ඇමරිකානු රටවල කොරෝනා වසංගතය දරුණු ලෙස ඉහළට

306

යුරෝපය හා සමානව ඇමරිකානු රටවලද කොරෝනා වසංගතය දරුණු ලෙස හිස ඔසවමින් පවතින බවට පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ. ඇමරිකානු කලාපයේ රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉකුත් සතියේදී සියයට 23කින් වර්ධනය වී ඇති අතර ඉන් වැඩිදෙනකු වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවලිනි.

පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයට අනුව ඉකුත් සතියේ ඇමරිකානු කලාපයේ රටවලින් කොරෝනා ආසාදිතයන් අට ලක්ෂ අසූදහස් පන්සීය අසූතුන් දෙනකු (880,583) හා කොරෝනා මරණ 15,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. උතුරු ඇමරිකානු රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවලින් වැඩි කොරෝනා ආසාදිතයන් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමට සමගාමීව දකුණු ඇමරිකානු රටවල් වන බ‍්‍රසීලය, සුරිනාමය, වෙනිසියුලාව, ඉක්වදෝරය හා පැරගුවේ යන රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද වැඩි වෙමින් පවතී. ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම බොහෝ ඇමරිකානු රටවල් සිය කොරෝනා මර්දන සෞඛ්‍ය නීති රීති කලින් ලිහිල් කිරීම හා බොහෝ රටවල කොරෝනා එන්නත් ලබා ගත් පිරිස අඩු මට්ටමක පැවතීම මෙසේ වසංගතය නැවත හිස එසවීම කෙරෙහි බලපා ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. කෙසේ වුවද ලතින් ඇමරිකානු රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ අඩු වීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර නිසි පරිදි කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළහොත් ලබන මාර්තු මාසය වන විට යුරෝපා රටවලින් කොරෝනා මරණ හත් ලක්ෂයක් පමණ වාර්තා වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment