ඇප පැටළුණොත් කොමිසම කපෝතියි – නීතිවේදීහු රජයට කියති

233

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේදී මැතිවරණ කොමිසම නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් එම ඇපකරුවන්ට ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයන් පිරිසක් ආණ්ඩුව දැනුවත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (05 දා) සවස මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.

මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරීම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත්කළ නොහැකි බව නීති විශාරදයන් කියා තිබේ.

එහෙත් මැතිවරණ කොමිසම අවසන් වරට මෙම නිලධාරීන් කැඳවා ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 දා බවත් ඉන් පසු මෙතෙක් ඔවුන් ඉහත කණ්ඩායම මුණගැසී නැති බවත් මැතිවරණ කොමිසම හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී හෙළිවී තිබේ. මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බරපතළ බාධාවක් යැයි ද නීති විශාරදයන්ගේ මතය වී තිබේ. මැතිවරණ කොමිසම මෙම නිසි ක්‍රමවේදයට කටයුතු කර නැතිනම් මැතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු නැගෙනු ඇතැයි ද නීති විශාරදයන් රජයට දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිට නාමයෝජනා කැඳවා ඇති බැවින් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මේ වනවිට තැන්පත් කළ ඇප මුදල් මැතිවරණ ලේකම් කාර්යාලය මගින් මහ භාණඩාගාරයට යොමු කරනු ලබයි.

එහෙත් මැතිවරණ කොමිසම නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නාමයෝජනා කැඳවා ඇති බවට අධිකරණය හමුවට ගොස් ඇති බවත් එහිදී අධිකරණය මගින් නාමයෝජනා කැඳවීම නීති විරෝධී බවට ඔප්පු වුවහොත් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇති බවත් නීති විශාරදයන් රජයට පවසා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment