ඇතුළෙදී කියල තමයි එළියට ආවේ – පාපන්දු හිටපු උප සභාපති රංජිත් රොද්‍රිගු

118

ආයෙත් සභාපති වෙන්න මට බල තණ්හාවක් නැහැ
මට මනිලාල් ප්‍රනාන්දුගෙ මුදල් අවශ්‍ය නැහැ
මගේ කාලයේ විධායක සභාවේ සාමාජිකයන් 28ක් හිටියා

ප්‍රශ්නය- පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමර් මහතා පත් කිරීමට කටයුතු කළ ඔබ අද ඔහු විවේචනය කරන ප්‍රධාන පාර්ශවකරුවෙක් වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් උදා වූයේ ඇයි?

පිළිතුර- අප ඔහු බලයට ගෙනාවේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ඒත් මෙම කාලය තුළ ඔහු ඒ එක බලාපොරොත්තුවක්වත් ඉටු කළේ නැහැ. කොටින්ම පාපන්දු සම්මේලනයේ හිටපු අකාර්යක්ෂමම සභාපති ඔහු විදිහටයි මා දකින්නෙ. බලයට පත්වෙලා දැන් මාස 14ක් වෙනවා. ඒත් ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්න පමණක් ඔහුට මාස දහතුනක් ගත වුණා. දේශපාලන අධිකාරියේ සහය ලබාගෙන තමන්ගෙ නිල කාලය දවසින් දවස දීර්ඝකර ගන්න කටයුතු කළා. පාපන්දුවේ උන්නතිය වෙනුවට තමාගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළා. ඒ තත්ත්වය මත ඔහු සමග කටයුතු කිරීමෙන් අපේ කීර්ති නාමයටත් හානි වෙනවා. ඒ නිසා මම ඔහුගෙන් වෙන් වුණා.

ප්‍රශ්නය- ඔබ ඇයි ඔහුගෙන් වෙන්වී මේ දේවල් කියන්නේ? විධායක සභාවේදී මේ දේවල් කියන්න තිබුණානේ

පිළිතුර – කිව්වා ඇති තරම් කිව්වා. ඒත් ඇහුවේ නෑ. බැරිම තැන තමයි ඔහුගෙන් ඉවත් වුණේ. කොටින්ම ඔහු විධායක කමිටුව කියන දේවල් ඇහුවේ නැහැ. විධායක රැස්වීමේදි විනිවිද භාවයෙන් කටයුතු කළේ නැහැ. පාපන්දු සම්මේලනය කියන්නේ ඉස්සරත් විශාල චෝදනා ලැබූ ආයතනයක්. ඒ නිසා විනිවිදභාවයෙන් කටයුතු කරමු කියලා මම ඔහුට පැහැදිලිවම කිව්වා. හිටපු පාපන්දු සභාපතිතුමා පාපන්දු ලීගවල නිලධාරීන්ගේ දුරකථන ඇමතුම්වලට වත් උත්තර දෙන්නෙ නෑ. හැබැයි නිලවරණය ළඟ නිසා දැන්නන් දුරකථනය කනේමයි. ලිපියක් යැව්වට උත්තර දුන්නේ නෑ. ඒ වගේම මම කිව්වා අභ්‍යන්තර ගිණුම් පරීක්ෂකයෙක් පත් කරන්න කියලා. අද වනතුරු එවැනි ගිණුම් පරීක්ෂකයෙක් පත් කළේ නැහැ. මම සභාපති ධූරය දරන කාලයේ විධායක සභාවේ සාමාජිකයන් 28ක් හිටියා. ඒ වගේම වැදගත් නිලධාරීන් හිටියා.ඒ නිසා ලොකු විවාද සංවාද ඇති වුණා. බහුතරයට ඇහුම්කන් දුන්නා. අද විධායක සභාවේ ඉන්නෙ සාමාජිකයන් 11 දෙනෙක් පමණයි. සෑම මාසෙකම විධායක සභාව රැස් කරන්න කියලා මම ඉල්ලුව. ඒත් පසුගිය දෙසැම්බර් මාසෙ වෙනකම්ම ඔහු විධායක සභාව කැඳවූයේ තුන් වරක් පමණයි. ඔහු ජූලි මාසයේ බලයට ආවා. ඒ වගේම විධායක සභාවේ සාමාජිකයන්ගෙත් හඬ ඔහු නිහඬ කර තිබුණා. සමහරු කට ඇරියෙ කන්න විතරයි. මම ඔහුගෙන් වෙන් වුණේ පුද්ගලික හේතුවකට නොවෙයි. විවිධ කමිටු දාළා සාමාජිකයන් පත් කළා. හැබැයි ඒව නමට විතරයි. ක්‍රියාත්මක වුණේ නැහැ. තරඟ කමිටුවට මැදිහත් වෙන්න දුන්නේ නෑ. ක්‍රියාකාරී සැලැස්මක් නැහැ.අයවැයක් නෑ. සම්මේලනයක් ගෙනියන්න මෙහෙම පුළුවන්ද? පළාත් තරඟාවලියේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරලා නැහැ. මම මගේ ගරුත්වය තියාගෙන එතනින් ඉවත් වුණා.

ප්‍රශ්නය – හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වූ අමනුල්ලා කැඳවූ මාධ්‍ය හමුව පිටුපස සිටි අදෘෂ්‍යමාන බලවේගය ඔබද?

පිළිතුර – නැහැ. මට එහෙම වුවමනාවක් නෑ. අමනුල්ලා මෙරට පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් විශාල ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩකයෙක්. ඔහු මෙරට පාපන්දු අභිවෘද්ධිය වෙනුවෙන් එසේ කරළියට පැමිණීම අගය කළයුතු දෙයක්. ඔහුත් මාත් බලාපොරොත්තු වන දෙය සමාන වෙන්න පුළුවන්. ඒත් ඔහුත් මමත් කියන දෙය වෙනස්. ඒ වගේම ඔහුගේ මෙම පැමිණීම පිටුපස මම නෑ.

ප්‍රශ්නය – ඔබේ මේ හදිසි වෙනස්වීම පිටුපස මනිලාල් ප්‍රනාන්දු මහතාගේ සල්ලි තිබෙන බවට චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – මනිලාල් ප්‍රනාන්දු මහතා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නෙ. ඒ වගේම මට ඔහුත් සමග කිසිම ගනුදෙනුවක් නැහැ. මට ඇතිවෙන්න මුදල් තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ මට කාගෙවත් මුදල් මොකටද?

ප්‍රශ්නය – එසේ නම් ඔබ මේ හදන්නේ නැවතත් සභාපතිධුරයට එන්නද?

පිළිතුර – මට බලලෝභයක් නැහැ. නැවත සභාපති වෙන්න වුවමනාවකුත් නැහැ. මට වුවමනා මේ පාපන්දු ක්‍රීඩාවට සිදුවන අගතිය නැතිකර ගන්නයි. මම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ, ආසියානු පාපන්දු සම්මේලනයේ තනතුරු දරලා තියෙනවා. සිංහ සමාජයේ තනතුරු තිබෙනවා.

ප්‍රශ්නය – එසේ නම් ඔබ මේ සැරසෙන්නේ පසුගිය නිලවරණයෙන් පරාජයට පත්වූ මනිලාල් ප්‍රනාන්දු මහතා සභාපති කරවීම සඳහා ද?

පිළිතුර – පාපන්දු සම්මේලනයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා මනිලාල් ප්‍රනාන්දු වැන්නෙකුගේ අවශ්‍යතාව තිබෙනවා. ඔහුට එම තනතුර අරගෙන කරගෙන යෑමට පුළුවන්. මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුතා ලෙස මම ඔහුට උදව් කරනවා.

ප්‍රශ්නය – ඔබ ජස්වර් උමර් මහතාගේ කාලයේ පරාජයන් ගැන චෝදනා කළාට, ඔබ සභාපතිධූරය දරන කාලයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මාලදිවයින හමුවේ 10-0 ක දරුණු පරාජයක් අත්විඳලා තියෙනව.

පිළිතුර – ඒ දරුණු පරාජය අපට අත් වුණේ අපේ කණ්ඩායමේ එකල පුහුණුකරුවන් වූ බ්‍රසීල ජාතික පුහුණුකරු සහ ශ්‍රී ලංකා සහය පුහුණුකරු අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙනුයි. එම ගැටුම මුල්කරගෙන ක්‍රීඩකයන්ගේ අතරද බෙදීමක් ඇති වී තිබුණා. අවසානයේ අපට ඒ දරුණු පරාජය උරුම වුණා. එහෙම වුණා කියලා මට ඒ පරාජයට වග කියන්න බෑ. ඔවුන්ට ගැටුම් ඇතිකර ගන්න කියලා මම කිව්වේ නෑ. තරගයෙන් පසුව ඔවුන්ව වහාම පුහුණුකරු ධුරයෙන් ඉවත් කළා.ඒත් වර්තමාන කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට පහකටත් අඩුයි. අපේ කණ්ඩායමට එරෙහිව ගෝල් සියයක් පමණ වාර්තා කරලා තියෙනවා. අපි මේ දුර්වලකම් හදාගන්න ඕන..

ප්‍රශ්නය – ජස්වර් උමර් මහතා යළි සභාපති වෙනවට ඔබ මෙතරම් විරුද්ධ වන්නේ ඔබට එරෙහිව ඇති චෝදනා විභාගවීම වැළක්වීම බවයි එම පාර්ශවයෙන් ප්‍රකාශ කරන්නෙ?

පිළිතුර – මට එවැනි චෝදනා නෑ. චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න කියන්න. ඔහු යළි සභාපති වෙනවට මම බය මේ ක්‍රීඩාවට තිබෙන ආදරේ නිසයි.

සාකච්ඡා කළේ – කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment