ඇති හැකි නැති බැරි අපි කාගේත් නත්තල

424

එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා මැදියම් රැයේ තවත් අසිරිමත් නත්තලක් උදාවනු ඇත. සකල මිනිස් වර්ගයා පවින් මුදවාගනු සඳහා මිනිස් වෙසින් මෙලොව එළියදුටු ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සැමරීම නත්තල ලෙසින් හැඳින්වේ.

තවද එසමයෙහි අධිරාජ්‍යයේ සියලූ වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජයා විසින් නියෝගයක් කළේය. මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමු වැනි සංගණනයයි. සියල්ලෝ ලියාපදිංචි වනු සඳහා තම තමන්ගේ නුවරවලට ගියහ. ජෝසෙප්ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම නම් දාවිත්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම් දුන් ගැබ්ගෙන සිටි මරියතුමිය සමඟ ලියාපදිංචි වනු පිණිසය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ ප‍්‍රසවකාලය සම්පූර්ණ විය. ඈ කළුදුල් පුත‍්‍රයා බිහිකොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණු බැවින් ගව ඔරුවක තැබුවාය. (ශු. ලූක් සුවිශේෂය 2:1-7 දක්වා)

අසිරිමත් නත්තල පිළිබඳ ශුද්ධවූ බයිබලයේ ශු. ලූක් 2:1-7 දක්වා ශු. මතෙව් සුවිශේෂයේ 1:18-25 දැක්වේ.

ලොවපුරා විසිර සිටින විවිධ මට්ටම්වල සහ මීට පෙර විසිර සිටි පුද්ගලයන් බිලියන සංඛ්‍යාවකගේ චරිත දෙස බලන කල ලොව වැඩි ජනකායක් යම් පුද්ගලයකුගේ උපන් දිනයක් සමරන්නේ නම් ඒ ලොවට සාමයේ පණිවුඩය රැගෙන පැමිණි බිළිඳු ජේසුස් එනම් ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේය. මේ වනවිට ලොව වෙසෙන බිලියන 7.87 ක (කෝටි වශයෙන් කෝටි 790 කි) ජනතාවගෙන් බිලියන 2.38 ක් එනම් කෝටි 238 ක් ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන ක‍්‍රිස්තු ලබ්ධිකයෝ වෙති. ලෝක ජනගහනයෙන් බිලියන 1.91 ක් (කෝටි 191 ක්) ඉස්ලාම් බැතිමත්හුය. ලොවුපරා හින්දුන් බිලියන 1.16 කි. (කෝටි 116 කි.) එලෙසම බෞද්ධ බැතිමත්හු මිලියන 5.6 (කෝටි 50.6) බෞද්ධ දර්ශනය අනුගමනය කරති.

නත්තල වනාහි ක‍්‍රිස්තු භක්තිකයන්ගේ ආගමික උත්සවයක් පමණක්ම නොවේ. ලොවපුරා බහුතර පිරිසක් ජාති, ආගම්, පක්‍ෂ, වර්ණ, බාල, තරුණ වැඩිහිටි වෙනසකින් තොරව සමරන සංස්කෘතික උළෙලක් බවට පත්ව ඇත්තේ ශත වර්ෂ ගණනාවක සිිටය. ශ‍්‍රී ලංකාව විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත්වන නමුත් බෞද්ධ බහුතරයක් ජීවත් වන රටකි. ලොව ප‍්‍රධාන ආගම් හතරම අදහන, විශ්වාස කරන, අනුගමනය කරන බැතිමත්හු ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වීම සුවිශේෂිය. සිංහල හා හින්දුන්ගේ සූර්්‍ය මංගල්‍යය සැමරීමට සිංහල බෞද්ධ හා කිතුනුවන්ද, හින්දු බැතිමතුන්ද එක්වෙති. මෙරට සිදුවන හා සිදුව ඇති ආවාහ විවාහ දෙස බලන කල සූර්්‍ය මංගල්‍යයද මහා සංස්කෘතික උළෙලකි. බුදුන්ගේ තෙම`ගුල සිහිපත් කරන වෙසක් උළෙලද එලෙසමය. වෙසක් සැරසිලි, තොරණ, දන්සැල්, දාන, ධර්ම සමගින් වෙනත් ආගමිකයන් මෙන්ම ජාතීන්ද බැඳී සිටිති.

කුඩා දරුවෝ වෙසක් සිරියට මෙන්ම නත්තලටද විශාල උනන්දුවක් දක්වති. ජාති, ආගම්, කුල, පක්‍ෂ, වර්ණ, භේදයෙන් තොරව ඔව්හු කිතු උපත විදහාලන නත්තල ගසකින් ගෙය සැරසීමට එලෙසම ගවහලක් නිර්මාණය කරන්නටද පෙළඹෙති.

සිංහල බෞද්ධ සංස්කෘතියකින් හෙබි පරිසරයක් තුළ වැඩිහිටියන් නැමදීම, තෑගි භෝග පිළිගැන්වීම, අසල්වාසීන් සමගින් ආහාරපාන, රසකැවිලි බෙදාගැනීම, දූගී මගී යාචක පිරිස් සඳහා සැලකීම, උදව්කිරීම, ඥාති හිතමිත‍්‍රාදීන්ගේ නිවෙස්වලට ගොස් ඥාතීත්වය හා මිත‍්‍රත්වය තවත් තහවුරුකර ගැනීම නත්තලේ දී බහුලව දැකිය හැකි සංසිද්ධීන්ය.

අප දන්නා හා නොදන්නා කාලයේ මෙන්ම නත්තල් සමය මහත්වූ කෙළි දෙලෙන් පිරි සමයකි. සීත තදයි, ඉල් – උඳුවප් දුරුත්තේ කියා පැරණි කියමනක් ඇත.

එදා උඳුවප් මාසයේ සැබවින්ම සීතලෙන් පිරි සමයකි. ඊට වඩා දුරුත්ත සීතලය. උදේ පාන්දර පාසැල් යෑමට අවදිවන දරුවෝ අධික සීතලින් මිදීමට ලිප් බොක්කට එක්වූහ. ගෙදර තිබූ පොල් තෙල් බෝතලය මිදී ගොසිනි. එය යථා තත්ත්වයට ගෙනෙන්ට ලිප අසලට ගෙනයන්නට සිදුවිය. නත්තල වනාහි සාමය, සතුට, ප‍්‍රීතය සපිරි සමයක් විය. පාසැල් නිවාඩුවත් සමගින් දරුවෝ කෙළි දෙලෙන් ගත කරති. නිවසේ නිර්මාණය කරන ගවලෙනට නව අරුතක් එක් කරමින් ටින් හා ඉවත දැමු භාජනවල වී තවාන් කරති.

කුමන ආර්ථික අපහසුතාවක සිටියද දෙමාපියෝ තම දූ දරුවන්ට නත්තල නිමිත්තෙන් අලූත් ඇඳුමක් සුදානම්කර දෙති. ඇත්තේ කුඩා නිවෙසක් පැල්පතක් වුවද හැකි පමණින් හුණු තීන්ත ටිකක් ආලේප කරන්නටත්, ශුද්ධ පවිත‍්‍ර කරන්නටත් අමතක නොකරති. හැකි පමණින් රසකැවිලි ද සාදති. කොයි කා අතරත් සිදුවූ අමනාපකම්, හිතේ නෝක්කාඩුකම් ඉවත දමා යළිත් හොඳ හිත උපදවාගන්නා අගනා කාලයක් ලෙසින් නත්තල ප‍්‍රචලිත විය.

තමන්ගේ සතුරාට සැබෑ පව් සමාවක් ලබා නොදෙන්නේ නම් එවැනි නත්තලකින් කිතු උපතේ යථාර්ථයක් දැකිය නොහැකි බැව් කිතුනු ඉගැන්වීමේ සඳහන් වේ. එදා නත්තලේ තිබූ බාහිර සුන්දරත්වය අද දැකිය හැකිද? එදා තිබූ සිසිලස අද කෝ. ඉවක් බවක් නැති ගංවතුර තර්ජන, නාය යෑම්, කඳු කඩා වැටීම්, පරසර විනාශයන්, එදා දුටු ලස්සන, සමනළ ?න් අද කෝ? මිනිසා විසින්ම ස්වභාව ධර්මයට කළ හිංසා නිසාවෙන් මුළු ස්වභාව ධර්මයම කණපිට හැරී ඇත.

එදා සිය දූ දරුවන්, මුණුබුරු මිණිබිරියන් මහ ගෙදරට එකතු වනතුරු මහගෙදර අම්මා තාත්තා බලා සිටියෝය. නත්තල් දිනයේදී හෝ ඊට පසුදිනයේ අම්මා තාත්තාගේ දූ දරුවෝ අම්මා තාත්තා දැකගන්නත්, මුණුබුරු මුණුබිරියන් ආච්චි සීයා දැක ගන්නත් ඔවුන්ට තෑගිභෝග පමණක් නොව මදහස, හොඳ හිත රැගෙන ඔව්හු එක්වූහ. ආච්චිට, සීයාට, අම්මා, තාත්තාට පමණක් නොව නැන්දා, මාමලාට ලොකු අම්මා, ලොකු තාත්තලාට, පුංචි අම්මා බාප්පලාට බුලත් අතක් දී ඔවුන් නැමදීය.

එවැනි එක්වීමකට, සුහඳතාවයකට මිත‍්‍රත්වය ඥාතීත්වය අලූත් කිරීමකට අද ඉඩක් තිබේද? 2021 මාර්තු මාසයේ 21 වැනිදා සිට කොවිඞ් 19 ශ‍්‍රී ලංකාව ඇතුළු මුළු ලොවම පාලනය කිරීමේ නොපෙනෙන බලයකින් අතට ගෙන ඇත. ලොව පුරා බලවන්තයින් යැයි සිතූ රාජ්‍යයන්ද, රාජ්‍ය නායකයින්ද, අල්ලා පොළවේ ගසා ඇත. ලොව පුරා ආර්ථිකය කඩාබිඳ දමමින් විවිධ වෘත්තිකයින්ගේ හා වැඩකරන ජනතාවගේ ජීවිකා වෘත්තියට අභියෝග එල්ල කර ඇත. විරැකියාව දෙසට තල්ලූකර ඇත. දරුවන්ගේ අධ්‍යාපනය, විවාහ මංගල්‍ය, ආගමික උත්සව හා වත්පිළිවෙත් වලටද අභියෝග එල්ල කර ඇත. නිර්භීත යැයි කියූ ලෝක නායකයින් හා බලවතුන් කොවිඞ් 19 වසංගතයටත් එලෙසම කලින් කලට පැමිණි ඩෙල්ටා, ඔමික්‍රෝන් වැනි එහි ප‍්‍රබේදවලින් වෙව්ලා ගියහ.

මා මෙම ලිපිය සටහන් කරන දිනය වනවිට (දෙසැම්බර් 14) කොවිඞ් ආසාදිතයෝ 270, 998, 976 (විසිහත් කෝටි නව ලක්‍ෂ අනු අටදහස් නවසිය හැත්තෑ හයක්) ක් වාර්තාවෙති. එයින් 5,327,445 ක් (පනස්තුන් ලක්‍ෂ විසි හත්දහස් හාරසිය හතළිස් පහක්) මරණයට පත්ව ඇත. 243,568,109 ක (විසිහතර කෝටි තිස්පන් ලක්‍ෂ හැට අටදහස් එකසිය නවයක) පිරිසක් සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

නත්තල වනාහි හොඳ හිත පතුරන, වාද භේද වෛරීය සිතුවිලි ඉවත දමන, තරාතිරම් නොබලා එකට එක්වන, සතුට බෙදා ගන්නා සමයකි. කුඩා දරුවෝ ආගම් ජාති බේදයෙන් තොරව වැඩිහිටියන් සමගින් එක්වෙමින් කැරොල් ගී ගයමින් නිවෙසින් නිවසට යති. අපද බෞදධ හා වෙනත් ආගමික මිතුරන් සමගින් කැරොල් ගී ගයමින් ගෙන්ගෙට ගියද පසු කලෙක ඊළඟ පරම්පරා එවැනි පුරුදු ඉදිරියට ගෙන ගියහ. නමුත් මේ සියල්ලට කොවිඞ් 19 රකුසා හරස්වී ඇත. සෞඛ්‍ය පුරුදු දැඩිව අපට රැකීමට සිදුව ඇත. අපගේ රාශිගතවීම් පාලනය කර ඇත. ඥාතීන් හිතමිත‍්‍රාදීන් සොයායෑම පාලනය කෙරී ඇත.

එහෙත් නත්තලේ සැබෑ තේමාව වන සාමයට හා බෙදාගැනීම සඳහා අප හදවත්වල බාධා නොවේ. කොවිඞ් 19 නිසා විපතට පත්වූවන් මෙන්ම 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින බෝම්යෙන් දිවිපිදූ පවුල්වල වින්දිතයන් පිළිබඳව නත්තලේ නාමයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.

ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment