ඇමරිකාවේ දඟ පන්දුවට කඩුල්ල මුවා කළ ඉම්රාන් ඛාන්

558

අවසාන පන්දුව තෙක් කඩුල්ලේ රැඳී සිටින බවට ප්‍රතිඥා දුන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැන් හිටපු යන විශේෂණය සහිතව ඉතිහාසයට එක්වී අවසානය. නිදහසින් පසු මහජන ඡන්දයෙන් තේරී පත් වූ කිසිදු පාකිස්තාන අගමැතිවරයකුට වසර පහක කාලයක් ගත කිරීමට නොහැකි වීමේ අභාග්‍යය ඉම්රාන් වෙත ද මුහුණ දීමට සිදු වි තිබේ. තමාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයට මුහුණ දිය නොහැකි වූ ඉම්රාන්, වහාම සිදු කරන ලද්දේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩුල්ල රැක ගැනීම සඳහා සැරසීම වුවත්, මෙම විසුරුවා හැරීම පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවනීතික බවට පත් කිරීමත් සමග කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ඉම්රාන් වෙත අග්‍රාමාත්‍ය තනතුර අහිමි වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අණ පරිදි පාර්ලිමේන්තුව යළි රැස් වීමෙන් පසුවය. මන්ත්‍රීවරු 342කින් යුත් පාකිස්තාන පාර්ලිමේන්තුවේ, ඡන්ද 174ක් ලබාගැනීමට හැත්තෑ හැවිරිදි ෂෙබාස් ෂරීෆ් සමත්වීමත් සමග, ඔහු එරට 23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

● කවුද මේ ෂෙබාස් ෂරීෆ් ?

ඇමරිකාවේ දඟ පන්දුවට කඩුල්ල මුවා කළ ඉම්රාන් ඛාන්

තුන් වතාවක් පාකිස්තාන අගමැති තනතුර හොබවන ලද නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාවන ෂෙබාස් ෂරීෆ් එරට අන්තර්වාර අගමැති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ප්‍රකාශ කර තිබුණේ, 2023 දී පැවැත්වීමට නියමිත මීළඟ මහ මැතිවරණය දක්වා ඔහු අගමැති ලෙස කටයුතු කිරීමට නියමිත හෙයිනි.

විශ්වාස භංගයට මුහුණ දීමට නොහැකිව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අගමැති ඛාන් තීරණය කරන ලද්දේ, මහ මැතිවරණයක් සඳහා අවස්ථාව ලබාදෙමිනි. එම මහ මැතිවරණය සඳහා ඛාන්ගේ දේශපාලන පක්ෂයවන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය අගමැති අපේක්ෂක ලෙස නම් කරන ලද හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට එරෙහිව පාකිස්තාන මුස්ලිම් ලීග-එන් නායක ලෙස ෂෙබාස් ෂරීෆ් තරග කිරීමට සූදානම් වී සිටි මොහොතේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ෂෙබාස් ෂරීෆ් වෙත අගමැති තනතුර හිමි වීම විශේෂත්වයකි.

ෂෙබාස් ෂරීෆ් පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සහ දේශපාලන පවුලක උපන් අයකු වන්නා සේම, ජනතාව අතර ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වෙහෙස මහන්සි වී වැඩ කටයුතු සිදු කරන දක්ෂ පරිපාලකයකු ලෙසය. එසේම ඔහුට සහ ෂරීෆ් පවුලට ම දිගින් දිගට ම දූෂණ චෝදනා එල්ල වූ අතර එම දූෂණ චෝදනා සඳහා නඩු විභාග සිදුකර දඬුවම් දෙන පවසමින් ඉම්රාන් ඛාන් බලයට පත්විය.

පන්ජාබ් ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිසි ෂෙබාස් ෂරීෆ් 1997 දී එහි මහ ඇමති බවට පත් වූ අතර හමුදා කුමන්ත්‍රණයකින් පසු සිරගතව, 2000 වසරේ දී සෞදි අරාබියට පිටුවහල් කරන ලදී. ඔහු ආපසු සිය රට බලා පැමිණියේ, සිය දේශපාලන ජීවිතය නැවත ආරම්භ කරමිනි.

පැනමා පත්‍රිකා හි හෙළිදරව් කිරීම් සඳහා අදාළ වත්කම් සඟවා ගැනීමේ චෝදනාව මත සිය සොහොයුරු නවාස්, 2017 වසරේ දී වරදකරු වීමෙන් පසු, ඔහු පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් (පීඑම්එල්-එන්) පක්ෂයේ ප්‍රධානියා බවට පත්ව ජාතික දේශපාලන වේදිකාවට පිවිසියේය.

ෂරීෆ් පවුල සහ පීඑම්එල්-එන් හි ආධාරකරුවන් පවසන්නේ ෂරිෆ් පවුල වෙත පවරන ලද නඩු සහ එල්ල කරනු ලබන චෝදනා සියල්ල දේශපාලනික චෝදනා පමණක් බවය. ෂරීෆ් සහෝදරයන් දෙදෙනා වෙත සහ නාවාස් ෂරීෆ්ගේ දියණිය වෙත ඉම්රාන් ඛාන් අගමැති සමයේ, දූෂණ නඩු රාශියක් පවරනු ලැබිය.

වානේ නිෂ්පාදනය කිරීමෙන් මිලියන ගණනක් රැස් කළ ධනවත් ෂරීෆ් වංශයේ සාමාජිකයකු වූ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවකු වීම හේතුවෙන් 2018 වසරේ දී වසර 10ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 10.5ක දඩයක් නියම වූ ඒ සමගම ඔහුට සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. නවාස්ගේ දියණිය වූ මාරියම් නවාස් වෙත ද අධිකරණය වසර හතක සිර දඬුවමක් පැනවූ අතර පාකිස්තාන දේශපාලන භූමියේ දී ෂරිෆ් පවුල වෙත දැඩි ලෙස චෝදනා එල්ල වීමට හේතුව වූයේ, නාවාස්ගේ දරුවන් විදේශීය සමාගම් සමග එක්ව ගනුදෙනු කිරීම සහ ඔවුන් සතුව බි්‍රතාන්‍යයයේ ඇති දේපළ සම්බන්ධයෙන් මෙසේ දිගින් දිගට ම චෝදනා එල්ල විය. එසේ වුවත් නව අගමැති ෂෙබාස් මෙතෙක් කිසිදු චෝදනාවකට වැරදිකරු වී නොමැති වීම විශේෂත්වයකි.

ෂෙබාස් ෂරීෆ්ගේ පත්වීම සිදුවන්නේ ඛාන්ට සහාය දැක්වීම සඳහාවන පුළුල් විරෝධතා ව්‍යාපාරයක් ඉරිදා සන්ධ්‍යාවේ දී පාකිස්තානය පුරා පැන නැඟීමෙන් පසුවය. ලාහෝර් සහ පෙෂාවර් ඇතුළු ප්‍රධාන නගරවල දස දහස් ගණනක ඉම්රාන්ගේ ආධාරකරුවෝ වීදි බැස, නෙරපා හරින ලද සිය නායකයාට සහාය පළ කළහ. එසේ වුවත් පකිස්තානයේ දේශපාලනික වශයෙන් වැදගත් සහ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාතේ ජනප්‍රිය මහ ඇමතිවරයකු ලෙස සේවය කළ ෂෙබාස් ෂරීෆ්, ඒ සියලු වීදීබැසීම් පාර්ලිමේන්තුවෙන් කෙළවර කර ගන්නා ලද්දේ විපක්ෂයේ බහුතර බලය ප්‍රදර්ශනය කරවමිනි.

● ඉම්රාන් බලයෙන් පහවීම

ඇමරිකාවේ දඟ පන්දුවට කඩුල්ල මුවා කළ ඉම්රාන් ඛාන්

ඉම්රාන් ඛාන් අගමැති බවට පත්වන්නේ, එරට බලය පිළිබඳව ප්‍රධානම සාධකය ලෙස ක්‍රියා කරන දැඩි හමුදා සහය මතය. ඉම්රාන් ඛාන් බලයට පත්වීම සහ බලයෙන් පහවීම යන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමෙන් පාකිස්තාන දේශපාලන බලය උදෙසා, හමුදාමය පංගුව එක් අතකින් මැන බැලිය හැකිය. අනෙක් අතට පාකිස්තාන දේශපාලන බලය සහ එහි ස්වභාවය මැනිය හැකිය.

පාකිස්තානය උදෙසා පළමු මිලිටරි මැදිහත්වීම සිදුවනුයේ, ව්‍යවස්ථාපිත තත්ත්වය යටතේ සිදුවන කුමන්ත්‍රණයක් ලෙසය. ආණ්ඩුකාර ගුලාම් මොහොමඩ්, 1953 අප්‍රේල් මාසයේ දී ජෙනරාල් අයුබ් ඛාන්ගේ අනුග්‍රහය ඇතිව නසිමුදීන් ආණ්ඩුව නෙරපා හරිමින් කියා සිටියේ, රට මුහුණ දෙන දුෂ්කරතා සමග පොරබදන්නට ඛවාජා නසිමුදීන්ගේ කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැති බවට නිගමනයකට ඔහු පැමිණ ඇති බවය. ඒ අනුව පාකිස්තාන හමුදා ප්‍රධානි වූ, ජෙනරාල් අයුබ් ඛාන්ගේ සහය ඇතිව, පැවැති පාලනය පෙරළා දමන්නට ආණ්ඩුකාරවරයා තීරණය කළේය. 1954 සැප්තැම්බර් 21 දින, ව්‍යවස්ථාදායක සභාව විසින්, 1935 ඉන්දීය රජයේ පනත සංශෝධනය කිරීම මගින් ආණ්ඩුකාරවරයාට ඇති බලතල කප්පාදු කළ අතර ඔහු ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියා කරන තත්ත්වයකට පත් කළේය. ඒ සඳහාවන පළිගැනීමක් ලෙස ආණ්ඩුකාර ගුලාම් මොහොමඩ් ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලද්දේ, ජෙනරාල් අයුබ් ඛාන්ගේ ක්‍රියාකාරී සහයෝගය ඇතිවය. මේ සමග පාකිස්තාන දේශපාලන බලයේ, රස සඳහා හමුදා පදම මුසුවීම ආරම්භ විය.

ව්‍යවස්ථාපිත පාලකයන් හමුදාමය මැදිහත්වීමක් පාකිස්තානයේ දී දෙවැනි වරට ඉල්ලා සිටින්නේ, 1958 ඔක්තෝබර් 7ය. පකිස්තානයේ පළමු ජනාධිපති ඉස්කන්දර් මිර්සා විසින් පකිස්තාන ව්‍යවස්ථාව අවලංගු කර යුද නීතිය ප්‍රකාශ කිරීමත්, ඔක්තෝබර් 27 වැනි දිනත්, හමුදාපති වූ ජෙනරාල් අයුබ් ඛාන් විසින් මිර්සාව නෙරපා හැර පාලනය අතට ගැනීමත් සිදුවිය. 1956 – 1958 අතර සමයේ අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් පාකිස්තානය පාලනය කළ අතර රටේ ස්ථාවරත්වය සඳහා හමුදාව පාලනය කළ යුතු යැයි ජෙනරාල් අයුබ් ඛාන් මේ වනවිට නිගමනයකට පැමිණ සිටි බව සඳහන් වේ. ඒ සමග පාකිස්තානයේ හමුදා පාලන යුගය ඇති විය. මෙයින් පෙනී යන්නේ සිය රාජ්‍යයේ ස්ථාවරත්වය සඳහා පාකිස්තානයේ සිවිල් පාලකයන් හමුදා බලය එහි නිදහසින් පසු මුල් යුගයේ සිට ම අපේක්ෂා කරන ලද බවය. ඒ අනුව පාකිස්තානු හමුදාව පාලන බලය සඳහා අත තැබීම සපුරා මිලිටරි පාලනයක් ලෙසම අර්ථකථනය කළ නොහැකි සේයාවක් පෙනේ. එය එක්තරා අතකින් රාජ්‍ය ආරක්ෂාව සඳහා වූ ඉල්ලුසැපිරීමක් බව කිව හැකිය. අසල්වැසි ඉන්දියාවෙන් සිය දේශ සිමා රැකගැනීමේ සටන පාකිස්තානු රාජ්‍යයේ ප්‍රධානම කාර්යය හෙයින්, සිය රාජ්‍යයේ පළමු වගකීම සඳහා හමුදාව දරන වැදගත් භාවය මෙම මිලිටරි ප්‍රවාහය, පකිස්තාන දේශපාලනය සඳහා අන්තර්ග්‍රහණය වීම සඳහා ප්‍රධාන පිටිබලය නිර්මාණය කළ බව කිව හැකිය.

ප්‍රජාතන්තවාදයේ අවශ්‍යතාවය සපුරාලමින් නිර්මාණය වූ පාකිස්තාන මිලිටරි දේශපාලන අවශ්‍යතාවය, සපුරා සමස්ත පාකිස්තානය සිය ග්‍රහණය සඳහා නතු කරගනු ලබන්නේ, ඔපරේෂන් ෆෙයාර් ප්ලේ මගිනි. දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා පාකිස්තාන හමුදාව, අගමැති සුල්ෆිකාර් අලි භූතෝගේ රජයට එරෙහිව මෙම ඔපරේෂන් ෆෙයාර් ප්ලේ දියත් කරන ලද්දේ, 1977 ජූලි 4 වැනිදා හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සියා උල් හක්ගේ නායකත්වය යටතේය. අගමැති භූතෝ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය සහ පකිස්තාන මහජන පක්ෂය සහ පකිස්තාන ජාතික සන්ධානය යන දෙපක්ෂයේම නායකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ජෙනරල් සියා නියෝග කළ අතර පකිස්තාන ජාතික සභාව සහ සියලු පළාත් සභා විසුරුවා හරින ලද බවත්, පකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන ලද බවත් ජෙනරල් සියා නිවේදනය කරමින්, පාකිස්තානය, සපුරා හමුදා පාලනයකට යටත් කළේය. ජනාධිපති ජෙනරාල් සියා, යුද නීතිය බලාත්මක කරමින් ජාතිකවාදී සහ ආගමික වාදී ඉස්ලාමිය ජනරජයක් බවට පාකිස්තානය පරිවර්තනය කරමින් පෙනී යන්නේ, සිය අනන්‍යතාවය කලාපීය වශයෙන් තහවුරු කර ගැනීම සඳහා පාකිස්තානය මුහුණ දී සිටින ලද අර්බුදයයි.

1999 ඔක්තෝබර් මාසයේ දී හමුදාපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට පක්ෂපාතී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ ඇමතිවරුන් අත්අඩංගුවට ගත්තේ මුෂාරෆ් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු එන විට, මුෂාරෆ් නෙරපා හැරීමට සහ ඔහුගේ ගුවන් යානය පකිස්තානයට ගොඩබෑම වැළැක්වීමට ෂරීෆ් පාලනය ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමෙන් පසුවය. ඒ අනුව යළිත් පාකිස්තානය හමුදා පාලනයක් සඳහා ප්‍රවේශ විය. ඒ වනවිටත් වසර පනස් දෙකක් ගතකර තිබූ පාකිස්තාන ඉතිහාසයෙන් වසර විසි පහක් රට පාලනය කර තිබුණේ හමුදා බලය විසින් වීම විශේෂත්වයකි.

ඇමරිකාවේ දඟ පන්දුවට කඩුල්ල මුවා කළ ඉම්රාන් ඛාන්

මෙසේ හමුදා නායකයන් තිදෙනෙක් යටතේ සිව් වතාවක් ඍජු ලෙස හමුදා පාලනයන් අත්දුටු පාකිස්තානය, ජෙනරල් සියා උල් හක්, ඔහු ගමන් කරන ලද ගුවන් යානය කඩා වැටීමෙන් මරණයට පත්වීමෙන් පසු, හමුදාවෝ තමනට හිතැති රූකඩ පාලනයක් අටවා ගත්හ. එය හඳුන්වන්නේ වක්‍ර හමුදා පාලනයක් ලෙසය. ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් පාකිස්තාන හමුදාවට සමීපව සිට සිය පාලන බලය හෙබවූයේ මෙම වක්‍ර හමුදා පාලනය හේතුවෙනි.

1951, 1980, 1995 යන වසරවල දී පාකිස්තාන හමුදාවෝ දේශපාලන බලය අතට ගැනීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණ අසාර්ථක වූ අතර මේ සියල්ලෙන්ම පෙනී යන්නේ, අට වතාවකට වැඩි ප්‍රමාණයක් පාකිස්තාන හමුදා සිය රාජ්‍යයේ, බලය සඳහා අත තබා ඇති බවය.

ඉම්රාන් ඛාන් බලයට පත් වන්නේ මෙවන් පසුබිමක් සමගය. ඔහුගේ බලයට පත්වීමේ රහස හමුදාව මහ මැතිවරණය සඳහා ලබාදුන් ඍජු සහ වක්‍ර සහයය. මැතිවරණයට පෙර සිට සහ මැතිවරණ ක්‍රියාදාමයේ දී පැහැදිලි ලෙසම හමුදාවෝ ඉම්රාන් බලයට ගෙන එම සඳහා දායක වූහ. පාකිස්තානය යනු එක්සත් ජනපදයේ දකුණු ආසියානු මූලස්ථානය ලෙස සීතල යුද සමයේ ක්‍රියා කරන ලද රාජ්‍යයකි. එක්සත් ජනපදය එම සම්බන්ධය ලිහිල් වීම ඉවසන්නේ නැති සේම, පාකිස්තාන හමුදාව ද නිරන්තරයෙන්ම එක්සත් ජනපදයේ හොඳ හිත සමග ජීවත් වනබව කිව හැකිය. සිය දේශ සිමා අර්බුදයේ සිට ඉන්දීය තර්ජනය හමුවේ එක්සත් ජනපදය සමග ලෝකයේ හය වැනි විශාල ම හමුදාව ලෙස සහ න්‍යෂ්ටික අවි දරන්නකු ලෙස, පාකිස්තාන හමුදාවට එක්සත් ජනපදය සේම, එක්සත් ජනපදයට පාකිස්තානය ද වැදගත් භාවයක් දරන බව කිව හැකිය. මේ හේතුවෙන් පාකිස්තාන දේශපාලන නායකත්වය එක් අතක සිය හමුදාවේ අභිප්‍රාය සේම එක්සත් ජනපදයේ කැමැත්ත අනෙක් අතේද තබා ගෙන, අල්ලපු වැටේ සිටිනා ඉන්දියාව දෙස බලාගෙන දේශපාලන ඒ දණ්ඩ තරණය කළ යුතුව තිබේ. එය පකිස්තාන දේශපාලනයේ අනිවාර්යය අංගයකි. විශේෂයෙන් ම මේ වනවිට පාකිස්තානය පැහැදිලි ලෙසම හඳුනාගත හැක්කේ, ප්‍රේටෝරියානු රාජ්‍යයක් ලෙසය. ඉස්ලාමීය ජනරජයක් ලෙස ව්‍යවස්ථාපිත අයුරින් එය නාමකරණය කර තිබුණ ද එහි ක්‍රියාත්මකභාවය පවතින්නේ, තුර්කියේ මෙන් ප්‍රේටෝරියානු පාලන ආකෘතියකය.

කාල් මාක්ස් විසින් ප්‍රේටෝරියානු යන යෙදුම භාවිත කරන ලද්දේ, නැපෝලියන්ගේ බෑනා වූ තුන් වන නැපෝලියන්ගේ පාලනය විවේචනය කිරීම උදෙසාය. ප්‍රේටෝරියානුවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම උල්ලංඝනය කරන මුත්, සිය අධිකාරිය, බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට යම් දේශපාලන අවකාශයක් ඉතිරි කරන බව කිව හැකිය. දේශපාලන තන්ත්‍රයේ ගාමක බලය සඳහා මිලිටරි සහ සිවිල් පාලන තන්ත්‍රයේ සම්මිශ්‍රණයක් ලෙස මෙය මූලික වශයෙන් හඳුනාගත හැකිය. මිලිටරි බලතල පැවැතීම, තීරණාත්මක අවස්ථාවන්හී දී බලහත්කාරයෙන් ක්‍රියා කිරීම, මෙහෙයවීම සහ සීමා කිරීම හෝ සමාජ ක්‍රියාකාරීත්වය සඳහා පසුබිම සැකසීම, යම් ප්‍රමාණයකට රාජ්‍ය පාලනයේ අභ්‍යන්තරය සඳහා ඇතුළු වීම සිදු කළ ද එය මුළු මනින්ම, මිලිටරි ආඥාදායකත්වයක් නොවේ. එය සිවිල් පාලනයක් සඳහා පවතින මිලිටරි අනුශාසකත්වයක් බවකිව හැකිය.

ඉම්රාන් ඛාන් වෙත සිය අගමැතිකම අහිමි වන්නේ සිය පක්ෂය මහ මැතිවරණයෙන් වැඩි බලයක් ලබාගෙන සිටිය ද ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නොවීම සහ මිලිටරි අනුශාෂකත්වයට සවන්දීම අත්‍යවශ්‍ය තත්ත්වයක් යටතේ, එය නොසලකා හැරීම හේතුවෙන් බව කිව හැකිය. පාකිස්තාන හමුදාව සේම එම පාලනය සඳහා එක්සත් ජනපදයේ ඇති කැමැත්තේ වැදගත්භාවය ඉම්රාන් නොසලකා හරින ලද්දේ, තමන් එසේ නොසලකා හැරීම සඳහා සවිමත් වූ තත්ත්වයක නොසිටියදිය. විශේෂයෙන්ම ඔහුගේ රුසියානු හිතවාදය, කෙතරම් දුර දිග ගියාදැයි පවසතොත්, ඒ සඳහා ඇති හොඳම සංඛේතාත්මක සිද්ධිය වන්නේ, යුක්රේනය සඳහා රුසියාව පහර දෙන දිනයේ, ඉම්රාන් සහ පුටින්, ක්‍රෙම්ලිනයේ සාකච්ඡාහි යෙදී සිටීමය. පසුගිය වසරේ, නව බුද්ධි ප්‍රධානියකු පත් කිරීම සඳහා අත්සන් තැබීම ප්‍රමාද කිරීම වැනි කාරණා හේතුවෙන් දෙවසරක් තිස්සේ ඛාන් තමන් වෙත දක්වන ප්‍රතිචාරය කුමක්දැයි පාකිස්තාන හමුදාව ප්‍රත්‍යක්ෂ ලෙස දැන් ගත්හ. එක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇත්වීමේ ස්වභාවය සඳහා ඉම්රාන් ප්‍රිය කළේය. එසේ නම් ඔහු එහිදී එක්සත් ජනපදය ප්‍රිය කරන පාකිස්තාන ලකුණවන සිය හමුදාව යම් පමණක හෝ සමිප බවක රඳවා ගතයුතුව තිබුණි. ජනාධිපති ජෝ බයිඩන් තනතුරට පත්වූ මුල් දිනවල ඛාන්ට දුරකථන ඇමතුමක් හෝ ලබානොදුන්නේ, ඔහුගේ මෙම එක්සත් ජනපද විරෝධී මනසට දක්වන ප්‍රතිචාරයක් ලෙස විය යුතුය.

ඛාන්ට ට එරෙහි විපක්ෂයේ ස්ථාවරය, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද්දක් බව පැහැදිලිව කිව හැකිය. තමාට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් වූ දිනයේ, සජීවී ලෙස රූපවාහිනියෙන් ජාතිය අමතා, අගමැති ඛාන් ප්‍රකාශ කරන ලද්දේ “ඇමරිකාව මට තර්ජනය කළා” යනුවෙනි. පසුව අගමැති ඛාන් තමනට සිදු කරන ලද තර්ජනය සම්බන්ධයෙන් නම් ගම් සහිතව ප්‍රකාශ කළේය. අගමැති ඉම්රාන් ඛාන් හෙළි කළේ එක්සත් ජනපදයෙන් ලැබුණු තර්ජනාත්මක පණිවිඩය එවා ඇත්තේ, එහි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලුවිසින් බවය. තර්ජනාත්මක ලිපියේ සඳහන්ව ඇත්තේ, “විශ්වාසභංගය සාර්ථක වුවහොත් අපි ඔබට සමාව දෙමු. එය සාර්ථක නොවන්නේ නම් සහ ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ රැඳී සිටියහොත් පාකිස්තානය අසීරු තත්ත්වයකට පත් වනු ඇත, යන්න බව ඉම්රාන් වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

ඩොනල්ඩ් ලූ සහ පකිස්තාන තානාපති අසාද් මජීඩ් අතර පැවැති හමුවකදී, දෙපාර්ශ්වයේම සටහන් තබන්නන් පැමිණ සිටි බවත්, රැස්වීම අවසන් වීමෙන් පසු එවන ලද කේබල් පණිවිඩයේ මෙම තර්ජනය ගැබ් ව තිබූ බවත් ඛාන් විස්තර කළේය. තමන් බලයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද රජය කටයුතු කරන බවට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිදු කළ චෝදනාව සම්බන්ධයෙන්, ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ කේට් බෙඩිංෆීල්ඩ් පැවසුවේ, එම චෝදනාවේ කිසිම සත්‍යයක් නොමැති බවය. බයිඩන් පරිපාලනයේ මේ දිනවල අවධානය යොමු වී ඇත්තේ චීනය සමග බල තරගය සහ ආරක්ෂාව අතින් වැදගත් අර්බුද දෙකක් වන ඇෆ්ගනිස්තානයෙන් හමුදාව ඉවත් කර ගැනීමෙන් පසු තත්ත්වය සහ රුසියාව සහ යුක්රේනය සම්බන්ධ ගැටුම පිළිබඳවය. 1993 සිට 1997 දක්වා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස සේවය කළ හිටපු තානාපතිවරයකුවන රොබින් රෆෙල්, පකිස්තානය කෙරෙහි ජනාධිපති බයිඩන්ගේ දැක්ම විස්තර කළේ “ප්‍රවේශ නොවන ප්‍රවේශයක්” ලෙස ය. එම ප්‍රවේශය සඳහා හේතු වන්නට ඇත්තේ, එක්සත් ජනපදයේ අභිප්‍රාය සඳහා ඉම්රාන් ඛාන්ගේ පාකිස්තානයේ නොගැළපීම බලපා ඇති බව කිව හැකිය.

නව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්, චීනයේ එක තිරයක් – එක මාවතක් සඳහා වන මූලාරම්භය සඳහා ඩොලර් බිලියන ගණනකවන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව මෙහෙයවීමට මූලික වූ අතර බීජිං සමග ධනාත්මක සබඳතාවක් පවත්වාගෙන යයි. එසේම ඔහු එක්සත් ජනපදයේ අභිප්‍රාය සපුරාලීම සඳහා තමන්ට පැවරී ඇති කාර්යය ද අවබෝධ කරගෙන සිටින බව පෙනෙන අතර සිය සොහොයුරු නවාස් ෂරීෆ් මෙන් පාකිස්තාන හමුදාව සමග එදිරිවාදිකම් ඇත්තකු ද නොවේ. ඔහු පාකිස්තාන හමුදාව සමග දිගින් දිගට ම සුහද ආකාරයෙන් කටයුතු කළේය. විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් නව අගමැතිවරයා ලෙස තේරී පත් වූ විගස, අගමැති නරේන්ද්‍ර මෝදී “පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව මියන් මුහම්මද් ෂෙබාස් ෂරීෆ්ට සුබ පැතුම් කලාපය ත්‍රස්තවාදයෙන් තොර සාමය සහ ස්ථාවරත්වය සහිත කිරීම ඉන්දියාවේ අපේක්ෂාවයි. එවිට අපගේ සංවර්ධන අභියෝග කෙරෙහි අවධානය යොමු කර අපගේ ජනතාවගේ යහපැවැත්ම සහ සමෘද්ධිය සහතික කළ හැකිය, යනුවෙන් සිය ට්විටර් තිරයේ සටහනක් තබා ප්‍රකාශ කළේය.

දැන් ඇත්තේ ෂෙබාස් ෂරීෆ්ගේ වාරය ය. එකට තැබිය නොහැකි බොහෝ දේ ඔහුගේ ගමන් මල්ලේ ඇත. ඒ සියල්ල සමග ඔහු පාකිස්තානයේ ගමන් කෙසේ රැගෙන යනු ඇද්ද?

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment