ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල ඡන්දයෙන් විපක්ෂය ජය ගනී

384

ඉකුත් සතියේ පැවති ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ ජන්ද විමසීමේදී ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රස් මණ්ඩලයට අයත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (හවුස් ඔෆ් රෙප්රසෙන්ටේටිව්ස්) බහුතර බලය සුළු වැඩි ආසන සංඛ්‍යාවකින් ජය ගෙන තිබේ. ඇමරිකානු මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 435ක් වන මුළු ආසන සංඛ්‍යාවෙන් බහුතරය වන ආසන 218ක් මේ වන විට රිපබ්ලිකන් පක්ෂය විසින් දිනා ගෙන ඇති අතර තවත් ආසන කිහිපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පවතින වාතාවරණයක් තුළ මුළු ජන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් පසු රිපබ්ලිකන් පක්ෂයට එම මන්ත්‍රී මණ්ඩලයේ ආසන 223ක් දක්වා සංඛ්‍යාවක් හිමි වනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වී තිබේ.

රිපබ්ලිකන් පක්ෂය මෙසේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාව සුළු වැඩි ප්‍රතිශතයකින් ජය ගෙන ඇතත් ඉදිරි වසර දෙකක කාලයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්තීන් හා වැඩපිළිවෙළ අවහිර කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමටත් එම සුළුතර වැඩි බලය ප්‍රමාණවත් බව දේශපාලන විචාරකයෝ පවසති. මේ අතර දැනට මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථා නායිකාව වන පාලක ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන නැන්සි පෙලොසි සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇති අතර ලබන ජනවාරි මාසයේදී කොංග්‍රස් මණ්ඩලය රැස් වූ විට ඇය වෙනුවට රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයෙකු කථානායක ධුරයට පත් කර ගැනීමට නියමිතව තිබේ. ඇමරිකානුවන් විසින් ලබා දී ඇති ජන්ද ප්‍රතිඵලය අනුව පාලක ඩිමොක්‍රටික් පක්ෂයට හා රිපබ්ලිකන් පක්ෂයට ජනතාව වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. ඇමරිකානු ජන්ද විමසීමට අනුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය එක් වැඩි ආසනයකින් ජය ගැනීමට පාලක ඩිමොක්‍රටික් පක්ෂයට හැකි වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment