ඇමරිකානු රජය හිටපු නාවික හමුදාපතිවරයා තහනමට ලක්කිරීමේ සුලමුල

376

තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ සිද්ධියකට චෝදනා එල්ලවූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තහනම් නියෝගයක් පනවා ඇත. මෙය පැමිණිලිකරු, සාක්‍ෂිකරු සහ විනිසුරු ලෙස ක්‍රියා කිරීමකි. කරන්නාගොඩ මෙම සිද්ධියට වරදකරු වූයේ කෙසේද? ඔහුට එරෙහිව රහස් පොලිසිය හමුවේ සාක්කි දුන්නේ කවුරුද? එසේම මේ සිදුවීම ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් සිදු වූයේද?

පැහැර ගැනීමට ලක්වූ එක් තරුණයකුගේ සොහොයුරිය වූ ජෙයනි හමුවීමට ගිය හිටපු රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සියලු තොරතුරු හෙළි කළේය. ජෙයනිට ප්‍රංශ තානාපති කාර්යාලය දේශපාලන රැකවරණ ලබාදී ප්‍රංශයට කැඳවනු ලැබීය. ජෙයනි නිශාන්ත සිල්වා තමාට එම තොරතුරු පැවසූ බව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට පැමිණ හෙළි කළේය. ඒ අවස්ථාවේ මානව හිමිකම් කවුන්සිලයේ සිටි එකම ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා මා පමණකි. ඇය කළ ප්‍රකාශය වසන්ත කරන්නාගොඩට බරපතළ ප්‍රශ්නයක් විය. එහෙත් රජය නිශාන්ත සිල්වාට එරෙහිව හෝ ඔහු පසුපස හඹා ගියේ නැත. ජනපතිව සිටි ගෝඨාභය රාජපක්‍ෂ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නිශාන්ත සිල්වාට අමතරව හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ද රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් කළේය. එම අතුරුදන් වූ තරුණයන් රඳවා සිටි බව කියන ත්‍රිකුණාමලයේ ගන්සයිට් භූගත කඳවුරද එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට විවෘත විය. නාවික හමුදා බුද්ධි සේවාවේ සියලු තොරතුරු ද එම නිලධාරීන් වෙත යොමුවිය. ගන්සයිට් කඳවුරේ සිටි තරුණයකුට නාවික හමුදා නිලධාරියකු ලබාදුන් දුරකථනය ඔස්සේ එම තරුණයා තමා ඇතුළු පිරිස එම කඳවුරේ රඳවා සිටින බව හෙළි කරනු ලැබීය.

එහෙත් නොසිතූ දෙයක් සිදුවිය. ඒ එම තරුණයන් අතුරුදන් වීමයි. මේ කිසිදු තරුණයෙක් කොටි ත්‍රස්තයන් හෝ රජයට එරෙහි වූවන් නොවේ. එහෙත් කප්පම් ගැනීමේ අරමුණින් නාවික හමුදා නිලධාරියකු විසින් රඳවා තැබූවන් බව හෙළි විය. එම නිලධාරීන්ට නාවික හමුදා ප්‍රධානියකු විසින් රොලෙක්ස් අත් ඔරලෝසුවක් තෑගි කර තිබූ බව පසුව හෙළි විය. ගන්සයිට් කඳවුරේ රඳවා සිටි තරුණයන් 11ක පිරිස වෙඩි තබා මරා මුහුදට විසිකර ඇතැයි පසුව හෙළිවිය. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන කීපයක් සහ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ජේසීඑෆ් සංවිධානය එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමග ත්‍රිකුණාමල ගන්සයිට් භූගත බංකරයට ගොස් ඡායාරූප ගෙන එම ඡායාරූප ලොව පුරා ප්‍රචාරය කරනු ලැබීය.

මෙම අමානුෂික සිද්ධිය ප්‍රචාරය වුවත් හිටපු ජනපති එම සිද්ධිය ගැන නිසි විමර්ශනයක් කළේ නැත.

අවසානයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තරුණයන් 11ක පිරිස අතුරුදන් වීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක් යොමු කළේය. එහි ප්‍රතිඵලය වූයේ හිටපු නාවික හමුදාපතිට ඇමරිකාවට ඒම තහනම් කිරීමය.

මේ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවන් දෙදෙනා වූ ට්‍රැවිස් සින්නයියා අද සිටින්නේ ඕස්ට්ට්‍රේලියාවේය. ඔහු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස ද ක්‍රියා කළේය. පසුව ඔහු තමා දේශපාලන පළිගැනීමකට ලක්වූ බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් නාවික හමුදාපති ධුරයට පත්විය. මේ තොරතුරු හෙළිවන අවස්ථාවේ සින්නයියා නාවික හමුදාපති නිසා නාවික හමුදාවේ අතීත තොරතුරු රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී තිබිණි.

මේ පසුබිම මැද හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ඇමරිකාවට පමණක් නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අදාළ යුරෝපා රටවලට පැමිණියහොත් ඔහුව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇත. ඒ ජගත් අධිකරණ ක්‍රියාවලිය යටතේය. ඇමරිකාව මේ වනවිට මෙරට හමුදා ප්‍රධානීන් තිදෙනකුට තහනම් නියෝග ප්‍රකාශයට පත්කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මානව හිමිකම් උල්ලංඝනය කළ වුන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන්ට ද තහනම් නියෝග නිකුත් කර ඇත. ඊට හොඳම නිදසුන හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ බිරියට ද තහනමක් පැනවීමයි. මෙවර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ බිරිය වන ශ්‍රීමතීට ද තහනමක් පනවා ඇත. මේ තහනම ගැන විදේශ ඇමැති අලිසබ්රි දැඩි විරෝධය දක්වා ඇතත් ඇමරිකානු තානාපතිනී ජුලි චන් ඒ ගැන තැකීමක් කර නැත. මෙයට පෙර මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ඇමරිකානු නාවික සීල් ප්‍රධානියකුට චෝදනා එල්ල වී තහනමට ලක්වුවත් ඔහුගේ බිරිය තහනමට ලක් කිරීමට ඇමරිකානු රජය ක්‍රියා කළේ නැත.

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ඇමරිකානු සෙබළුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂණ ආරම්භ කරන අවස්ථාවේ එම අධිකරණයේ විනිසුරුවන්ගේ වත්කම් තහනම් කිරීමට ඇමරිකානු රජය ක්‍රියාකරන බවට තර්ජනය කිරීමයි.

එසේම හිටපු නාවික හමුදාපතිවරයාට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තහනමට ලක් කර නැත. එහෙත් ලොව පොලිස්කාරයා මෙන් ක්‍රියාකරන්නේ ඇමරිකාවයි. කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරියට යුද අපරාධ චෝදනා එල්ල වුවත් බ්‍රිතාන්‍යරජය හෝ ඇමරිකාව විසින් ඇයට තහනම් ආඥාවක් පනවා නොමැත.

මේ පසුබිම මැද මෙරට හමුදා ප්‍රධානියාට තහනම් ආඥාවක් පැනවීමට ඉඩ ලැබුණේ පසුගිය රජය (මෛත්‍රිපාල සිරිසේන පාලන සමය) ජිනීවා මානව හිමිකම් නිලධාරීන්ට සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු සෙවීමට අවසර ලබාදීමයි.

ඊට හොඳම නිදසුන ත්‍රිකුණාමල නාවික කඳවුර පරීක්‍ෂා කිරීමට ඉඩ දීමයි. ලොව කිසිදු ආරක්‍ෂක කඳවුරක් විදේශිකයන්ට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන තත්ත්වය මත තරුණයන් 11ක් අතුරුදන් වීම ගැන නාවික නිලධාරීන් රැසකට චෝදනා එල්ල විය. මේ නිලධාරීන්ගේ වත්කම් සෙවීමට ද කිසිදු රජයක් ක්‍රියා නොකිරීම මවිතයට කරුණකි.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment