ඇප ලබා පැමිණි සුද්දා ගෙවල් 15ක් බිඳලා

84

ගෙවල් බිඳුම් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත වී සිට ඇප ලබා පැමිණ මාස පහක කාලයක් තුළ ගෙවල් බිඳුම් 15 ක් සිදුකළ ‘සුද්දා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් මෙම ගෙවල් බිඳුම්වලින් රුපියල් ලක්ෂ තිහක පමණ වටිනා භාණ්ඩ සොරකම් කර තිබී සොයා ගැනිණි. සැකකරු ඉකුත් 23 වැනිදා දලුගම පල්ලිය අසලදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන

ප්‍රශ්න කිරීමේදී මේ ගෙවල් බිඳුම් හෙළිකර ගැනීමට හැකිවිය. සැකකරු විසින් සොරකම් කරන ලද එම භාණ්ඩ අලෙවි කිරීම සඳහා දී තිබූ ඔහුගේ සගයා මේ වනවිට සැඟවී සිටින අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යයි. සැකකරු විසින් කිරිබත්ගොඩ හා කැලණිය යන ප්‍රදේශවල මේ ගෙවල් බිඳුම් සිදුකර තිබෙන අතර රාත්‍රී කාලයේ නිවැසියන් නිදා සිටියදී එම නිවෙස්වලට ඇතුළු වී තිබෙන බව කියති. සොරකම් කරන ලද භාණ්ඩ අතරින් පරිගණක යන්ත්‍ර 03 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 04 ක්, රන් ආභරණ, මැණික් ගල්, පිත්තල පහනක්, අත් ඔර්ලෝසු හා ඩොලර් 360 ක් සොයා ගෙන තිබෙන අතර එම භාණ්ඩ කොළඹ, හෙට්ටිවීදිය, ග්‍රෑන්ඩ්පාස් හා තොටළඟ යන ප්‍රදේශවලට විකුණා තිබියදී සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොහල්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. මෙම වැටලීමට කිරිබත්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍ර.පො.ප. සනත් නන්දලාල් මහතාගේ

උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. මංජුල ද සිල්වා, සැරයන් තිලකසිරි (48870), සිසිර (2725), චතුරංග (72909), පො.කො. වරුන් වන ලක්මාල් (82436), සුගන්ද (20689), ක්‍රිෂාන්ත (32314), නන්දසිරි (93652) හා කා.පො.කො. නිලූපා (8412) යන නිලධාරීහු සහභාගී වු අතර නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909) හා පො.කො. රත්නායක (90071) යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යති.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment