ඇපැල් නියෝගය ලැබෙන තෙක් පාඨලීගේ නඩුව අත්හිටුවන්න – නීතිපතිගෙන් ඉල්ලීමක්

187

රිය අනතුරක් සිදුකර පොලිසියට වාර්තා නොකර පලා යෑම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙන තුරු ඉදිරියට පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා ඊයේ (19 දා) අභියාචනාධිකරණයට එකඟතාවයක් පළ කළේය.

එම නඩුව සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් නඩු විභාගය අවසානයේදී සලකා බලන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් නියෝගය බල ශූන්‍ය කරනා ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම නිශ්ශංක බන්දුල කරණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එකී එකඟත්වය පළ කළේය.

එම අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.

නීතිඥ කීර්ති තිලකරත්න, නීතිඥ පයිසර් මාකර්, අමරසිරි පණ්ඩිතරත්න යන නීතිඥ මණ්ඩලය සමඟ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment