ඇන්ටන් චෙකොෆ්ගේ කෘති රැසක් සිංහලට නැගූ ප‍්‍රාම් දෙල්දෙණිය දිවි සැරිය නිම කරයි

564

විශිෂ්ට සාහිත්‍යධරයකු මෙන්ම නාට්‍ය පරිවර්තකයකු ද වූ ගණේමුල්ල නාදුනවත්ත හි පදිංචිව සිටි ප‍්‍රාම් දෙල්දෙණිය මහතා පෙරේදා (23දා) රාත‍්‍රි රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබද්දී කොවිඞ් නිව්මෝනියා තත්ත්වයට ලක්ව අභාවප‍්‍රාප්ත විය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු ලෙස 1958 මැයි 3 වැනිදා සේවයට බැඳී තම වෘත්තීය ජීවිතය ඇරැඹූ ප‍්‍රාම් දෙල්දෙණිය 1937 මාර්තු 10 වැනිදා මතුගමදී ජන්මලාභය ලැබීය. කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ඔහු අධ්‍යාපනය හැදෑරීය. හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියක වූ විමලනයනා දෙල්දෙණිය මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා රුචිර දෙල්දෙණිය, ප‍්‍රගති දෙල්දෙණිය හා මධුභාෂිණී දෙල්දෙණිය යන දරුවන්ගේ පියාණන් ද වේ.

දෙල්දෙණිය මහතා ලේකඛයකු ලෙස කලඑළි බසින ලද්දේ දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය සංගමය මගින් 1962 දී ප‍්‍රකාශයට පත්කරන ලද ‘පංචමාර’ නම් කෙටිකතා සංග‍්‍රහයට තම නිර්මාණ දෙකක් සැපයීමෙනි. ඉන්පසු 1963 දී දිනමිණ පත‍්‍රය මගින් සංවිධානය කරන ලද කෙටිකතා තරගයකට තම නිර්මාණයක් ඉදිරිපත් කර ඉන් ජයග‍්‍රහණය ලැබීමද දෙල්දෙණිය මහතාගේ ලේඛන දිවියට උත්තේජනයක් ලබා දී ඇත.

ඇන්ටන් චෙකොෆ්ගේ කෘති රැසක් සිංහලට නැගූ ප‍්‍රාම් දෙල්දෙණිය දිවි සැරිය නිම කරයි

ඇන්ටන් චෙකොෆ් කෙටිකතා හා නාට්‍ය රැසක් මෑත ඉතිහාසයේ අපේ සාහිත්‍යවේදීන් කීපදෙනෙකු අතින්ම සිංහල භාෂාවට පරිවර්තනය විය. ඒ අතරින් ප‍්‍රකට ලේඛකයකු හා නාට්‍යකරුවකු වන ලලිතකලා ශිරෝමණී ප‍්‍රාම් දෙල්දෙණිය මහතා විසින් චෙකොෆ් කෘතීන් සිංහල පාඨකයා හමුවට රැගෙන ඒමට සිදුකළ සේවය සුවිශේෂීය.

1965 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන 4කින් පිදුම් ලැබූ ‘ගරාවැටුණු ජීවිත’ නාට්‍ය ප‍්‍රාම් දෙල්දෙණිය මහතාගේ නිෂ්පාදනයක් වූ අතර ආරියවංශ වීරක්කොඩි සූරීන්ගේ කලා අධ්‍යක්‍ෂණයක් විය. එසේ එදා මෙරට වේදිකාවට රැගෙන ආවේ චෙකොෆ්ගේ ‘වන්යා මාමා’ හි අනුවර්තනයකි. පසුව ප‍්‍රාම් දෙල්දෙණිය මහතා 1998 දී එහි සිංහල පරිවර්තන කෘතිය පාඨකයන් හමුවට රැගෙන ආවේය.

ඇන්ටන් චෙකොෆ්ගේ කෘති රැසක් සිංහලට නැගූ ප‍්‍රාම් දෙල්දෙණිය දිවි සැරිය නිම කරයි

60 දශකයේ සිටම මෙරට සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත්වලට ලිපි සැපයූ දෙල්දෙණිය මහතා 1962 දී චෙකොෆ්ගේ ‘අගාෂා හා වෙනත් කතා’ පරිවර්තනය කළේය. දෙල්දෙණිය මහතාගේ නිෂ්පාදනයක් ලෙස 1971 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ ‘පොට්ට මීයො තුන්දෙනයි’ නාට්‍ය, චෙකොෆ්ගේ ‘අ වයිෆ් ෆෝ සේල්’ නාට්‍යයේ අනුවර්තනයක් විය. එම නාට්‍යය ද සහිතව දෙල්දෙණිය මහතා අනුවර්තනය කළ ‘චෙකොෆ්ගේ පොට්ට මීයො තුන්දෙනයි නාට්‍යය හා කෙටිකතා’ කෘතිය 2013 දී එළිදැක්වුණේ කර්තෘ ප‍්‍රකාශනයක් වශයෙනි. (චෙකොෆ්ගේ ‘සුසංයෝගය’ නව කතාව ද දෙල්දෙණිය මහතාගේ අනුවාදයක් ලෙස 2016 දී එළිදැක්විණි.)

දෙපාර්තමේන්තුවේ කලාකාමී පිරිස හා එක්ව විවිධ නිර්මාණයන් හි යෙදෙමින් තම කලා හැකියාවන් ඔප් නංවාගත් දෙල්දෙණිය මහතා වේදිකා නාට්‍ය පිටපත් රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු ලෙස ද සිය ප‍්‍රතිභාව ප‍්‍රකට කර ඇත. 1965 දී ඇන්ටන් චෙකොෆ්ගේ ‘Uncle Vanya’ නාට්‍ය ගරා වැටුණු ජීවිතයක්’ නමින් පරිවර්තනය කර රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කොට සම්මාන 04ක් දිනා ගැනීමට සමත්වීම ද ඒ මහතාගේ කලා ජීවිතයේ කඩඉමකි.

1962 ‘අගාෂා සහ වෙනත් කතා’ (ඇන්ටන් චෙකොෆ්ගේ කෙටි කතා එකතුවක්), 1976 ‘නාරිලතා’ ස්වතන්ත‍්‍ර කෙටිකතා වැනි පොත් ද, 1972 බිරිඳක් පිළිබඳ පුවතක්, 1987 කඩුකස්තාන, 1988 පිය පුතු දෙදෙනෙක්, 1990 උත්තමාවිය, 1992 දෙව්දත් පරපුර, 2007 මහල්ලා සහ මුහුද (අර්නස්ට් හෙමින්ග්වේගේ Old man and the Sea පරිවර්තනය) 2009 මධුසමය නිමවන්නේ නෑ වැනි නවකතා ද, 1965 ගරාවැටුණු ජීවිත – ඇන්ටන් චෙකොෆ්, 1908 මළවුන් ආ වග – ස්ටැන්ලි ගොෆ්ටන්, 1971 පොට්ට මීයො තුන්දෙනයි ඇන්ටන් චෙකොෆ්, 1998 වන්යා මාමා ඇන්ටන් චෙකොෆගෙ ගරාවැටුණු ජීවිත, ස්වතන්ත‍්‍ර නාට්‍ය 1964 ගැටුමක්, 1968 තානායම වැටලූ දා, 1975 කඳවුරු පරීක්‍ෂණයක් වැනි ස්වතන්ත‍්‍ර නාට්‍ය ද ප‍්‍රාම් දෙල්දෙණිය සූරීන් රචනා කළේය.

සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් එතුමා ලබාදුන් දායකත්වය අගයමින් 1998 දී ලලිතකලා ශිරෝමණී යන ගෞරව නාමය ද ඔහුට පිරිනැමිණි.

එතුමන්ට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු!

  • සචිත‍්‍ර ඇල්වලගේ
advertistmentadvertistment
advertistmentadvertistment