ඇපලෝ රෝහලේ හා පල්ලියේ බෝම්බ සිද්ධි පිටුපස ලොකු කුමන්ත‍්‍රණයක් තියෙනවා – ඇමැති සරත් වීරසේකර

360

පල්ලියේ බෝම්බ සිද්ධිය ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය පිටුපස කවුරු හෝ ලොකු කුමන්ත‍්‍රණකරුවකු ඉන්නා බවත් අනිවාර්යයෙන්ම ඒ මහ මොළකරුවා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (14දා) කොළඹදී සඳහන් කළේය.

දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව කාදිනල්තුමන් පෙරේදා (13දා) කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේද කීය.

අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි ඒක රපෝර්තු කළේ. මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝර්තු කළේ. පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත‍්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා. ඊට පස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා.’’

ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුළේ ටේප් තිබුණා. හඳුන්කූරු තිබුණා. ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ. ඒක හින්දා එහෙම කරන්න නරකයි. උදේ පාන්දර නොණ්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු ඒ සී සී ටී වී දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න.’’

අනිත් එක තාම දවස් දෙකයි. මේ පරීක්‍ෂණය තාම පවත්වාගෙන යනවා. ප‍්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත‍්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත් කරන්න. පොලිසිය හමුදාව අපහසුතාවයට පත් කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහ මොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්‍ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න.

advertistmentadvertistment
advertistmentadvertistment