ඇප ලැබී දවසින් කංජිපානී රටින් පනී

428

පැනගන්න සැලසුම් කළේ ඇප ලැබෙන්නත් කලින්
රට පැන්න බව දැන ගත්තේ ඉන්දීය බුද්ධි අංශයෙන්

මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නම පසුගිය දිනවලදී මෙරට ජනතාව අතර පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා රැව්පිළිරැව් දුන් සිද්ධියක් බවට පත්ව තිබුණේය.

ඒ මන්ද යත් කංජිපානි අධිකරණයෙන් ඇප ලබාගෙන පැය 24 ක් ගතවීමටත් මත්තෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළාගිය බව හෙළිවීමත් සමගය.

කංජිපානි ඉන්දියාවට පළාගිය පුවත අපේ රටේ ආරක්‍ෂක අංශ මෙන්ම බුද්ධි අංශ දැනගත්තේ ඉන්දීය වෙරලාරක්‍ෂක බුද්ධි අංශ මගින් ඒ පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුවය. අපේ රටේ බුද්ධි අංශවලට ඉන්දීය බුද්ධි අංශ මගින් හෙළි කළ පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමටවත් නොහැකි වූ අපේ රටේ බුද්ධි අංශවලට කංජිපානීගේ පලා යෑම පිළිබඳ තොරතුරු නොලැබීම ගැන පුදුම විය යුතු නැත.

ඇප ලැබුණු විගස කංජිපානි රටින් පලායන බව ආරක්‍ෂක අංශ බුද්ධි අංශ පමණක් නොව රටේ බොහෝ දෙනෙකු දැන සිටියහ. එසේ දැන සිටියදීත් මේ කුඩුකාරයා නතර කිරීමට නොහැකි වීම ගැන ආරක්‍ෂක අංශ සැබැවින්ම ලැජ්ජා විය යුතුය.

අශ්වයා පළාගිය පසු ඉස්තාලය වසා දමා පලක් නැත. මෙරට අංක එකේ කුඩුකාරයන් අතර ප්‍රමුඛස්ථානයක සිටින කංජිපානි හෙට දිනයේ සිට හෙරොයින් ටොන් ගණනින් අප රටට එවනු ඇත. කංජිපානි අධිකරණයෙන් ඇප ලැබුණු දිනයේම ඔහු ඉන්දියාවට යන්නේ සිය වේෂය මාරු කරගෙනය. අපේ බුද්ධි අංශවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින කංජිපානි ඉම්රාන් කිසිම අපහසුතාවකින් තොරව ඉන්දියාවට පළායන්නේ ආරක්‍ෂක අංශ පවා හෑල්ලුවට ලක් කරමින්ය.

අධිකරණයෙන් පිටවී පැය කීපයකට පසු මන්නාරම ප්‍රදේශයට පැමිණ ඇති කංජිපානි ධීවර බෝට්ටුවක නැඟී තමිල්නාඩුවේ රුමේෂ්වරන් වෙරළ තීරය වෙත ගොස් තිබිණි.

ඉන්දියාවට පළායෑමේ සැලසුම කංජිපානි ඉම්රාන් විසින් සකස් කරන්නේ බන්ධනාගාරය තුළ සිටියදීමය. මේ පළායෑම සඳහා තම මත්ද්‍රව්‍ය ජාලයේ සංවිධානාත්මක කණ්ඩායමක සහාය ලබාගෙන තිබූ අතර ඊට ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසකගේ සහාය ලැබී තිබූ බවට ද චෝදනා එල්ල වෙයි.

ජාත්‍යන්තර ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කූප්‍රකට කංජිපානි ඉම්රාන් තමිල්නාඩුවේ රාමනාකුපුරම් වෙරළ තීරයට ගොඩ බැස ඇතැයි ලැබුණු තොරතුරු මත ඉන්දීය බුද්ධි අංශ එම ප්‍රදේශ පුරා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළහ.

එහෙත් කංජිපානිගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට ඉන්දීය පොලිසියට හැකිවී නැත. ඒ තරමටම සූක්‍ෂම මෙහෙයුමක් හරහා කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන ගත්තේය. තවත් සති කීපයක් ගතවන විට කංජිපානි එක්කෝ ඩුබායි රාජ්‍යයෙන් නැත්නම් සිංගප්පූරුවෙන් මතුවනු නොඅනුමානය.

● කංජිපානි ඉම්රාන් යනු කව්රුන්ද?

මීට වසර දහයකට පහළොවකට උඩදී මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් පල්ලිය ඉදිරිපිට මුස්ලිම් කොල්ලකු කැඳ වික්කේය. මේ කැඳ කොල්ලා නමින් ඉම්රාන් නම් විය. අඩි හයක් පමණ උසින් යුත් ඉම්රාන් කැඳ කරත්තය තල්ලු කරගෙන මාළිගාවත්ත පුරා කරක් ගැසුවේ යහමින් මුදලක් හරිහම්බ කර ගැනීමටය.

කැඳ විකිණූ නිසා මේ කැඳ කොල්ලා කංජිපානි ඉම්රාන් ලෙස මාළිගාවත්තේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. (කංජිපානි යනු මුස්ලිම් භාෂාවෙන් කැඳ පානයයි)

ඇප ලැබී දවසින් කංජිපානී රටින් පනී

එකල මාළිගාවත්තේ මුස්ලිම් පාතාලය අතිබිහිසුණු එකක් විය. දරුණු ගණයේ මිනී මරුවන් කුඩුකාරයන්ගෙන් ගහණ වූ මුස්ලිම් පාතාලය පාලනය කිරීමට පොලිසිය පවා දෙවරක් සිතා බලන තරමට ප්‍රබලව පැවතිණි.

අයුබ් ඛාන්, බයියා, මංජල්, අක්ක්‍රම්, ෆාජි, මාමස්මි, ආණමාළු ඉමිටියාස්, රිල්වාන් වැනි පාතාල මැරයන් කොළඹ පාතාලයම පාලනය කළහ. මාළිගාවත්තේ සිදුවන මිනී මැරුම් සාමාන්‍ය සිද්ධීන් බවට පත්වූ කාලයක් තිබුණේය. මාලිගාවත්ත පාතාලය අධිකරණ පවත්වාගෙන යමින් නඩු ඇසුවේය.

කොටින්ම කිසිම ආරක්‍ෂක අංශයකට මාළිගාවත්ත පාතාල රාජධානියට ඇතුළුවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. කංජිපානි ඉම්රාන් මාළිගාවත්ත ජුම්මා පල්ලිය අසල කැඳ විකුණමින් සිටි කාලසීමාවේ පාතාල රජධානියේ මහ කෙළිකාරයන් කීප දෙනෙකුම ඇසුරු කළේය. ඇසුරු කළා කීවාට එය පාතාල මැරයන් පසුපස යමින් උන්ට බැල මෙහෙවර කිරීමක් බඳු විය.

එකල මාළිගාවත්ත පාතාලයේ කෙළිකාරයන් වූ ෆාජි, මංජල් අක්‍රම්, මාමස්මි වැන්නවුන්ගේ දෙපාමුල වැටී උන්ට බැලමෙහෙවරකම් කළ කංජිපානි පාතාලයේ වැඩකාරයකු වීමට සිහින මැව්වේය.

පාතාල මැරයන්ගේ ඇසුර ලබමින් සිටි කංජිපානි කැඳ ව්‍යාපාරයට අමතරව හෙරොයින් ගංජා වැනි මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට පටන් ගත්තේය. මත්ද්‍රව්‍ය අලෙවිය මහා ධනයක් ගලාඑන ව්‍යාපාරයක් බව තේරුම් ගත් කංජිපානි කැඳ ව්‍යාපාරය අතහැර දැමුවේය.

එතැන් පටන් මාළිගාවත්තේ පාතාල මැරයන් හරහා ලබාගන්නා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ කාර්යට අත ගැසූ කංජිපානි ඉම්රාන් කෙටි කලකින් පොහොසතෙකු බවට පත් වුණේය. මාළිගාවත්ත, පිටකොටුව, මරදාන, කොටහේන, අලුත්කඩේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගිය කංජිපානි යහමින් මුදල් ඉපයීමට පටන් ගත්තේය.

නිනෝසා මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. කංජිපානිට නිනෝසා මුණ ගැසෙන්නේ ඔහු සෑහෙන වත් පොහොසත්කම් ඇති පාතාල බලයක්ද ඇති වැඩකාරයකු ලෙස ජීවත්වෙමින් සිටියදීය.

කංජිපානි නිනෝසා විවාහ කර ගැනීමෙන් පසු මාළිගාවත්තේ වෙනම නිවසක පදිංචියට ආවේය. විවාහයෙන් පසුවද කංජිපානි මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළේ නැත. පාතාලයේ කේරුම්කාරයන් ඇසුරු කිරීම උන් සමග එක්ව විවිධ අපරාධවල නිරතවීම නතර කළේ නැත.

● ඩුබායි රාජ්‍යයට පලා යෑම

එකල ක්‍රියාත්මක වූ පාතාල මර්දන මෙහෙයුම් හමුවේ මාළිගාවත්ත පාතාලයේ කේරුම්කාරයන් වූ ෆාජි, මාමස්මි, ආණමාළු ඉමිටියාස් වැන්නවුන් විශේෂ කාර්ය බළකාය අතින් අවසන් ගමන් ගියහ. මංජල් අක්‍රම් ඇතුළු තවත් පාතාල මැරයන් කිහිප දෙනකු සුදු වෑන්වල හැපී අවසන් ගමන් ගියහ. කංජිපානි ඉම්රාන්ගේ නමද පාතාල මර්දන මෙහෙයුම් ලැයිස්තුවල ඉහළින්ම සටහන්ව තිබුණේය.

කොයි වෙලාවක හරි මාවත් උස්සනවා. ඊට ඉස්සර මං ඩුබායිවලට පැන ගන්නවා. එහේ ගිහින් ටික කාලෙකින් මං ඔයාවයි දරුවවයි ඩුබායිවලට ගන්නවා. නැත්නම් මට මැරුම් කන්න වෙන්නේ.

කංජිපානි ජීවිතය බේරා ගැනීමට ඩුබායි රාජ්‍යයට පැන ගන්නේ නිනෝසා සහ දරුවා මාළිගාවත්තේ තනිකර දමමින්ය.

වර්තමාන පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ඒ වනවිට ඩුබායි රාජ්‍යයේ අතිසුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටියේය. ඩුබායි රාජ්‍යයට පලාගිය කංජිපානිට මධුෂ් මුණ ගැසෙන්නේ ඔය අතරතුරදීය.

කෙටි කාලයක් තුළ මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ මහ මොළකරු බවට පත්වූ කංජිපානි ඉම්රාන් මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර තලය දක්වා ගෙනයෑමට කටයුතු කළේය. පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය සමග සබඳතා ඇති කරගත් කංජිපානි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කළ අතර හෙරොයින් තොගපිටින් මෙරටට එවීමට කටයුතු කළේය.

මධුෂ්ගේ පාතාල කල්ලිය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම සීඝ්‍ර දියුණුවක් කරා යන්නේ කංජිපානි ඉම්රාන් සම්බන්ධ වීමත් සමගය.

පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ලාඕසය, වියට්නාමය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත රටවල්වල ජාවාරම්කාරයන් සමග සමීප සබඳතා ගොඩනගාගත් කංජිපානි හෙරොයින් තොගපිටින් ට්‍රෝලර් යාත්‍රාවල පටවා ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කළේය.

එමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමේ කාර්යයේ වැඩි කොටසක් ක්‍රියාත්මක වුණේ කංජිපානි ඉම්රාන් අතින්ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පාලනය කිරීම, ප්‍රතිවිරුද්ධ ජාවාරම්කාරයන් පරළොව යැවීම, විරුද්ධවාදීන් විනාශ කිරීම ඇතුළු පාතාල මෙහෙයුම් සියල්ලම පාහේ ක්‍රියාත්මක වුණේ කංජිපානිගේ උපදෙස් සහ අනුශාසනා මතය.

කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර රණාලේ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ උපදේශකයකු ලෙස ක්‍රියා කළ කංජිපානි ඉමරාන් කොස් මල්ලී ඝාතනය කර කඳෙන් වෙන් කළ ඔහුගේ හිස අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම හිතවතකු වූ මොහොමඩ් රිස්ඛාන් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරියකු විය. රිස්ඛාන් මෝටර් රථ කුලියට දෙන ආයතනයක් ආරම්භ කළේ මධුෂ් ආයෝජනය කළ රුපියල් කෝටි ගණනක මුදල් ද ඊට යොදමින්ය.

ඇප ලැබී දවසින් කංජිපානී රටින් පනී

මෙම මෝටර් රථ කුලියට දෙන ආයතනය විවෘත කිරීමේ උත්සවයට රිස්ඛාන් ආරාධනා කළේ මෙරට ප්‍රකට දේශපාලන නායකයකුටය. රාජ්‍ය නායකයකු වූ මේ දේශපාලනඥයා රිස්වාන්ගේ උත්සවයට කැන්දාගෙන ඇත්තේ කොළඹ මුස්ලිම් දේශපාලනඥයකු විසින්ය. මේ මුස්ලිම් දේශපාලනඥයා කංජිපානි ඉම්රාන්ගේ සමීප හිතවතෙකි.

උත්සවය සඳහා රාජ්‍ය නායකයා කැන්ඳාගෙන ඒමේ කාර්ය මුස්ලිම් දේශපාලනඥයා වෙත භාර දෙන්නේ කංජිපානි ඉම්රාන් විසින්ය. සිය පාතාල හිතවතාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ තැන මුස්ලිම් දේශපාලනඥයා රිස්ඛාන්ගේ මෝටර් රථ කුලියට දෙන ආයතනය විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය නායකයා කැන්දාගෙන ආවේය.

උත්සවය කුමක්ද ඊට මුදල් ආයෝජනය කළේ කව්ද ඒ පිටුපස සිටින්නේ පාතාල මැරයන් බව නොදත් රාජ්‍ය නායකයා මුස්ලිම් දේශපාලනඥයාගේ ඉල්ලීමට ඊට සහභාගි වුණේය.

බිරිඳ ඝාතනය

කංජිපානි ඩුබායි රාජ්‍යයට පළාගිය පසු ඔහුගේ බිරිඳ නිනෝසා සහ දරුවා හුදෙකලා වූහ. කලක් යද්දී කංජිපානිට නිනෝසා ගැන අසන්න ලැබුණේ නරක ආරංචිය. කංජිපානි නිනෝසාට දුරකථනයෙන් කතා කර නිතර නිතර තර්ජනය කරන්න පටන් ගත්තේය. උඹට එක එක සම්බන්ධකම් තියෙනවා කියලා ආරංචියි. මාව නරක මිනිහා කරන්න එපා. ඔය සම්බන්ධකම් නතර කරලා දාපං.

කංජිපානි බිරිඳට තර්ජනය කළේය. එහෙත් නිනෝසා කංජිපානිගේ තර්ජන ගණනකට ගත්තේ නැත. ඇය තමන්ට රිසිසේ ජීවත්වන්නට පටන් ගත්තාය. ඒ වනවිට කංජිපානි ෆාතිමා නමැති කාන්තාවක් ඇසුරු කළේය. කංජිපානිට අවශ්‍ය වුණේ තම දරුවා ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීමය. ඔහු ඒ සඳහා සැලසුමක් සකස් කළේය.

ෆාතිමා නමැති අනියම් බිරිඳගේ සහාය ඇතිව තම දරුවා ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීමට කංජිපානි පියවර ගත්තේය. මට දැන් නිනෝසාගෙන් වැඩක් නැහැ. ඒ ගෑනිව ඩිවෝස් කරන්න ඕනේ. කංජිපානිට අවශ්‍යවී තිබුණේ ෆාතිමා සමග අලුත් ජීවිතයක් පටන් ගැනීමටය. එහෙත් දික්කසාදය ලබාදීම නිනෝසා ප්‍රතික්‍ෂේප කළාය.

ඒ වනවිට නිනෝසා සිටියේ කංජිපානි කෙරෙහි දැඩි වෛරයකින්ය. මේ ගෑනි මගේ එගේන්ස් වීම්වලට මං ගැන ඔත්තු දෙනවා. මට දැන් මේ ගෑනි හිසරදයක් වෙලා තියෙන්නේ මොකක් හරි තීරණයක් ගන්න වෙනවා. කංජිපානි ශ්‍රී ලංකාවේ සිටින සිය පාතාල ගෝලබාලයන්ට කීවේය. නිනෝසාට මරණ වරෙන්තු නිකුත්කරන්නේ වෙනත් කළ යුතු යමක් නොවූ නිසාය.

වසීම් කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙක්.

මාළිගාවත්තේ පදිංචිකරුවකු වූ ඔහු කුඩා කල සිටම කංජිපානි ඇසුරු කළේය. නිනෝසාගේද ඥාතියකු වන වසීම් නවාතැන්ගෙන සිටියේ …………. නිවසේය. නිනෝසා ඝාතනය කිරීම සඳහා වසීම්ගේ සහාය ලබා ගැනීමට කංජිපානි තීරණය කළේය. ඒ වෙනුවෙන් කංජිපානි වසීම්ට අත දිගහැර මුදල් වියදම් කළේය. නිනෝසාගේ ගමන් බිමන් ගැන පමණක් නොව අනියම් සම්බන්ධතා ගැන පවා සියලු විස්තර වසීම් කංජිපානි වෙත ලබා දුන්නේය.

2018 වර්ෂයේ අගෝස්තු 26 වැනිදා රාත්‍රි නිනෝසා ඝාතනය කිරීමට කංජිපානි සැලසුම් සකස් කළේය. තමන් ඝාතනය කිරීමට තම නීත්‍යානුකූල සැමියා සැලසුම් කළ බව නොදත් නිනෝසා මාළිගාවත්ත නිවසේ රැඳී සිටියාය.

එහෙත් ඒ වනවිට කංජිපානි එවූ අළුගෝසුවන් දෙදෙනෙක් මාළිගාවත්ත ජුම්මා මජ්ජිඩ් පාරේ පිහිටි නිනෝසාගේ නිවස ආසන්නයේ රැඳී සිටියහ. කංජිපානි ගෙන් නියෝග ලැබුණු වහාම ක්‍රියාත්මක වූ අළුගෝසුවන් දෙදෙනා නිවසට කඩාවැදී නිනෝසාට වෙඩි තබා ඝාතනය කර පළා ගියහ. මේ ඝාතනයෙන් මාළිගාවත්ත ගිනි ගත්තේය. තම බිරිඳ ඝාතනය කළ පුවත ඇසීමෙන් කංජිපානි ඉම්රාන් දැඩි ලෙස සතුටට පත් පත් වුණේය. ඝාතනය සිදුවී දින කීපයක් ගතවන්නට පෙර ඒ පිටුපස සිටින්නේ කංජිපානි ඉම්රාන් බව මුළු මාළිගාවත්තම දැන ගත්හ.

විරුද්ධවාදීන් විනාශ කිරීම

මේ අතර මාකඳුරේ මධුෂ් කංජිපානි සුසංයෝගය කොළඹ නගරය පාතාල භීෂණයෙන් දෙවනත් කරන්නට පටන් ගත්හ. තම විරුද්ධවාදීන් අමු අමුවේම ඝාතනය කරමින් කොළඹ නගරය පුරා පාතාල භීෂණය ව්‍යාප්ත කළ කංජිපානි මධුෂ් සුසංයෝගය ආරක්‍ෂක අංශවලට පවා අභියෝග කළේය.

ඒ වනවිට කංජිපානිගේ මෙන්ම මධුෂ්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ කොටහේනේ පූකුඩුකන්නාය. ජම්පටා වීදියේ සෙල්ලිගේ පුත්‍රයන් දෙදෙනා යොදාගෙන පූකුඩු කන්නාගේ කල්ලියේ සාමාජිකයන් එකා දෙන්නා ඝාතනය කරමින් කොටහේනේ පාතාල බලය සහ කුඩු ආධිපත්‍ය තමන් වෙත ලබා ගන්නට කංජිපානි ඉම්රාන් කටයුතු කළේය. ජම්පටා වීදිය කේන්ද්‍රකර ගෙන එකදිගට සිදුවූ මිනීමැරුම් නිසා කොළඔ නගරයම දැඩි උණුසුම් වී තිබුණේය.

මේ අතර පූකුඩුකන්නාගේ පියා ඝාතනය කළේය. පූකුඩුකන්නාගේ කල්ලියට සම්බන්ධවී සිටි පුද්ගලයන් මෙන්ම ඔවුන්ට ඔත්තු ලබාදුන් කීප දෙනෙකුම මෙසේ ඝාතනය කෙරිණි.

කොළඹ පාතාලය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවූ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ජීවත් වූහ.

මධුෂ් කංජිපානි ඇතුළු 26 දෙනෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඔය අතරතුරදීය. මධුෂ්ගේ දුවගේ උපන් දින සාදයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ පිරිස එරට බන්ධනාගාරයේ රඳවනු ලැබීය. මාස කිහිපයකට පසු මධුෂ් කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මධුෂ් සහ කංජිපානි අත්අඩංගුවට ගන්නා ලදි. පොලිස් භාරයේ සිටියදී විමර්ශන කටයුත්තකට මධුෂ් රැගෙන යද්දී මාලිගාවත්ත ප්‍රදේශයේදීම ඔහු ඝාතනයට ලක් වුණේය.

ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනය වූ බව කියන මධුෂ් ඒ වන විට මෙරට අංක එකේ පාතාල නායකයා බවට පත්ව සිටියේය. මධුෂ් ඝාතනය ගැන ඇසීමෙන් මෙරට සුවහසක් ජනතාව සැනසුම් සුසුම් හෙලූහ.

එහෙත් කංජිපානිට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබුණේය. වසර කීපයක් බන්ධනාගාරයේ රඳවා තැබුවේය.

බන්ධනාගාරයේ සිටියද ඔහු එහි සිට සියලු ජාවාරම් කරගෙන ගියේය. ඒ සියල්ල සිදුවුණේ දුරකථන මාර්ගයෙන්ය. කංජිපානිගේ පියා වරක් බන්ධනාගාරයට එද්දී කෑම පාර්සල් තුළ සඟවා ජංගම දුරකථන ඇතුළු තවත් තහනම් භාණ්ඩ කීපයක් ගෙනැවිත් අහු වුණේය.

කංජිපානි බන්ධනාගාර ගත වූ පසු පූකුඩුකන්නා සහ ඔහුගේ සමීපතම සගයා වූ බුම්බා එක්ව කොළඹ පාතාලය සියතට ගැනීමට කටයුතු කළෝය. කංජිපානිගේ සහායකයන් එකා දෙන්නා ඝාතනය කරමින් සිය පාතාල බලය ව්‍යාප්ත කිරීමට ඔවුන් සමත් වූහ.

තම පියා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස කංජිපානිගේ පියා මරා දැමීමට පූකුඩුකන්නා සැලසුම් කළේය. ඒ සඳහා තම කල්ලියේ මැරයන් පිරිසක් යෙදවූ පූකුඩුකන්නා මහ මගදී සිය ඉලක්කය සපුරා ගත්තේය. කංජිපානි ඉම්රාන්ගේ පියා කපා කොටා ඝාතනය කර තම පියා මරා දැමූ පලිය ගන්නට පූකුඩුකන්නාට හැකි විය.

බන්ධනාගාරය සිය තාවකාලික නිවහන කරගෙන සිටි කංජිපානි තමන්ට අවශ්‍ය බොහෝ දේ සපුරා ගත්තේය. ඒ සඳහා දූෂිත නිලධාරීන්ගේ සහාය නොමඳව ඔහුට ලැබී තිබිණි.

වසර තුනක පමණ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටි කංජිපානි පසුගියදා ඇපමත මුදා හැරියේය. ඒ සඳහා ඇපකරුවන් තිදෙනෙකුද ඉදිරිපත් වූහ. විදේශ ගමන් තහනමක් ද අධිකරණයෙන් ඔහුට පනවා තිබිණි.

එහෙත් ඒ සියලු නියෝග තඹ සතයකට මායිම් නොකළ කංජිපානි ඉම්රාන් නමැති මැරයා ඇප ලැබී පැය 24 ක් ගතවන්නටත් මත්තෙන් රටින් පළා ගියේය. අපේ බුද්ධි අංශ යම් ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නම් මේ පාතාල මැරයාට රටින් පැනයෑමට ඉඩ සැලසෙන්නේ නැත. ඉන්දියාවේ හෝ ඩුබායි රාජ්‍යයේ සිට මේ පාතාල මැරයා නැවතත් මෙරට පාතාලය පාලනය කිරීමට කටයුතු කරනු ඇත.

නැවතත් කොහේ හෝ රටකින් කංජිපානි ඉම්රාන් අල්ලාගෙන අපේ රටට භාරදෙන තුරු බලාසිටීමට අපේ ආරක්‍ෂක අංශවලට සිදුවනු ඇත. එහෙත් මේ පාතාල මැරයා විසින් කිරීමට නියමිත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනී මැරුම් ඇතුළු අපරාධ ඉවසාගෙන බලා සිටිනවා හැරෙන්නට අපට කිරීමට තවත් දෙයක් ඉතිරිව නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment