ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය මුදල් විශුද්ධිකරණ චෝදනාවට වරද පිළිගනී දඩුවම් නියම කිරීම ජූලි 20

513

ලක් රජයට අයත් ඇමරිකන් ඩොලර් 332027 ක් වංචා කිරීමට තැත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයකු වන ජාලිය වික‍්‍රමසූරිය මහතා ඒ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇත. ඔහු මෙම වංචාව කිරීමට උත්සහ දරා ඇත්තේ ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා අලූත් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට යෑමේදීය. මේ පිළිබඳ නඩු තීන්දුව මේ වසරේ ජූලි මස 20 දා ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ සඳහා දඬුවම වනු ඇත්තේ පස් අවුරුදු සිර දඬුවමක් සහ මුදල් දඩයකි.

 ඉහත සඳහන් වංචාවට අදාළ ක‍්‍රියාවලිය සිදුවී ඇත්තේ වසර 2012 අගභාගයේ සහ 2013 නොවැම්බර් මාසය අතරය. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ඇමරිකාවේ වොෂින්ටන් ඞීසී නගරයෙන් ගොඩනැගිල්ලක් මිලට ගැනීමට ගිය අවස්ථාවේදී එහි නියම වටිනාකම ඩොලර් 332027 න් ප‍්‍රසාරණය කර පෙන්වීමට ඔහු උත්සහ දරා ඇති බවට චෝදනා එල්ල විය. එසේ වැඩි කෙරුණු මුදල් මෙම ගොඩනැගිලි ගනුදෙනුවට කිසිසේත්ම සම්බන්ධ නැති සමාගම් දෙකකට බැර කිරීමට ඔහු උත්සාහ දරා ඇති බව ඇමරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලියවිල්ලක සඳහන් වේ. එහෙත් එය කිරීමට බැරි වූ බැවින් එම මුදල් නැවත වතාවක් ශ‍්‍රී ලංකා රජයේ ගිණුම්වලට බැර කිරීමට ඔහු පියවර ගෙන ඇත.

 හැට එක් හැවිරිදි ජාලිය චිත‍්‍රාන් වික‍්‍රමසූරිය ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ ආලින්ටන් ප‍්‍රදේශයේ වාසය කරන අතර වසර 2008 සිට 2014 දක්වා ඇමරිකාවේ සහ මැක්සිකෝවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේය. ඔහු පෙර කී චෝදනාවලට වරද පිළිගෙන ඇත්තේ වොෂින්ටන් ඞීසී නගරයේ අධිකරණයේදීය. ඔහුට විරුද්ධව වංචා කිරීම් පිළිබඳ චෝදනා දෙකකුත් මුදල් විශුද්ධිකරණ චෝදනා දෙකකුත් වීසා වංචා චෝදනා එකකුත් තිබේ. නඩු විභාගයේ මුල් කොටසේදී ඔහු වරද පිළිනොගත් අතර පසුව තානාපති මුක්තිය යටතේ එම චෝදනා බැහැර කිරීමට තැත් කළද එම උත්සාහය ව්‍යර්ථ විය.

advertistmentadvertistment
advertistmentadvertistment