ඇඳුම් මාරුව චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නෑ – රාජ්‍ය පරිපාලන ලේකම්

285

රජයේ සේවකයන්ට පහසු ඇඳුමින් සැරසී රාජකාරියට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය පාසල් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අදාළ නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවයීය. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (22 දා) ලිපියක් යොමු කරන බවද ඒ මහතා කීය.

රාජ්‍ය ආයතනවල හමුදාව, පොලිසිය, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයකට ඇඳුම සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කරනු ලබන්නේ එම අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් බවත් මායාදුන්න මහතා කීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයන්ට බලපාන 05/2022 දරණ ඇඳුමට අදාළ චක්‍රලේඛය පාදක කරගෙන ගුරුවරුන් ගවුම්, සාය, හැට්ට, කුර්තා ආදී ඇඳුම් ඇද පෙරේදා (21 දා) පාසල්වලට පැමිණි සිටි බවට වාර්තාවී ඇති බවත් එම චක්‍රලේඛය නිකුත් කරනු ලබුවේ ගුරු විදුහල්පතිවරුන්ට බලනොපාන ලෙස බවත් ලේකම්වරයා කීය.

ගුරුවරුන් යනු විනයක් ඇතුව පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සිටින පිරිසක් බවත් එවැනි පිරිස් විනයකින් තොරව විවිධ ඇඳුම් ඇඳගෙන පාසල්වලට පැමිණීම අනුමත කළ නොහැකි බවත් ලේකම්වරයා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment