ඇනෝනිමස්ලටත් එළියට දාන්න බැරි වුණු “ෆයිල්” එළියට

593

බොහෝ කාරණා මීට වසර කිහිපයකට පෙර සමාජගත වූ වංචා, දූෂණයි

තවත් දූෂණ අක්‍රමිකතා රැසක තොරතුරු ඉදිරියට

ප්‍රබලයන් කිහිප දෙනෙක් නීති මඟට

“විදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා. ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැ” ඒ, වත්මන් අගමැති එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී කී කතාවකි.

එදා සිට අද දක්වා වසර 8 කට ආසන්න කාලයක් ගෙවී ඇතත් මහින්ද රාජපක්ෂ මහතා එළියට දැමූ ලිපිගොනුවක් නැත. ඒ ගැන කතාවක් ද නැත. දේශපාලන අවශ්‍යතා මත සියල්ල තීරණය කෙරෙන රටක ලිපිගොනු කතාව කතාවක්ම පමණක් විය. අප රටේ දේශපාලඥයන්ගේ පැටිකිරිය හොඳ බැවින් ජනාධිපතිවරණ උණුසුමත් සමග එදා සිදු කළ එම ප්‍රකාශය ෆයිල් නොමැතිව බිය
ගැන්වීම සඳහා පමණක් කී කතාවක් ලෙස බැහැර කළ හැකි කතාවක් නොවේ. ඒ එසේ වුවත් සියල්ල යට ගොස්ය.

එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා 03 වැනිදා රාජපක්ෂ පවුලේ ඇතුළුව පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු ජාවාරම්කාර පිරිසකගේ වංචා දූෂණ ඇතුළත් ලිපි ගොනු රැසක් රට හමුවේ නිරාවරණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා කාලයක පටන් මෙම ලිපිගොනු රටට ඉදිරිපත් කරන බව කීවේය. අනුරගේ කතාව විතරයි කියමින් සමහර එය අවඥාවට ලක් කළේය. තවත් සමහරු එය බලාපොරොත්තුවෙන් සිටියේය. කෙසේ හෝ වේවා 03 වැනිදා සිදු කළ එම හෙළිදරව්ව ඇතැමුන් තිගැස්මකට ලක් කර හමාරය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්විය.

“බැඳුම්කර වංචාවෙන් මා හෝ මාගේ පවුලේ සාමාජිකයකු අයථා ලෙස මුදල් උපයා ඇති බවට ජවිපෙ වසන්ත සමරසිංහ සතුව තොරතුරු හෝ සාක්ෂි තිබේ නම්, නීතීය ක්‍රියාත්මක කිරීමේ ඕනෑම ආයතනයකට පැමිණිලි කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඕනෑම පරීක්ෂණයකට මුහුණ දී මගේ සහ මාගේ පවුලේ නිර්දෝෂී බව ඔප්පු කරන්න මම සූදානම්. එසේ නොකර, මාධ්‍ය හමු පවත්වා, බොරුවට මඩ ගැසීම පිළිකුල් සහගතයි” බව පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ බැඳුම්කර වංචාවේ සඟවා ඇති ලිපි ගොනු හැකිනම් එළියට දමන ලෙසත් වංචාව සැඟව ඇත්තේ ඒ තුළ බවත්ය.

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් හෙළි කළ ලිපිගොනු පිළිබඳව ට්විටර් සටහනක් තබමින් වසර පහළොවක් තිස්සේ ජවිපෙ එක දිගට සිදු කරන්නේ මඩ ප්‍රචාර බවත් සියල්ල සම්බන්ධයෙන් අධිකරණයේ දී මුණගැසෙමු ලෙසින් සටහනක් තබා තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා “යෝෂිත, අපහාසය නඩුවට උසාවි පැමිණෙන විට නාවික හමුදාවට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි, Ukraine University එකට Nominate වුන එක හැටි වගේ ඒවත් කියන්න ලෑස්ති වෙලා ඉන්න” ලෙස ඊට ප්‍රතිචාර සටහනක්ම දක්වමින් සඳහන් කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දූෂණ විරෝධී හඬ සංවිධානය මේ වන විට මෙරට සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු 560 ක ප්‍රමාණයක තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන් වේ. කොළඹ 7 පදනම් ආයතනයේ පසුගිය 03 වැනිදා පැවැති “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී හෙළි කළේ ඉන් ප්‍රමුඛ ලිපිගොනු 165 ක් බව පැවැසේ.

එහි යෝෂිත රාජපක්ෂ ඉඩම් ලැයිස්තුව, ශිරන්ති රාජපක්ෂ ප්‍රංශ සවාරිය, ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂණ සේවය හරහා සිදුකළ වංචාව, සීනි වංචාව, නැනෝ පොහොර වංචාව, ෆාම් ඔයිල් ආනයනයේ දී සිදුව ඇති වංචාව, කිරි ගවයන් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා, පිලිකා එන්නත් මිලට ගැනීමේ සිදු වූ මූල්‍ය වංචා, චීන සමාගම්වලින් අයථා ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත මුදල් ගෙවීම්, නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ සිදුවූ අක්‍රමිකතා, ෂැංග්‍රිලා හෝටලයට ඉඩම් පැවරීමේ දී සිදු වූ අක්‍රමිකතා, කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා දේශපාලනඥයන්ට මුදල් විශුද්ධිකරණයට අදාළ වංචා, ශ්‍රී ලංකා ක්‍රිකට්, ගල් අඟුරු වංචාව, මහපොළ භාරකාර අරමුදල, ලංකා විදුලිබල මණ්ඩලය, ගුවන් යානා මිග් ගනුදෙනුව, හෙජින් ගනුදෙනුව, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතන සම්බන්ධ අක්‍රමිකතා, ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් මිලට ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා, ලංකාපුත්‍ර බැංකුවේ මුදල් අවභාවිතාව, හෙලෝ කෝප් සමාගම මිලට ගැනීම,

ශ්‍රී ලංකා රේගුව මගින් නාවික හමුදාවට රත්ත්‍රන් මුදාහැරීමේදී අක්‍රමිකතාව, නෙළුම් කුලුන ඉදිකිරීමේ ගනුදෙනු අක්‍රමිකතා, දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා ඇතුළු අක්‍රමිකතා රැසක් ඇති බව සඳහන් වේ.

එසේම එකී ලිපිගොනු අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න ලක්ෂ්මන් කිරිඇල්ල, එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, නාලක ගොඩහේවා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, තොන්ඩමන්, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, මර්වින් සිල්වා, සචින් වාස් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, එස්. බී. දිසානායක ඇතුළු පක්ශ විපක්ෂයේ දේශපාලනඥයන් ප්‍රියත් බන්දු වික්‍රම, අනුෂ පැල්පිට, ලලිත් වීරතුංග ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සිටින බව කියවේ.

එම අනාවරණය ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක “මෙම වේදිකාව මත ඇති ලිපි ගොනු මෙරට සිදුව ඇති වංචා දූෂණ නමැති සයුරේ ඉතා කුඩා ප්‍රමාණයක්. මෙය සියල්ල යැයි කිසිවකු අර්ථකථනය කර ගන්න එපා” යැයි කීවේ මෙරට සිදුව ඇති වංචා දූෂණ, ලිපිගොනු කිහිපයකට ලඝු නොකරන ලෙස ඉල්ලමිනි.

වංචනිකයාට ඇති හොඳම අවස්ථාව තමයි තමන්ගේ වංචා කෙතරම් ප්‍රමාණයක් අපි දන්නවා ද යන්න. මේ හෙළිදරව්ව තුළින් තේරුම් ගැනීම. එබැවින් මෙම තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුත්තේ කුමක්ද යන්න අප පරිස්සම් වුණා යැයි දිසානායක මහතා එහිදී කීවේය.

විමර්ශන ආයතන විසින් යටපත් කරන ලද ලිපි ගොනු, නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින ලිපිගොනු මෙන්ම එහි ලාච්චු තුළ සඟවා ඇති ලිපි ගොනු, අධිකරණයෙන් තාක්ෂණික හේතු මත ඉවත් කරපු ලිපිගොනු, පැමිණිලි කරන ලද, විමර්ශනය කරන ලද, නඩු ගොනු කරන ලද මෙන්ම නඩු ඉල්ලා අස්කර ගන්නා ලද ඇතුළු ලිපිගොනු රැසක් මේ තුළ ඇතුළත්ව ඇති බවත් හෙතෙම කීවේ රට හමුවට ඉදිරිපත් කරන ලිපිගොනුවල ස්වභාවය පැහැදිලි කරමින්ය.

මෙහිදී පළමුව අනුර කුමාර දිසානයක මහතා ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය තානාපති කාර්යාලයක් මිලට ගැනීමේදී සිදු කළ ඩොලර් මිලියන 3.3 ක කොමිස් මුදලක් ලබා ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විභාගවන නඩුවට අදාළ ලිපිගොනුව පිළිබඳව සඳහන් කළේය. තිරුනඩේෂන් සහ නිරූපමා රාජපක්ෂ යන අයගේ ධනය ඩොලර් මිලියන 100 ක් ඇතැයි කියන පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ ලිපි ගොනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා වාරිමාර්ග ඇමැතිවරයාව සිටි 2014 වසරේ චීන සමාගමක් සමග සිදුකර ඇතැයි කියන ඩොලර් මිලියන 5 ක ගං නිල්වලා අයථා ගනුදෙනුව මෙරට ඉතිහාසයේ විශාලතම ගනුදෙනුව වන ඩොලර් බිලියන 2.2 ක ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකළ ගනුදෙනු රැසක් පිළිබඳ මෙහිදී අනාවරණය කරනු ලැබීය.

සම්මන්ත්‍රණයට පැමිණ සිටි අය ලවා අහඹු ලෙස ලබාගත් පළමු ලිපි ගොනුව ලෙස අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව කියන ඉඩම් ලැයිස්තුව සහිත ලිපිගොනුව අනාවරණ කළ අතර එහිදී සිරිබෝපුර ඉඩම් සී.එස්.එන්. නාලිකාවට අයත් බත්තරමුල්ල ඉඩම ඇතුළු ඉඩම් 31 ක ඔප්පු අංක සහිත තොරතුරු අනාවරණය කෙරිණි. එහිදී සී. එස්. එන්. නාලිකාවට අයත් ඉඩම් පවරා ගැනීම මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැකි බවත් දිසානායක මහතා පැවසීය.

අනතුරුව ලබාගත් ලිපි ගොනු තුළ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට අසමත් වූ මල්වාන ඉඩම, මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම, 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු දූෂණ ගණනාවක් මෙහිදී හෙළි කිරීම සිදුවිය.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන තුනක මුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධ ලිපිගොනුව අනාවරණය කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ අයථා ගනුදෙනු සම්බන්ධ ලිපිගොනු ද මෙම ලිපි ගොනු අතර ඇති බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අයථා මුදල් භාවිතය ගැන සඳහන් කරමින් “මාවනැල්ලේ දී වර්තමාන විපක්ෂ නායකතුමා තමන් හොරුන්ට දඬුවම් දෙන බව කීවා. නමුත් මා සතුව ඔහුටත් කිරිඇල්ලටත් රාජිතට අදාළ ෆයිල් ප්‍රමාණයක් තිබෙනවා. ඔහු රටේ පවතින තත්ත්වය තුළ වංචාවට දූෂණයට එරෙහි අරගලයත් කොල්ලකෑමේ උත්සාහයක සිටිනවා. ඔහු සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන තුනක් අවසරයකින් තොරව වියදම් කර තිබෙනවා. අරමුදලේ නිසි බලයෙන් සභාපතිවරයා වන්නේ අගමැතිවරයායි. එවකට අගමැතිවරයාව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා. ජනාධිපතිවරණය ආසන්නයේ දී හදිසි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වා පෙර වියදම් අනුමත කර ගන්න සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ දරා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට අත්සන් තබා නැහැ. සභාපතිවරයා අත්සන් නොතිබීම නිසා එය වලංගු වන්නේ නැහැ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක්ම වියදම් කර ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව යි. ඔහු වියදම් ශීර්ෂ 146ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සෘජු නියෝග මත වියදම් සිදු කළ බව එම නිලධාරීන් සාක්ෂි ලබාදී තිබෙනවා” යැයි අනුර කුමාර දිසානායක මහතා කීවේය.

“ඇත්තටම වංචා දූෂණ අක්‍රමතා සෙවීමට වැඩි හැකියාව ඇත්තේ ආණ්ඩුවට. අප මේ සොයා ගත්තේ දේශපාලන සංවිධානයක් ලෙස උපරිමය කරලා. තමන්ගේ රැකියා අනතුරේ දමමින් අප වෙත තොරතුරු ලබා දුන් නිලධාරීන්ට අප සැමගේ ස්තුතිය පුද කරනවා. රට මෙතරම් ආර්ථික අනර්ථකාරී තත්ත්වයකට ගෙන ගොස් ඇත්තේ වංචා දූෂණයන්. ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක් කඩාවැටීම භාණ්ඩාගාරය පතුළටම සිඳීම සියල්ල පිටුපස මෙම මහා පරිමාණ වංචා දූෂණ තිබෙනවා. ඩොලර් නැති වීම ණය වැඩි වීම පිටුපස ඇත්තේ වෙන කිසිවක් නොව වංචා දූෂණයි. රට මෙතරම් විනාශයකට ලක් කළේ මෙම ෆයිල් තුළ ඇති නම් ගම් හිමිකරුවන්. ඔවුන්ට දඬුවම් කරන්න සාධාරණ අයිතියක් නැද්ද, ඔවුන් හොරා කෑ සල්ලි ගන්න අපට සාධාරණ අයිතියක් නැද්ද? ” යන්න හෙතෙම එහිදී විමසීය.

මෙම වංචා දූෂණ සම්බන්ධයෙන් රට හමුවේ හෙළි කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කරමින් දිසානයක මහතා “ඔයගොල්ලන්ට මේ ගැන පැමිණිලි දාන්න බැරිද කියලා අහනවා. නඩු දාන්න බැරිද අහනවා. සිවිල් පුරවැසියන් හැටියට අපට ඒ සඳහා ඇති ඉඩකඩ සීමිතයි. අපරාධ නීතිය යටතේ නඩුවක්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩුවක්, අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ නඩුවක් සාමාන්‍යයෙන් සිවිල් පුරවැසියකුට දමන්න බැහැ. අපට යා හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් සඳහා පමණයි. එහිදී විභාගයට ගැනෙන්නේ මූලික අයිතිවාසිකම් කඩ වෙලාද නැද්ද යන්න පමණයි. එහිදී වංචා දූෂණ සිදුව ඇත්ද නැද්ද යන්න සොයන්නේ නැහැ. අපි පැමිණිලි දාලා තිබෙනවා. එකී පැමිණිලිවලට සිතාසි අවස්ථාවේ අපි ගොස් කටඋත්තර ලබාදී තිබෙනවා. ඇතැම් අවස්ථාවලට එක දිගට දින දෙක තුන කටඋත්තර ලබාදී තිබෙනවා. විමර්ශන කරන ආයතනවලට අපි උපරිම සහය ලබා දීලා තියෙන්නේ. පුරවැසියන් හැටියට පැමිණිලි කරන්න අපිට පුළුවනි. නමුත් විමර්ශනය කිරීම නඩු පැවරීමත් ආණ්ඩුවේ කාර්යභාරයක්.

රජයට අයත් ආයතන විසින් කළ යුතු දේ දැන් බිඳ වැටී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල නඩු ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මින් ඉතා පැහැදිලි දූෂිත වළල්ල ඉතා ප්‍රබල බව, එම නිසා ඊට එරෙහිව අපි ප්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුයි. දූෂිතයන්ට දඬුවම් කළ හැක්කේ දූෂිත නොවූ දේශපාලන ව්‍යාපාරයකට පමණයි. ඒ සඳහා අප සූදානම්. සෑම පුරවැසියකුටම අප කියන්නේ ඔබගේ දරුවාගේ අධ්‍යාපන, සෞඛ්‍ය පාලකයන් විනාශ කර ඇත්නම්, රටේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට ඇති ධනය ඉතා කුඩා අතළොස්සක් වූ චෞර වළල්ලක් විසින් අත්පත් කරගෙන ඇත්නම් ඒ සඳහා එරෙහි වන්න සෑම පුරවැසියකුටම යුක්තිසහගත අයිතියක් තිබෙනවා” යැයි කීවේය.

මෙම දූෂිත වළල්ලට සියලු දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් අයිති නොමැති බවත් දිසානායක මහතා සිහිපත් කළේය. “දූෂිත වළල්ලට දේශපාලනඥයන් කණ්ඩායමක් සිටිනවා. ව්‍යාපාරික වළල්ලක් සිටිනවා. 2400ක් පමණ වන පරිපාලන සේවයෙන් පනහක පමණ අතළොස්සක් ඉන්නවා. අසූ හතර දහසක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ කුඩා ප්‍රමාණයක් මේ සඳහා සහය දක්වනවා. යම් මාධ්‍ය හිමිකරුවොත් මෙම දූෂිත වළල්ල තුළ ඉන්නවා. ඒ වගේම අධිකරණය හමුවේ නඩු ගොනු කරන සහ එය වගවිභාග කරන තැන්වලත් ඇතැම් අයත් මෙම දූෂිත වළල්ලේ කොටසක්. ආණ්ඩුවක් මාරු වූ පසු දූෂිත වළල්ල පොඩ්ඩක් සෙලවෙනවා. ඉන්පසු අලුත් කණ්ඩායමක් ඇවිත් ස්ථාවර වෙනවා. ව්‍යාපාරික වළල්ලත් එලෙසමයි. රාජ්‍ය නිලධාරීනුත් එලෙසමයි. එබැවින් හුදු ආණ්ඩු පෙරළියකින් මෙම දූෂිත වළල්ල පරාජය කළ නොහැකියි. වංචා දූෂණයන්ට එරෙහිව ප්‍රබල මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි.

දූෂිත වළල්ල කුඩුපට්ටම් කළ හැක්කේ ඒ හරහා පමණයි. දූෂිත වළල්ල විශාල තාප්පයක්. හරියට චීන මහා ප්‍රාකාරය වගේ. ඉන් ගලක් දෙකක් ඉවත් කළා කියලා තාප්පය ගැළවෙන්නේ නැහැ. මේ දූෂිත වළල්ලත් එලෙසමයි. දූෂිතයන්ට දඬුවම් කළ හැක්කේ අදූෂිත ව්‍යාපාරයකට පමණයි. අන්න ඒ ව්‍යාපාරය අප ගොඩනඟනවා.”

ඒ වන විට රටට අවශ්‍ය ඉන්ධන ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිඟයක් පවතින්නේ රටේ හෝ ජනතාවගේ වැරැද්දෙන් නොවන බව ස්ථිරය. රට පාලනය කළ පාලකයන්ගේ, නිලධාරීන්ගේ නොහැකියාව සහ වංචාවට දූෂණයට ලැදි බව රට මිහිපිට අපායක් කර හමාරය. එවන් තත්ත්වයක් තුළ බලයක් මෙතෙක් හිමි නොවූ දේශපාලන ව්‍යාපාරයක් මෙතරම් හෝ වංචා දූෂණ ප්‍රමාණයක් හෙළි කිරීම අගය කළ යුත්තක්ම ය. රට මෙතරම් හෝ බේරී තිබීම ගැන ඔබ පුදුමයට පත්විය යුතුය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment