ඇමරිකානු පොලිසිය සොරා වෙනුවට නිවසේ හිමිකරුට වෙඩි තැබූ බව හෙළි වෙයි

430

පොලිස් රියෙන් බිමට බැස්ස විගස වෙඩි තබා ඇතැයි සාක්කිවලින් තහවුරු වේ

ඇමරිකාවේ ටෙක්සාස්හි ඔස්ටින් නගර පොලිසිය 33 හැවිරිදි රාජ් මුණසිංහ නමැති තරුණයාට වෙඩි තබා මරා දැමුවේ කෙසේදැයි දැන් හෙළි වී ඇත. ඔහුගේ සොහොයුරු ජොහාන් පැවසුවේ පොලිසිය එකවරම රාජ් මුණසිංහට වෙඩි තැබූ බවයි.

එන්. බී. සී. ප්‍රවෘත්ති සේවය හෙළි කළේ රාජ් මුණසිංහට වෙඩි තැබීමෙන් පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණ මුණසිංහට ඔහුගේ අත් පෙන්වන ලෙස නියෝග කර ඇත.

රෝහලට ගෙන යෑමෙන් පසු මුණසිංහ මියගොස් ඇත. රාජ් මුණසිංහට වෙඩි තැබූ ඩැනියෙල් සැන්චස් නමැති පොලිස් භටයා එම වෙඩි තැබීමට පෙර ප්‍රශ්න කිරීමක් සිදු කර නැත.

සංචාරයක නිරත වී සිය නිවස වෙත පැමිණ රාජ්ට මිතුරකු පැවසුවේ යම් කිසිවකු ඔහුගේ නිවසට වැදී ඇති බවයි. ඊට පෙර ද සොරෙක් නිවසට ඇතුල් වී පලා ගොස් තිබිණි. මේ නිසා ආත්ම ආරක්ෂාව සඳහා ඔහු අවියක් ලබාගෙන තිබිණි.

එම අවිය රැගෙන නිවසේ ඉදිරියට පැමිණි රාජ් එය නිවස වෙත ඉලක්ක කරන අයුරු අසල පිහිටි නිවසක මුරකරුවකු දැක අංක 911 පොලිස් අංකයට අමතා එක්තරා පුද්ගලයෙක් නිවසක් ඉදිරියේ අවියක් ඉලක්ක කර සිටින බවට පැමිණිලි කර ඇත. ඒ අනුව ඩැනියෙල් සැන්චස් නමැති පොලිස් භටයා පැමිණ අවියක් අතැතිව සිටින රාජ් මුණසිංහට වෙඩි තබා ඇත.

ඔස්ටින් නගර පොලිසිය ඉන්පසු රාජ්ගේ නිවස සෝදිසි කර කිසිදු සොරෙක් එහි නැතැයි පවසා තිබේ.

එහෙත් සිදුවූයේ කුමක්ද? පොලිසිය වෙඩි තබා ඇත්තේ සොරාට නොව ගෙදර හිමිකරුටය. පොලිස් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සොරා ගෙදර රැඳී සිටිනු ඇතැයි සිතිය හැකිද?

එසේම පොලිසිය වෙත රාජ් වෙඩි තබා නැත. ඔහු සිය නිවස ඉලක්ක කර වෙඩි තබද්දී ඩැනියෙල් සැන්චස් නිවසේ හිමිකරුට ඉලක්කය බලා වෙඩි තබා තිබේ.

පොලිස් වෙඩි තැබීමෙන් රාජ්ට වෙඩි වැදී තිබුණේ ඔහුගේ පපුවට ද නැත්නම් සිරුරේ කුමන ස්ථානයකටද යන්න ගැන පොලිසිය හෙළි කර නැත.

පොලිසිය නිකුත් කළ වීඩියෝ දර්ශනවල සඳහන් වී ඇත්තේ රාජ් මුණසිංහ සිය නිවසේ ඉදිරිපස දොර වෙත සිය ගිනි අවිය එල්ල කර සිටින අයුරුයි. එසේ නම් ඔහු පොලිසිය වෙත අවිය එල්ල කර නැති බව තහවුරු වේ. රාජ් මුණසිංහ දොර වෙත ගිනි අවිය ඉලක්ක කර නුඹට මෙය ඕනෑ දැයි විමසා තිබේ.

ඉන් තහවුරු වන්නේ නිවස තුළ සොරෙක් සිටින බව නොවේද? ඒ සමගම පොලිස් රියක් නිවස අසලින් ධාවනය වන අයුරුත් විශාල වෙඩි ශබ්දයක් ඇසෙන අයුරුත් වීඩියෝවේ සටහන් වී ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය වසන් කර ඇති බව දැන් පැහැදිලිය. පසුගිය නොවැම්බර් 15 දා රාත්‍රී 12.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

රාජ් මුණසිංහගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන් වී තිබුණේ ඔහු ගිනි අවිය රැගෙන ඉදිරිපස දොර අසලට පැමිණෙන අයුරුත් පොලිස් රථයක් ඒ සමගම නිවස ඉදිරියෙන් ධාවනය වන අයුරුත්ය.

මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව පොලිස් භටයා පොලිස් රියෙන් බැස්ස විගස රාජ් මුණසිංහට වෙඩි තබා තිබේ. ඔහු සැකකරු වැටුණා යයි කෑ ගසා තිබේ.

ඡායාරූපයෙන් දිස්වන්නේ රාජ් මුණසිංහ සිය අවිය රැගෙන නිවස අසල සිටින අයුරුයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment