ඇඳිරිනීතිය අස්සේ මිහින්තලේ නිධන් හාරලා 11 දෙනෙක් අත්අඩංගුවට

199

නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයෝ එකොළොස්දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් පෙරේදා (31 දා) දවල් අත්අඩංගුවට ගනු ලැබූහ.

 ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පුරාවිද්‍යා නිලධාරීන් ද සමග ගොස් පොලිසිය සිදු කරන ලද වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර එම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ නිධන් හෑරීමට යොදාගත් උපකරණ හා පුදපූජා පැවැත්වීමට භාවිත කළ පූජා භාණ්ඩ ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

 පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන් අදාළ ස්ථානය වැටලීම සිදු කරන විටත් කටාරම් කෙටූ ගල්ලෙනක් අසල අඩි දහයකට වඩා විශ්කම්භයකින් යුත් අඩි පහළොවක් පමණ ගැඹුරට සැකකරුවන් විසින් වළක් හාරමින් සිටි බව මිහින්තලේ පොලිස් ස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස්දෙනාගෙන් තුන්දෙනකු අනුරාධපුර පෙරිමියන්කුලමේ පදිංචිකරුවන් වන බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. තවත් සැකකරුවෝ තිදෙනෙක් එප්පාවල සහ කටියාව යාය 01 යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මේ අතර අනෙක් සැකකරුවන් පස්දෙනා කළුතර පනාපිටිය, බදුරලිය, තෙබුවන, කඹුරාවල සහ වස්කඩුවේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. එම සියලූ සැකකරුවන් අවුරුදු 23ත් 35ත් අතර වයසේ පසුවන අය බවත් පොලිසිය පවසයි.

 නිධානය සෙවීමට පුද පූජා පැවැත්වූ කට්ටඬියා, කළුතර පනාපිටියේ පදිංචිකරුවෙකි. මේ සැකකරුවන් ඊයේ (01 දා* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් එම වැටලීම සිදු කළහ.

 අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment