ඇතුන් මරා පැටව් ගන්න ජාවාරමට ආණ්ඩුවේ ආශිර්වාදය ලැබිලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිංස් නෙල්සන්

208

*අලි ප‍්‍රශ්නය පිටුපස  ජනපතිගේ නමත් ගෑවිලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර

* වන අලි ගැසට් එකෙන් මූලික  පාරිසරික නීති උල්ලංඝණය වෙලා – කළුතර දිස්ති‍්‍රක් සංවිධායක නයනක රන්වැල්ල

අහිංසක ඇතුන් මරා අලි පැටවුන්  ගැනීමේ ජාවාරමක් ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව කි‍්‍රයාත්මක වන බව පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිංස් නෙල්සන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කියා සිටියේය.

‘‘ආණ්ඩුව කෙටි කාලයක් තුළ විවිධ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. අද දිනයේත් පනතක් ඉදිරිපත් කරනවා. එය වෘක්ෂලතා පනතේ 61 වගන්තියේ තිබෙන වන අලි පොදු දේපළ ගැන. එහිදී බලපත‍්‍ර නැති අලියෙක් ළඟ තබා ගැනීම නීත්‍යානුකූල නැති බව වගන්තියේ සඳහන් වෙනවා. රට තුළ අලි පොතක් තිබෙනවා. එම පොතේ නීත්‍යනුකූල අලි ගැන සඳහන් වෙනවා. එහි විහාරස්ථාන තුළ හා හාම්පුතුන් ළඟ සිටින අලි ගැන සටහන් වෙනවා. එවැනි පොත් 7 ක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබුණා. එයින් එක පොතක් අතුරුදන් වෙනවා. අදටත් එය හොයාගන්න බැරිවෙලා.

කැලයක ඇති ඇතින්නියකගෙන් පැටවෙක් ගන්නවා නම් ඒ ඇතින්න මරන්න වෙනවා. අලි රංචුවක් ළඟ පැටවෙක් සිටිනවා නම් මුළු රංචුවම ඒ පැටවා ආරක්ෂා කරනවා.

අලියෙක් තියා ගන්නවා නම් ඒ අලියාට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තිබිය යුතුයි. අලියා හෝස් එකකින් ගහලා නාවන්න බෑ. වතුරේ ගිලිලා නාවන්න පුළුවන් විදියට පසුබිමක් තිබිය යුතුයි.

අද ගෙන එන පනතට අපි විරුද්ධ වෙන්නේ කිසිම පිළිවෙළක් නැති නිසා. 2012 නීත්‍යානුකූල භාවයක් නැතුව මේ රටේ අහිංසක ඇත්තු මරලා ගෙනාපු අලි පැටවුන් ගේන්න යන්නේ. අපි ඊට විරුද්ධව මේ වෙලාවේ පෙනී සිටිනවා.

පොලොන්නරුවේ ඇවිදින මං තීරුවක් ඉදිකරන්න යනවා. එයට අපි විරුද්ධ නැහැ. නමුත් අපි කියන්නේ පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ශක්තිමත් කරලා සුදුසු විදියට ඇවිදින මංතීරුව හදන්න. මේ වනවිට පොලොන්නරුවේ භික්ෂුන් වහන්සේලා අතර සංඝ භේදයක් ඇති වෙලා.

වර්ෂාව ආරම්භ වෙලා ජල මට්ටම ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ යන විට ජලය වැව් බැම්මේ වදිනවා. එමගින් වැව් බැම්මට විශාල හානියක් මේ තුළින් සිදු වෙනවා. එමනිසා අපි කියනවා ඉක්මනින්ම රළපනාව ශක්තිමත් කරලා ඉවත් කරපු ගල් නැවත දමන්න කියලා.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර මහතා – අද දිනපතා රූපවාහිනිය තුළින් දකින්න ලැබෙන්නේ අලි මිනිස් ගැටුම් ගැන. ආණ්ඩුව ඇයි කඩිමුඩියේ අලි ටික නිදහස් කරන්නේ. එම නිදහස් කරන ලේඛනයේ අවසානයටම තිබෙන නම කුමක්ද? එහි තිබුණේ එන්. ජී. රාජපක්ෂ කෙනෙක්. මේ එන්. ජී. රාජපක්ෂ කවුද? නන්දසේන ගෝඨාභය. එහිදී රටේ ජනාධිපතිවරයා එම කාර්යය පිටුපස සිටිනවා දැයි ප‍්‍රශ්නයක් ඇති වෙනවා. මේ කාරණය පිටිපස්සේ අවසානයේ අපේ රටේ ජනාධිපතිතුමාගේ නමත් ගෑවිලා. අපි එයට විරුද්ධයි. අපි අලි මිනිස් ගැටුම විසඳන්න කැපවෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය කළුතර දිස්ත‍්‍රික් සංවිධායක නයනක රන්වැල්ල මහතා – මේ රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත්කළා. එය කොටස් 03 ක්. පළමු කොටස හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය පිළිබඳව, දෙවන කොටස හීලෑ අලි ඇතුන් ඇති කිරීමේ නියෝග පිළිබඳව සහ තුන්වෙනි කොටස ඓතිහාසික පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් තබා ගැනීමේ නියෝග. මේ ආකාරයට කොටස් තුනකින් යුතු ගැසට් නිවේදනයේ අපි දකිනවා එහි ලංකාවේ මූලික පාරිසරික නීති ගණනාවක් උල්ලංඝනය කිරීමක්.

වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයට අත්සන් කිරීම අපි දකින්නේ අනීතික නීත්‍යානුකූල නොවන තත්ත්වයක්. සාමාන්‍යයෙන් ගැසට් නිවේදනයට අත්සන් කළ යුත්තේ කැබිනට් අමාත්‍යවරයා. හැබැයි මෙහිදී අභාග්‍යයකට මේක අත්සන් කරන්නේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා. එතුමා කියනවා පුවත්පතකට, මේ ගැසට් නිවේදනයේ  ගැටලූකාරී තැන් තිබෙනවා කියා.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment