“කාලය?”

“මොකක් ද කාලය කියන්නේ?”

අපි කල්පනා කරන්නට වීමු. කාලය? දුර කාලයෙන් බෙදූ විට වේගය ලැබේ. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදූ විට ත්වරණය ලැබේ. ඒත් කාලය…? සියල්ල අර්ථ දැක්වී ඇතැයි, සියල්ල නිශ්චිත යැ යි අපි සිතා සිටි භෞතික විද්‍යාවේ මූලික සංකල්පයක්…

ඒත්, ඒත්…. අපි කාලය කියන්නේ කුමක් දැ යි දන්නේ නැද්ද? තත්පර, මිනිත්තු, පැය,… ඒ කාලයේ ඒකක. ඒත් කාලය..? අර්ථ දැක්වීමක් නැද්ද? අපි දන්නේ නැද්ද?

එතකොට ප්‍රවේගය? ත්වරණය?

බොහෝ දේ දන්නවා යැ යි සිතා සිටි අප දෙස ආචාර්ය නලින් ද සිල්වා විමසිලිමත් දෑසින් බලා සිටී.

ඒ මගේ ගවේෂකයෝ පළමු අත්දැකීමයි.

ගවේෂකයෝ
‘කාලය’
එන්න, අපි කතා කරමු!
ආචාර්ය නලින් ද සිල්වා සමග
ප.ව. 12.15ට
NBLT-2 ශාලාවේ දී

‘ගවේෂකයෝ’

මා ඒ අවස්ථාවට සහභාගි වූයේ විවෘත ආපන ශලාවේ තිබූ මේ කුඩා දැන්වීමට අනුවය.

මා 1984 වසර මුල කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය අරඹන විට ආචාර්ය නලින් ද සිල්වා එහි ගණිත අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඒ වනවිට ගවේෂකයෝ සංවිධානය ද එතුමා ගේ මඟපෙන්වීම යටතේ ආරම්භවී තිබුණි. සෑම සතියක ම අඟහරුවාදා නැතිනම් බදාදා මෙ වැනි මාතෘකාවක් අනුව සිය කැමැත්තෙන් රැස්වූ සිසුන් පිරිසක් සමඟ ආචාර්ය නලින් ද සිල්වා දැනුම බෙදාහදා ගත්තේ ය. සමහර අවස්ථාවල අප නොදැනුවත්වම දැනුම නිර්මාණයට ද හවුල් වන්නට ඇත.

දැනුම නිර්මාණය?

ගවේෂකයෝ සංවිධානයේ ආරම්භක පරමාර්ථ අතර දැනුම සොයා යෑම ද විය. සරසවි අධ්‍යාපනයේ නැතිනම් පුහුණුවේ අග්‍රඵලය ලෙස අප සැලකුවේ ද ඒ දැනුම සොයා යෑම ය, සොයා ගැනීම ය. අපෙන් පරිබාහිර ලෝකයක් පිළිබඳ දැනුම සොයා ගැනීමය.

අප සරසවි ගියේ 83 ජූලි කලබලවලට පසුව ය. 83 අගභාගයේ ඇරැඹිය යුතු වූ අප ගේ සරසවි අධ්‍යාපනය ඇරැඹුණේ 1984 වසරේ උදාවත් සමඟ ය. මේ නිසා ම එකල සරසවියේ වාද විවාද වල දී ජාතිය, ජාතිකත්වය තහනම් වචන විය. විශේෂයෙන් ම කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය දැරූ, මතවාදී ආධිපත්‍ය දැරූ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ඒ වනවිට උතුරු පළාත හා සම්බන්ධව සිදු කෙරුණු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දුටුවේ විමුක්තිකාමී දේශපාලනයක් ලෙස ය. විප්ලවවාදී ක්‍රියාකාරකම් ලෙස ය.

මේ මතවාදය පිළිගැනීමට අකමැති වූ අප වැනි සිසුන්ට, අඩුම වශයෙන් නිහඬ නොවිණි නම් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ හා පිරිවර සමඟ වාද විවාද කිරීම මඟහැරිය නොහැකි විය. එහිදී ලංකාවේ ඉතිහාසය පිළිබඳ (උතුරු හා නැඟෙනහිර පළාත් දෙමළ නිජභූමිය යන) සිංහලයන් විසින් සිදුකරනවා යැ යි චෝදනා කෙරෙන අසාධාරණකම් පිළිබඳ ව (සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සඳහා 70 දශකයේ ක්‍රියාත්මක වූ ප්‍රමිතිකරණය ආදී වශයෙන්) මතු කෙරුණු කරුණුවලට පිළිතුරු දීම අපහසු නොවීය. එහෙත් ඒ වනවිට පිළිගැනුණු මානව විකාශනය, සමාජ විකාශනය පිළිබඳ කරුණු හමුවේ මාක්ස්වාදයෙහි විග්‍රහ කෙරුණු, විද්‍යාත්මක යැ යි පිළිගැනුණු සමාජ විකාශනය හමුවේ අපේ රටේ ඉතිහාසය සිංහලකම, නොවැදගත්, ක්ෂුද්‍ර නොවේ නම් කුණුබක්කිය උරුම කරගත් කරුණු නොවේ දැ යි යන පැනයට “විද්‍යාත්මකව” පිළිතුරුදීම එතරම් පහසු නොවීය.

අසූව දශකයේ මුල එළිදැක්වුණු ගුණදාස අමරසේකර මහතා ගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?’ කෘතිය, අමරසේකරයන් අතින් ලියැවෙන්නට ඇත්තේ ද අප ගේ ඉතිහාසය, ජාතික ව්‍යාපාරය, අනගාරික ධර්මපාල මෙහෙය මියගිය අතීතයක නටබුන් නොව, ගොඩනැඟිය යුතු අනාගතයක පදනම බව කියාපෑමට විය යුතු ය. මේ මත ගොඩනැඟුණු සංවාදය, අමරසේකර ගේ ‘ප්‍රේමයේ සත්‍ය කතාව’, ‘ගමනක මුල’ ආදී සාහිත්‍ය නිර්මාණ මඟින් පෝෂණය කෙරුණූ සංවාදය, ජාතික චින්තනයක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් බවට වර්ධනය වන්නට විය. සමාජ පරිවර්තනය සඳහා මාක්ස්, කම්කරුවා තෝරා ගැනීම විද්‍යාත්මක දැයි අමරසේකර ප්‍රශ්න කළේ ය. එහෙත් විද්‍යාව පිළිගනිමින්, එනම් අපෙන් පරිබාහිර දැනුමත්, වාස්තවික යථාර්ථයත් පිළිගනිමින්, ජාතික අපේක්ෂාවන් ගැන ජාතික චින්තනයත් ගැන කතා කළ හැකි ද?

‘මගේ ලෝකය’

ආචාර්ය නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ ‘මගේ ලෝකය’ කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ මෙවන් පසුබිමක ය. නිරීක්ෂකයා ගේ දායකත්වයෙන් තොර නිරීක්ෂණ මගෙන් පරිබාහිර වූ දැනුම ඒ මඟින් ප්‍රශ්න කෙරුණි, ප්‍රතික්ෂේප කෙරුණි. දැනුම පිළිබඳ නව දැනුමක්, අපේම වූ දැනුමක් නිර්මාණය කෙරිණි. දැනුම සොයා යන්නක් වෙනුවට දැනුම නිර්මාණය කරන්නන් විය.

චින්තන පර්ෂදය

ගුණදාස අමරසේකර මහතා 1986 වසරේ දී රත්නපුරයේ දී කළ දේශනයක් පදනම් කරගෙන ‘ජාතික චින්තනයක අවශ්‍යතාව’ මැයෙන් පළවූ ලිපිය පාදක කරගෙන ‘දිවයින’ පුවත්පතේ ගැඹුරු සංවාදයක් ඇරඹුණේය. අමරසේකර මහතා ගේ අදහස පෝෂණය කරමින් මූලිකව ම කරුණු දැක්වූයේ නලින් ද සිල්වා ඇදුරුතුමා ය. ඊට පසු

‘ගවේෂකයෝ’ උක්ත විවාදයේ දී දේශීය චින්තනයක අවශ්‍යතාව ගැන, ජාතික චින්තනයක අවශ්‍යතාව ගැන අදහස් දැක්වූ විද්වතුන් ගේ දේශන මාලාවක් කොළඹ සරසවියේ සංවිධානය කළේ ය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, ඩී. අයි. ජී. ධර්මසේකර, ආචාර්ය පියසේන දිසානායක, කුලියාපිටියේ ප්‍රනන්ද ආදීන් ඒ දේශන සඳහා ආරාධනා කෙරුණූ අය අතර වෙති. චින්තන පර්ෂදය නිර්මාණය වූයේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ මෙහෙයවීමෙන් මෙලෙස ඒ දේශන මාලාවට දායකවූවන් අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය.

“අපේ ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත යුත්තේ අපේ ම වූ චින්තනයක් මත පදනම් වී යැ යි විශ්වාස කරන චින්තන පර්ෂදය, ඒ පිළිබඳ කරුණු හැදෑරීමට, සාකච්ඡා කිරීමට හා ජනතාව අතර සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙයි. එවැනි සංවාදයක් පවත්වාගෙන යෑමේ ප්‍රධාන මාධ්‍යය ලෙස මාසික සඟරාවක් පළ කිරීමට පර්ෂදය විසින් තීරණය කර ඇත. එම සංවාද මණ්ඩපය ගොඩනැඟීමට දායක වන ලෙස ඔබ වහන්සේට, ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.”

මේ චින්තන පර්ෂදයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කළ සඟරාවට දායක වන ලෙස ඒ පර්ෂදය කළ ආරාධනයේ අවසන් ඡේදය යි. එය ලියැවුණේ නලින් ද සිල්වා ඇදුරුතුමා අතිනි.

‘කාලය’

චින්තන පර්ෂදයේ සඟරාව වූයේ ‘කාලය’ යි! සඟරාවේ නම පිළිබඳ කතා කරද්දී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි නැතිනම් ඩී. අයි. ජී. ධර්මසේකර (අද පූජ්‍ය මාලේවන ධර්මවිජය හාමුදුරුවෝ) විද්‍යාලංකාරයෙන්, පූජ්‍ය යක්කඩුවේ පඥාරාම, පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති ආදී හිමිපාණන් ගේ දායකත්වයෙන් නිදහස වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදුණේ ද රටට මඟපෙන්වීමේ භික්ෂුව ගේ උරුමය වෙනුවෙන් පෙනී සිටියේ ද ආචාර්ය පූජ්‍ය වල්පොළ රාහුල හිමිපාණන් ද ඇතුළු මේ විද්‍යාලංකාර සඟ පරපුර ‘කාලය’ යැ යි සඟරාවක් පළ කළ බව කීවේය. ‘කාලය!’ ආචාර්ය නලින් ද සිල්වා ගේ මුහුණේ සුන්දර මන්දාස්මිතිය මට අද ද මැවී පෙනේ.

1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුණේ අප චින්තන පර්ෂදය ගොඩනඟා සඟරාවක් පළ කිරීම ගැන මූලික සාකච්ඡා කරන අතර ය. ආචාර්ය නලින් ද සිල්වා ඒ ගිවිසුම දුටුවේ අපේ දේශපාලන නිදහස ද උදුරා ගැනීමක් ලෙස ය. ඒ නිසා ම නිදහස, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පළවූ ‘කාලය’ ඒ අවස්ථාවේ චින්තන පර්ෂදයේ මාසික සඟරාවට සුදුසුම නම විය. ඒ වගේම ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑමේ මහා සඟ සමුළුව පැවැත්වුණේද විද්‍යාලංකාර පිරිවෙනෙහි ය. 1987 නොවැම්බර් මස චින්තන පර්ෂදය මඟින් ප්‍රකාශිත පළමු ‘කාලය’ කලාපය එළිදුටුවේ ය.

“කාලය

“මේ ඔබේ කාලයයි. කිහිප අරුතකින් ම එය එසේ වේ. කාලයත් සමඟ ඒ සියල්ල වැටහෙනු ඇති බැවින්, එකින් එක ගෙන, සෑම කරුණක් ම සාකච්ඡා කිරීම අවශ්‍ය නොවේ. එහෙත් ප්‍රධාන අංශයන් දෙකත් මුල් කලාපයෙහි ම සඳහන් කරමු.

“අවුරුදු හාරසිය පනහක පමණ කාලයක් අපි බටහිර ජාතීන්ට යටත් ව සිටියෙමු. අවුරුදු හතළිහක විරාමයකට පසුව අප රට නැවත වරක් යටත්විජිතයක් බවට පත්වී ඇත. මෙ වර ස්වාමියා බවට පත්වී ඇත්තේ බටහිර ජාතියක් නොවේ.

“පසුගිය අවුරුදු හාරසිය ගණනක අපේ ඉතිහාසය ගිවිසුම් පිළිබඳ ඉතිහාසයකි. මේ ගිවිසුම් තරමට ම අපේ අධිරාජ්‍ය විරෝධී අරගලය ද පැරණි ය. ඉංග්‍රීසීන්ට විරුද්ධ අරගලය ඇරැඹුණේ උඩරට ගිවිසුමත් සමඟය. ජනප්‍රවාදයට අනුව වාරියපොළ සුමංගල හිමියෝ එම ආරම්භය සනිටුහන් කළහ.”

මේ 1987 නොවැම්බරයේ ප්‍රකාශිත පළමු කාලය කලාපයේ කතුවැකියේ ආරම්භක ඡේදයන් ය. ඒ කතුවැකිය අවසන් කෙරුණේ පහත ඡේදයෙනි.

“අතීතයේ අප සතුව තිබූ අනන්‍ය ලෝක දෘෂ්ටිය හා චින්තනය වර්තමානයේ දී නැවත ඇති කර ගැනීමටත්, එය අනාගතයට උරුම කර තැබීමටත් නැවත කාලයක් උදා නොවනු ඇත. මෙය ඔබේ කාලය වීමට එය ප්‍රධානතම හේතුවක් වනවා ඇත.”

මේ සියල්ල අදට ද එ ලෙස ම අදාළ ය.

ත්‍රස්තවාදයට එරෙහිව සටන

කවුරුන් කෙසේ කීව ද ආචාර්ය නලින් ද සිල්වා මහතා සහෝදර දෙමළ ජනයා දෙස බැලුවේ සානුකම්පිත හදකිනි. එතුමා ගේ සමසමාජ, නව සමසමාජ පසුබිම අනුව, 1987 ‘කාලය’ සඟරාව පළ කරන විට ද එතුමා, උතුරේ ත්‍රස්තවාදීන් දෙස බැලුවේ කරුණා පරවශ හදකිනි. කුමාරතුංග පවුලේ, හෙළ හවුලේ, විශේෂයෙන් ම අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් ගේ ආභාසය අනුව මා ඒ දෙස බැලුවේ අනුකම්පා කළ යුතු මුත් පරාජය කළ යුතු අනතුරක් සේය. ඒ වනවිට මුළු හදින් ම මගේ මතය නොපිළිගත්ත ද එතුමා ‘කාලය’ පළමු වෙළුමට ‘දෙමළ නිජබිම’ ප්‍රශ්න කෙරෙන සම්මුඛ සාකච්ඡා මාලාවත්, කුමාර් පොන්නම්බලම්, මහාචාර්ය මැන්දිස් රෝහණධීර ආදීන් සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡා මාලාවත් පළ කිරීමට මට අවසර දුන්නේ ය. එතුමා සිය ශිෂ්‍යයන්ට සවන් දුන් බව මා සඳහන් කරන්නේ එතුමාට ගෞරවයක් ලෙස ය. වසර කීපයකට පසු ‘කාලය’ නැවත ප්‍රකාශ කිරීමට කටයුතු යෙදුණු අවස්ථාවේ දී මේ සම්බන්ධ වඩා අර්ථවත් ලිපි පෙළක් පළ කිරීමේ අවශ්‍යතාව මා මතු කළ විට, නලින් ද සිල්වා ඇදුරුතුමා එය අනුමත කළා පමණක් නොව, කපිල පීරිස් අතින් ලියැවුණු ඒ ලිපි පෙළ සඳහා විශාල දායකත්වයක් ද ලබා දුන්නේය. අවසානයේ ‘ප්‍රභාකරන්ගේ ඔහු ගේ සීයලා බාප්පලා හා මස්සිනාලා’ ලෙස සමාජගත වූයේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය යි.

එ තැන් පටන් ත්‍රස්තවාදයේ නිමාවක් දකින තෙක් නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ සිංහ හඬ යටපත් කිරීමට විජාතික බුද්ධිමතුන්, ඩොලර් අරමුදල්වලින් පෝෂිත එන්.ජී.ඕ. කල්ලි කෙතරම් තැත් කළ ද නොහැකි විය. සිය ගණන් ලිපි ලියැවිණි. රට පුරා සම්මන්ත්‍රණ සංවිධානය කෙරුණි. ත්‍රස්තවාදී තර්ජන ගර්ජනවලට බඳුන්වූ පදවිය වැනි ගම්වල වැසියන් දිරිමත් කරනු පිණිස පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, එස්. එල්. ගුණසේකර ආදීන් හා රට පුරා සංචාරය කෙරුණි.

අපේ යුතුකම

ආචාර්ය නලින් ද සිල්වා ඇදුරුතුමා ත්‍රස්තවාදයෙහි අවසානයක්, දැකීමට නැත්නම් අවිගත් ත්‍රස්තවාදය පරාජය කරනු දැකීමට වාසනාවන්ත විය. එහෙත් එතුමා මියගියේ ස්වාධීන, ස්වෛරී ශ්‍රී ලංකාවක් තහවුරු වනු නොදැකය. 1987 නොවැම්බරයේ ‘කාලය’ සඟරාවට එතුමා ලියූ සංස්කරණ වැකිය අදට ද එ ලෙස ම වලංගු ය.

මවුබිමේ උස් නිදහස වෙනුවෙන් කැපවීම අද අප හැම ගේ ප්‍රමුඛතම යුතුකම යි. ආචාර්ය නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ ඒ මගිනි. කුමන නමකින් හැඳින්වුව ද සිංහල-බෞද්ධ සභ්‍යත්වය පවතින තාක්කල් නලින් ද සිල්වා නාමය ද පවතිනු ඇත.

● පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment