩිතව සිටින රටේ ජනතාවය. එහිදී ඔවුහු දේශපාලනඥයන්ට වෛර කරන්නෝ බවට පත් වෙති. එය නිරායාශයෙන් සිදුවන්නකි. මීට මාස හය හතකට ඉහතදී එවැනි තත්ත්වයක් මේ රටේ ඇති විය. අද කාටත් අමකක වූවාට දේශපාලනඥයන් කියනා ජීවීන්ට පාරට බැසිය නොහැකි වටපිටාවක් ඒ අවස්ථාවේ නිර්මාණය වූ අන්දම අපට මතකය.

මෙලෙස කටයුතු සිදු වෙද්දී දේශපාලනඥයා යනු තමන්ව තලා පෙලා පාගා විනාශ කර දමන නරුම ජීවියකු යැයි රටේ ජනතාවට කල්පනා වීම වැළැක්විය නොහැක්කකි. ඒ අන්දමට දකිනි දර්ශනය කුරිරු වන කල්හි අනෙක් අතට සිදු වන්නේ කුමක්ද? හික්මීම සහ හැඟීම් සමඟ බුද්ධිය වැළලී යද්දී ප්‍රකෝපකාරී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමය.

එවැනි තත්ත්වයක් තුළ තෙවැනි පාර්ශ්වයකට රටක ජනතාව ඕනෑම බිහිසුණු කුමන්ත්‍රණකාරී අරමුණක් වෙතට තල්ලු කර දැමීම ඉතාම පහසුය. එසේ වීමේදී සිදුවන සියල්ලේ ඍජු වගකීම පැවරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයටය. පහර වදින්නේද දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන එජාපයේ ශක්තිමත් පදනමටය. මන්ද මේ වන විට රටේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.

අද රටේ විදුලි බිල හරහා සිදු තෙරෙන්නේ එසේ එජාපය වැනසීමේ කුමන්ත්‍රණයක්ද? විදුලිබල ඇමැතිවරයා දිගින් දිගටම විදුලි බිල වැඩි කළ යුතු යැයි පවසමින් මේ අන්දමට හඬ නඟන්නේ දැනුවත්ව හෝ නොදැනුවත් එකී කුමන්ත්‍රණයේ කොටස්කරුවකු වී සිටින නිසාද?

එය ජනාධිපතිවරයා කල්පනා කර බැලිය යුතු කරුණකි. සමීපව සිටියෝ ඉතා සැලසුම්සහගත ලෙස රාජ්‍ය නායකයා නොමඟ යැවූ අවස්ථා පෙන්වා දීමට උදාහරණ මේ රටේ ඕනෑ තරම් වෙති. මෑත කාලීනව එයට හොඳම උදාහරණය සපයනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.

එනිසා සමීපයේ සිටින්නවුන් පිළිබඳ කල්පනාවෙන් සිටිමින් ප්‍රවේශම් වන ලෙස අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කියන්නෙමු. මන්ද මේ මොහොතේ රට ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ සිදුවිය යුතු තැනක නොව, හුස්ම නොමැතිව ඔක්සිජන් දිය යුතු තැනක බැවිනි.

අද විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා විදුලි බිල යළි වැඩි කළ යුතු යැයි දිගින් දිගටම පවසනුයේ කරන්නට වෙන කිසිත් නැතිවද? නැත කරන්නට දේ ඕනෑ තරම් ඇත. එහෙත් රටේත් ජනතාවගේත් අවාසනාවට සිදු නොවන්නේද එකී කළ හැකි කොටසය.

මේ රටේ පළාත් පාලන ආයතන අතීතයේදී ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි බිලක් ගෙවනු ලැබීය. වීදි ලාම්පු ඇතුළු විවිධ සේවාවන් සඳහා සපයනු ලබන විදුලිය වෙනුවෙන් එකී බිල් ගෙවීම සිදු කෙරිණි. එහෙත් දැනගැනීමට ඇති පරිදි අද එවැන්නක් සිදුවන්නේ නැත. එකී වගකීම මේ වන විට පැවරී ඇත්තේ මධ්‍යම රජයටය.

සියලුම පළාත් පාලන ආයතන යනු ආදායමක් නැති තැන් නොවේ. එසේ නම් මේ මඟ හැරීම සිදුවූයේ ඇයි? දැනගැනීමට ඇති පරිදි නම් යළි පළාත් පාලන ආයතන ඒ වගකීමට යටත් කළහොත් විදුලිබල මණ්ඩලයට මසකට ලැබෙන ආදායම රුපියල් බිලියන තුනක් පමණ වන්නකි. එය සිදු කළ නොහැකි දෙයක්ද?

රට පුරා ඇති නගර සභා, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ සිට බොහෝ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඒවායෙහි ආදායම ගසාකමින් බලා සිටියදී ධනපතියන් බවට පත් වෙද්දී එකී දූෂිතයන් වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වන්නේ රටේ ජනතාවද?

ඇති හැකි අයට ඇති නැති අයට නැත්තටම නැති සහන

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරුන් රැසක් විදුලි බිල නොගෙවා රුපියල් කෝටි ගණනක අලාභයක් මණ්ඩලයට සිදු කර ඇති බව ඉකුත් දිනවල අනාවරණය විය.

පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යෑමෙන් පසු නිල කාර්ය මණ්ඩල, නිල වාහන, නිල නිවාස ඇතුළු බොහෝ වරප්‍රසාද ලබා කෙටි කලක් තුළ විශ්‍රාම වැටුපක උරුමයද හිමිකර ගන්නා මේ රටේ දේශපාලනඥයන් තමන් භාවිත කළ විදුලියට බිල නොගෙවන්නට තරම් පහත් මානසිකත්වයක පසුවේ නම් ඔවුන් මොනතරම් සත්තුද?

ඒවාට රටේ ජනතාව වන්දි ගෙවිය යුතු නැත. එනිසා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සිට සියලුම දේශපාලනඥයන් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල් වහාම අය කර ගැනීමට කංචන විජේසේකර ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවට හැකිවිය යුතුය. එසේම රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු මුදල්ද වහා අයවිය යුතුව ඇත.

ඒ සමඟම විදුලිබල මණ්ඩලයේ සිටින අයථා පරිදි ආදායම් උපයා ගත් ඉංජිනේරුවන් හා උසස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා පිළිබඳ විමර්ශනයක් සිදු කර මණ්ඩලය සූරා කමින් උපයා ගත් කෝටි ප්‍රකෝටි ගණනක් වූ මුදල් යළි ලබා ගන්නටද විදුලිබල ඇමැතිවරයාට හොඳටෝම පුළුවන. අවශ්‍ය වන්නේ විගණනය සහ නෛතික ක්‍රියාමාර්ගය.

අද විදුලිබල ඇමැතිවරයා විදුලි බිල වැඩි කළ යුතු යැයි පවසන්නේ මේ සියල්ල කිරීමෙන් පසුව නම් එයට ඇහුම්කන් දෙන්නට රටේ ජනතාව සුදානම් වනු ඇත. එහෙත් කනගාටුවට කරුණ වී තිබෙන්නේ ඇමැතිවරයා මේ කිසිත් සිදු නොකරම දුක් විඳින ජනතාවගේ බෙල්ලම පෑගීමට සැරසීමය.

මේ අන්දමට විදුලි බිල වැඩි කෙරුණහොත් ඊළඟට සිදු වන්නේ කුමක්ද? එමඟින් කිසිසේත්ම පාඩු පියවාගෙන විදුලිබල මණ්ඩලය ගොඩ යෑමක් සිදුවන්නේ නැත. සිදුවන එකම දෙය වන්නේ මණ්ඩලයට ගෙවිය යුතු දේශපාලනඥයන්ගේ ණය බොල් ණය බවට පත් වෙද්දී මණ්ඩලය කඩා වැටීමට හේතු වූ සියලු පව් ජනතාවගේ කර පිට පැටවීමය. එය මොනතරම් අසාධාරණයද?

මේ අන්දමට විදුලි බිල වැඩි කර මණ්ඩලයේ ආදායම ඉහළට ගෙන එමින් සිදු කරන්නට යන ප්‍රතිව්‍යුහගතකරණයේදී හෙවත් ඇතැමුන් කියන පරිදි කෙරෙන විකිණීමේදී මණ්ඩලයේ විවිධ කාර්යයන්ට සම්බන්ධ වන සිය දේශපාලන සහචරයන්ට උපරිම ආදායමක් ලබා ගැනීමට මඟ විවර කිරීම මෙහි යටි අරමුණ වී තිබෙනවාද විය හැකිය. මෙහිදී එසේ ආදායම් උපයා ගන්නා විදේශීය සමාගමක් වීමටද ඉඩකඩක් ඇත. එසේ වුවහොත් එය මොනතරම් ජනතා ද්‍රෝහීද?

ඒ ටික සිදු කෙරුණහොත් එදාට රටේ ජනතාව දරුණු ලෙස කුපිතව වීදි බසිනු ඇත. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරී දූෂිත මාෆියාවේ ගොදුරු බවට තවදුරටත් පත්විය නොහැකි යැයි ඔවුන් කල්පනා කරනු ඇත. එසේ වීමේදී තෙවැනි පාර්ශ්වයක ගොදුරු බවට ඔවුන් පත්විය හැකිය. එහි අවසානය කුමක් වනු ඇතිද?

අනේ දේශපාලනඥයනි, මේ රට තුළ දැන් සිදු විය යුතුව තිබෙන්නේ එවැන්නක්ද? නැත. රටක් වශයෙන් අපි බොහෝ ජීවිත පරිත්‍යාගයන් සහ බිලි පූජාවන් සිදු කර අවසන්ය. කුඩා දරුවන්ගේ සිට උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, රණවිරුවන් ආදී ලෙසින් වර්ග භේදයකින් තොරව සමස්තය පුරා විහිදී යන පරිදි මේ බිමේ ඉපදුන මිනිසුන් ලක්‍ෂ ගණනකට එහිදී ජීවිත අහිමි විය.

ගෙවී ගිය දශක හතරක පමණ කෙටි ඉතිහාසය එයට සාක්‍ෂි දරනු ඇත. මේ බිමේ එවන් යුගයක් යළි බිහි නොවේවායි යන්න අද අපේ එකම පැතුම වී ඇත. අප එවැනි ප්‍රාර්ථනාවක් සිදු කරනුයේ බොහෝ දේ අවසන් කඩඉමට ළඟා වෙමින් ඇති බව දැනෙමින් තිබෙන නිසාය.

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව අද ආණ්ඩුව සඳහන් කරන්නකි. එහෙත් එමඟින් පවතින අර්බුදයෙන් ගොඩගෙන මේ රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ කළ හැකි වේද?

කිසිසේත්ම නැත. එය සත්‍ය වශයෙන්ම සිදු වන්නක් නම් අතීතයේ මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ ආකාරයට දැන් රට සංවර්ධනයේ හිනිපෙත්ත ආසන්නයට ළඟාවී තිබිය යුතු නොවේද?

එහෙත් එවැන්නක් සිදුව නැත. කිසිදා සිදුවන්නේද නැත. මේ රාජ්‍ය ආයතන යළි නඟා සිටුවීමට නම් අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙන්නේ කුමක්ද? එකී රාජ්‍ය ආයතන තුළ මහා පරිමාණයෙන් සිදුවන දූෂණයන්ට වැට බැඳීමය. එහෙත් එසේ දූෂණ අක්‍රමිකතා මර්දනය කිරීමේ අල්පමාත්‍ර උත්සාහයක්වත් මෙතෙක් ආණ්ඩුව ගෙන තිබේද?

නැත. එවන් උත්සාහයක් කිසිවකුත්ම ගෙන නැත. රාජ්‍ය ආයතන වනසන දූෂිතයෝ අදටත් තමන්ගේ කෙරුවාව රිසිසේ කරගෙන යමින් සිටින්නාහ. ඔවුන්ට ඒ පිළිබඳ කිසිදු බියක් සැකක් නොමැත. දේශපාලනඥයා ඔවුනට ආශීර්වාද කරන්නේය. එහෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බව දූෂිතයෝ දැන සිටින්නාහ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රට සංවර්ධනයේ මාවතට ගෙන එන බව කියැවුණද ඒ තුළ ඇත්තේ අනෙකකි. අතීතයේ සිදුවූ පරිදිම හෙටත් සිදුවන්නේ හිතමිතුරු වන්දනාවක් තුළින් තවත් ධනපතියකු බිහිකිරීමක් විය හැකිය.

අද දේශපාලනඥයා සංවර්ධනය පිළිබඳ කතා කරමින් සිටියදී රට ගමන් කරමින් තිබෙන්නේ මංමුළා වූ මාවතකය. රට එසේ මංමුළා වෙද්දී දූෂිතයන් නිසා ජනතාවට සිදුව ඇත්තේ සදාකාලිකවම දිළිඳු බව කරට ගෙන විඳවන්නටය. එවන් රටක මිනිස්සු මොනතරම් අවාසනාවන්තයෝද? ඒ අවාසනාවන්ත බව වටහා ගැනීමට දේශපාලනඥයාට වුවමනාවක් නැත. දේශපාලනඥයා සිදු කරන්නේ අදටත් දූෂිතයන්ට ආශීර්වාද කරමින් සිය හෙංචයියන් පෝෂණය කිරීමය.

එය පෙන්වා දීමට පැහැදිලි උදාහරණයක් ඉකුත් දිනවල අනාවරණය විය. විදුලිය මෙන්ම ඉන්ධන යන්නද අද මෙරට තුළ පවතින තවත් එක් බරපතළ අර්බුදයකි. ආසියානු කලාපයේ විදුලිය මෙන්ම ඉන්ධන වෙනුවෙන් ද වැඩිම මිලක් ගෙවන මිනිසුන් සිටින එකම රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද වාර්තා වෙමින් ඇත.

දුප්පත් ශ්‍රී ලංකාවේ දුප්පත් මිනිස්සු එසේ ඉන්ධන වෙනුවෙනුත් තමන් උපයන සොච්චම වැය කරද්දී තවත් පැත්තකින් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? අද මේ රටේ පාරිභෝගික ජනතාවට ඉන්ධන බෙදාහැරීම සිදුකරනු ලබන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසිනි.

ඒ වරම ඔවුන් ලබාගෙන ඇත්තේද කිසියම් දේශපාලනඥයකුට රුපියල් ලක්‍ෂ ගණනින් අල්ලසක් ලබාදීමෙන් හෝ කඩේ යෑමෙනි. ඒ වෙනුවෙන් මේ වන විට ඔවුනට ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා වෙන් කර දෙන ලාභය රුපියල් 8.60 කි. ඔක්ටේන් 95 ලීටරයකින් ලැබෙන ලාභය රුපියල් 11.80 වේ.

මේ මුදල් කාගේද? ජනතාවගේ මුදල්ය. රටේ ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා ගෙවන මුදලය. අද අප රුපියල් 370 ක් ගෙවා පෙට්‍රල් ලීටරයක් ලබා ගන්නා විට ඉන් රුපියල් 8.60 ක මුදලක් ලබා ගන්නේ පෙට්‍රල් ෂෙඩ් හිමිකරුවාය. මේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව මසකට වැය කරන මුදල රුපියල් බිලියනකටත් අධික වන්නකි.

මේ මුදල දේශපාලනඥයා විසින් තමාට රුපියල් ලක්‍ෂ ගණනක අල්ලසක් දීම නිසා හෝ කඩේ යෑම නිසා ජනතාවගෙන් කොල්ල කා පෙට්‍රල් ෂෙඩ් හිමිකරුවාට ලබා දෙන මුදලක් නොවේද? සිදුවන්නේ මෙවැනි දේ නම් මේ රට තව තවත් දිළිඳු වීම හැර සිදුවිය හැකි අන් යමක් තිබේද?

සියලු දේශපාලනඥයෝ මේ බව දනිති. එහෙත් නිහඬවම සිටිති. මෙයින් කියැවෙන්නේ මේ රට තවමත් නිසි මාර්ග සිතියමකින් තොරව අයාලේ යමින් තිබෙන බව නොවේද? එවැනි රටක ජනතාවට සංවර්ධනය සිහිනෙකින්වත් දැකිය හැකි වනු ඇතිද?

මේ අන්දමට ජනතාවගේ සේසත කොල්ලකමින් තමනුත් වැජඹී තම හෙංචයින්ටද ප්‍රකෝටිපතියන් වන්නට මඟ විවර කර දෙන දේශපාලනඥයා අද බොහෝ අවස්ථාවල ජනතා ගැටලු හමුවේ සඳහන් කරනු ලබන එක් ප්‍රකට කියමනක් වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමේදී ජනප්‍රිය තීන්දු ගත නොහැකියි යන්නය.

එය සත්‍යයකි. ඔවුහු සියලු දෙනා සෑම අවස්ථාවකම ගන්නේ ජනප්‍රිය තීන්දු නොවෙති. ගන්නා තීන්දු තීරණ කිසිවක් රටට හිතකර වන්නේද නැත. ඒ සියල්ල ප්‍රිය වන්නේ දේශපාලනඥයාට සහ ඔහු වටා සිටින සහචරයන් හෝ හිතමිතුරු කුලකයට පමණකි.

එහෙත් රටේ ජනතාව ඡන්දය දී දේශපාලනඥයා පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ නගර සභාවට පත්කර යවනු ලබන්නේ එසේ කිරීමටද? නැත. ජනතාව බලාපොරොත්තු වන්නේ දේශපාලනඥයා ජනප්‍රිය තීන්දු ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන අයුරු දකින්නටය.

ජනප්‍රිය නොවන තීන්දු ගත්තාට ගැටලුවක් නැත. එහෙත් ඒවා රටට හිතකර ඒවා විය යුතුය. එසේ සිදු නොවන්නේ නම් ඊළඟට සිදුවන්නේ කුමක්ද? දේශපාලනඥයා ජනප්‍රිය නොවන තීන්දු ගෙන රට වනසද්දී අති බහුතරයක් ජනතාව දේශපාලනඥයාට වෛර කිරීමය. එය අද සිදුව නොතිබේද? එකී ප්‍රශ්නයට පිළිතුරු සපයනු ලැබුවේ ඉකුත් කාලයේ ක්‍රියාත්මක වූ අරගලය ආරම්භයේදීය.

දේශපාලනඥයන් යම් තීන්දුවක් ගනු ලබන විට ගැඹුරින් කල්පනා කර බැලිය යුතු වන්නේ ගන්නා තීන්දුවේ ප්‍රතිඵලය රටේ සිටින දිළිඳුම මිනිසුනට දැනෙන්නේ කෙසේදැයි යන්නය. එහෙත් එවැනි දේශපාලනඥයන් අපට නැත. එහෙයින් තවමත් සියල්ලෝ අවාසනාවන්තයන් වී සිටින්නාහ.

අද මේ රටේ ලක්‍ෂ තිස්නවයක වැඩිහිටි ප්‍රජාවක් කිසියම් ආධාරයක් බලාපොරෙත්තුවෙන් දුක්බර ජීවිතයක් ගත කරමින් සිටිති. නිසි ආදායම් මාර්ගයක් නොමැති ළමා නිවාස, වැඩිහිටි නිවාස රාශියක් රට පුරා තිබේ. ඒවායෙහි සිටින අපේ මිනිසුන් කුසට නිසි අහරක් ලබනුයේ කිසියම් පරිත්‍යාගශීලියකු දානයක් මානයක් දුන් දිනක පමණි.

රට තුළ ජීවත් වන අන්ත දිළිඳු දරු පවුල් සංඛ්‍යාව ලක්‍ෂ තිස්හතර (34) කි. කාංචන විජේසේකර ඇමැතිවරයා පළමු ඒකක තිහ සඳහා ඒකකයකට රුපියල් පනහක් අය කෙරෙන ලෙසින් විදුලි බිල ඉහළ දැමිය යුතුයි යනුවෙන් දිනපතා හඬ නඟන්නේ රටේ ජන ජීවිතයේ සැබෑ තත්ත්වය එසේ වී තිබියදීය.

මුල් විදුලි ඒකක තිහ සඳහා ඒකකයකට රුපියල් පනහ බැගින් යමෙකු විදුලිය වෙනුවෙන් ගෙවනු ලැබුවහොත් ගෙවන්නට සිදුවන මුදල රුපියල් 1500 කි. රට තුළ සිටින අන්ත දිළිඳු දරු පවුල් ලක්‍ෂ තිස්පහ අතරින් කිසියම් පවුලක දරුවන් දෙදෙනකු සිටියහොත් ඔවුන් ජීවත් වන නිවසේ විදුලි පරිභෝජනය ඒකක තිහකින් නතර නොවනු ඇත. බොහෝ විට එය ඒකක 40-50 ක් දක්වා ඉහළ යනු ඇත.

විදුලි බිල ඉහළ දමා විදුලිබල මණ්ඩලය ගොඩ ගැනීමේ කංචන විජේසේකර මෙහෙයුමට අනුව මේ අන්දමට විදුලි බිල ඉහළ දැමුනහොත් එවැනි දරු පවුලකට අත්වන ඉරණම සිතා ගත හැකිද? එය ඉතා ශෝචනීය එකක්ද නොවන්නේද?

එහෙත් ඒ දුක දකින්නට අපේ දේශපාලනඥයාට කිසිදු වුවමනාවක් තවමත් නැත. ඒ වුවමනාව ඇතිවන තුරු මේ රටට කිසිදා හිස ඔසවන්නටද නොහැකිය. දේශපාලනඥයා ජනතා දුක නොතකා හරින්නකු බව පැහැදිලිවම ඔප්පු කර පෙන්වීමට තිබෙන හොඳම උදාහරණය කලක සිටම සපයමින් සිටින්නේ අපේ පාර්ලිමේන්තුවය.

ඉකුත් අය වැය විවාදය පැවත්වෙද්දී පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් කෝටියක් පමණ වූ බව ඉකුත් දිනවල සඳහන් කෙරිණි. පාර්ලිමේන්තුව තුළ අයවැය විවාදය පැවැත්වීම දින විස්සක පමණ කාලයක් පුරා සිදු විය. එහිදී වැය කෙරුණු මුළු මුදල රුපියල් කෝටි විස්සකි.

මේවා රටේ ජනතාවගේ මුදල්ය. කිසිදු දේශපාලනඥයකුගේ මව්පිය උරුමයෙන් ලද කිසිවක් එහිදී වැය නොකෙරිණි. එහෙත් මෙසේ අති විශාල ජනතා මුදල් කන්දරාවක් වැය කෙරෙද්දී එකී දින විස්සක කාලය තුළ පාර්ලිමේන්තුවේ සිදුවූයේ කුමක්ද?

ඔවුහු රැස්වූහ. එකිනෙකාට බැණගත්හ. මඩ ගසා ගත්හ. දහවලට පාර්ලිමේන්තු කැන්ටිමෙන් අහර ගෙන සතුටු සාමීචියේ යෙදුණාහ. පසුව යළි රැස්වී සුපුරුදු ලෙස මෝඩයා, හොරා, ආදී වශයෙන් අරඹා සිව්පා සතුන්ගේ නම් පවා කියමින් පොර වැදුනාහ. විවිධ අඟ පසඟ පිළිබඳව සහ නිදි වැදීම ආදී වශයෙන් වූ හිරිකිත කතා පවසමින් හැකි උපරිමයෙන් මාතෘත්වයට නිගා දෙන අතරේ කාන්තා හිංසනයේ ද යෙදුණාහ. එසේ කරමින් රටට කුණු පුවත් මැවූ ඔවුහු අවසානයේ සතුටින් විසිර ගියහ.

ගෙවී ගිය ඒ කාලය තුළ අපේ පාර්ලිමේන්තුවේ මේ ටික හැරෙන්නට වෙනත් දෙයක් සිදු වූයේද? කොහෙත්ම නැත. අය වැය විවාදය වැනි රටට ඉතා වැදගත් බුද්ධිමත් ලෙසින් සිදු කෙරිය යුතු විවාදයකදී ද අපේ දේශපාලනඥයන් හැසිරුණේ ඒ අන්දමටය.

එලෙස කටයුතු කරමින් ඇද වැටුණු අගාධයෙන් රට ගොඩගන්නට හැකි යැයි කිසිවකු හෝ පවසයි නම් එයට වඩා විහිළුවක් තවත් නැත. එහෙත් අපේ දේශපාලනඥයන් අද පමණක් නොව හෙට දිනයේත් හැසිරෙන්නේ මේ අන්දමටමය. එය එසේ නොවනු ඇතැයි සහතිකයක් දෙන්නට කිසිවකුටත් හැකියාවක් තිබේද?

අද රට ඉදිරියේ තිබෙන්නේ ප්‍රශ්න කන්දරාවකි. එකී ප්‍රශ්න හමුවේ විඳවමින් සිටින්නේ ජනතාවය. එසේ වුවද දේශපාලනඥයා හැමදාමත් රටේ ප්‍රශ්නවලට ලබා දුන්නේ උත්තරය. ඔවුන් කිසිවකුටත් ප්‍රශ්නයට විසඳුමක් ලබාදී රට ඉදිරියට ගෙන යෑමට කිසිදු හැකියාවක් තිබුණේම නැත.

සියලු සම්පත්වලින් පෝෂිත ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයට පත්ව ඇත්තේ මේ නිසා නොවේද? දිනකට රුපියල් කෝටියක් වැය කෙරෙමින් පැවත්වෙන සැසිවාරයකදී සිදු වන්නේ මෙය නම් පාර්ලිමේන්තුව රැස්වන වාර ගණන හරි අඩකින් අඩු කර ඉතිරි වන රුපියල් කෝටි ගණනක මුදල මේ රටේ දුප්පත් අසරණයන්ගේ සුබසාධනය සඳහා යොදෙව්වේ නම් රටට මීට වඩා යහපතක් අත්වනු ඇත. මන්දපෝෂණයෙන් පෙළෙන රටේ දරුවන්ට අහර වේලක් දුන්නේ නම් එයින් ශක්තිමත් වන්නේ රටේ අනාගතය ය.

එහිදී අඩුම තරමින් කාට කාටත් රැස් කළ සියල්ල හැරදා යන ගමනේදී රැගෙන යන්නට යමක්වත් ඉතිරි වනු ඇත. මතක තබා ගන්න ජනතාව අද විඳින දුක ඒ තරමටම බරපතළය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment