ඇඳිරිනීතිය නිසා දින 21කට දුම්රියට ලංගමට කෝටි 199ක පාඩුවක්

67

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු 21 වැනිදා සිට ඊයේ (10 වැනිදා) දක්වා වූ දින 21කදී ලංගමයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 199කට අධික පාඩුවක් සිදුවී තිබේ.

මෙහිදී ලංගම බස්රථ ධාවනය නොවීමෙන් දිනකට රුපියල් කෝටි අටක පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ දා සිට මේ දක්වා ගතවූ දින 21 දී ලංගමයට රුපියල් කෝටි 168 ක පාඩුවක් සිදුව ඇති බවත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන* පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිවයින’ට පැවැසීය.

ලංගමය සතුව බස්රථ 5800 ක් පවතින බවත්, එයින් දිනකට ලංගම බස්රථ 4800ක් ධාවනය වූ බවත් හෙතෙම කීය.

එහෙත් මේ වන විට සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලංගම බස්රථ කීපයක් යොදවා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

එසේම, දුම්රිය ධාවනය නොවීමෙන් දිනකට රුපියල් කෝටි එකහමාරක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ගතවූ දින 21 තුළ රුපියල් කෝටි 31කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment