ඇමැතිකමට තට්ටු වෙලා හිටපු අයත් කිට්ටු වෙලා

427

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන අදහස අත්හැර දමා නැත. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවද ඒ වෙනුවෙන් පෙනී සිටී. විපක්‍ෂ නායක සජිත් මෙන්ම ජ.වි.පෙ. අනුර කුමාර ඍජුවම එයට විරෝධය දක්වා සිටිති. ඔවුන්ගේ විරෝධතාවලට පදනමක් ද තිබේ. ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම පිටතදීත් සිදුකළ වාද විවාදවලදී මතු කරන ලද ප්‍රධාන කරුණක් වූයේ ඒ ප්‍රතිපත්ති හා අනුගත සැලැස්ම ඉදිරිපත් විය යුතු බවය. මේ වනතුරුත් එබඳු සැලැස්මක් නැතහොත් වැඩපිළිවෙළක් ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් කර නැත. ඇත්ත වශයෙන්ම අද රටට වුවමනා ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකි. ප්‍රායෝගික සැලසුමකි. අද වනවිට මේ ජනාධිපතිවරයා එම ධුරයට පත්ව මසක් සම්පූර්ණ වී තිබේ. එහෙත් ජනතාවගේ පැත්තෙන් සෑහීමකට පත්විය හැකි කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් වී නැත. සමාජ – දේශපාලන ආර්ථික අර්බුද විසඳීම වෙනුවට, දේශපාලනයේ ප්‍රතිලාභ නෙලා ගැනීම් ආත්මාර්ථය අදත් අපට දැකගත හැකිය. ජනාධිපති රනිල් මැදිවී සිටින අර්බුදය සුළුවෙන් තක්සේරු කළ නොහැක. එහෙත් ඔහු මේ අර්බුදයේ වගඋත්තරකරුවන් සමග, ඔවුන්ගේම අභිමතය පරිදි පාලනය මෙහෙයවමින් සිටින බවට තිබෙන චෝදනා ප්‍රතික්‍ෂේප කළ නොහැක.

සර්ව පාක්ෂික ආණ්ඩුව යනු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවලින්ම ගොඩනගා ගත යුත්තකි. එයට බාහිරව අලුතින් කිසිවෙක් හෝ එක්කරගත නොහැකිය. රාජපක්‍ෂ පාලනයට එරෙහිව නැගුනු ජනතා විරෝධය සමනය කළ හැකි එක් මගක් ලෙස ඇතැම් කෙනෙක් යෝජනා කළේ ජාතික ලැයිස්තුව මගින් හෝ විද්වත් හා වෘත්තික කීපදෙනෙක්වත් අලුතින් එකතු කර නව කැබිනට් මණ්ඩලයක් සුළු කාලයකට පත් කළ යුතු බවකි. එහෙත් එබඳු කැපකිරීම් මේ දේශපාලන විකෘතිය තුළ අපේක්‍ෂා කිරීම ද මුළාවකි.

ගෝඨාභයගේ ඉවත්වීමෙන් පසු එතැනට පත්වූ රනිල්ට වර්තමාන දේශපාලන අවකාශය තුළ ප්‍රාතිහාර්ය පෑ නොහැකි බව රහසක් නොවේ. එහෙත් ඔහු විධායක ජනාධිපති භූමිකාව තුළ කිසියම් ස්වාධීනත්වයක් හා පෞරුෂයක් ගොඩනගා නොගතහොත් පොහොට්ටුවේ කපුටන් කෙටීමෙන් බේරීමට ඉඩක් ද නැත.

ඉහත සඳහන් කළ පරිදිම ජනාධිපති රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැනම දැඩි අවධානය යොමු කරන්නේ ද තමන්ට එල්ල වන පොහොට්ටු පීඩනය අවම කර ගැනීමට ද විය හැකිය. පොහොට්ටුවට තිබෙන දේශපාලන විවේචන කෙබඳු දැයි ඔහු හොඳින්ම දනී. රාජපක්‍ෂවරුන්ට එල්ල වූ විරෝධය ගැන ද ඔහු දැනුවත්ය. එහෙත් අද පොහොට්ටුව හිස ඔසවමින් ජනාධිපති මෙහෙයවීමට තරම් ධෛර්යක් ලබා තිබෙන බවද පෙනේ. අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලයට ඇතුළත් විය යුතු අයගේ නාමලේඛනයක් මේ වනවිටත් ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බව එම පක්‍ෂයේ ලේකම්වරයා මාධ්‍යවලට පවසා තිබේ. තවද පොහොට්ටුවේ මාධ්‍ය හමුවකදී එහි එක් මන්ත්‍රීවරයෙක් පවසා සිටියේ තම පක්‍ෂය මේ වනවිටත් පරිත්‍යාග රැසක් කර තිබෙන බවත්, ඒ අනුව ජනාධිපති ධුරය මෙන්ම අගමැති ධුරය ද වෙනත් පක්‍ෂවලට ලබා දී තිබෙන බවත්ය.

ඇමැතිකමට තට්ටු වෙලා හිටපු අයත් කිට්ටු වෙලා

මේ අමන ප්‍රකාශනය ඒ මන්ත්‍රීවරයාගේ දැනුම හා බුද්ධිය පිළිබඳ එකක් ලෙස සැලකීමට වඩා ඒ වචන හා අදහස් පොහොට්ටුවේ ප්‍රබලයන් විසින් ඒ වෘෂභ මන්ත්‍රීවරයාට ගිල්ලවන ලද ඒවා බව අපට හැඟේ. ඇත්ත වශයෙන්ම අද පොහොට්ටුව හැසිරෙන ආකාරයෙන් පෙනී යන්නේ ඔවුන් බොහෝ දෙනකු තිගැස්සීමට ලක් වූ ගාලුමුවදොර අරගලය සුළඟේ පාවී ගොස් ඇතැයි සිතන බවය. සාමාන්‍යයෙන් අමතක වීම යනු අපේ දේශපාලන නායකයන්ට මෙන්ම බොහෝ ජනතාවට ද තිබෙන පොදු දුබලතාවකි. එහෙත් මේ රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බව අපට මතක් කර දෙන සුළු පිරිසක් ද සිටිති. මේ දුෂ්කර අවස්ථාවේ නායකයන් පක්‍ෂ භේද අතහැර, ප්‍රතිලාභ වරප්‍රසාද අමතක කර තම ජාතික වගකීම් ඉටුකළ යුතු යැයි ද ඔව්හු අවධාරණය කරති. එහෙත් එය කිසි දිනක ඉටුනොවන, අප හැම රැයකම දකින සිහිනයක් වැන්න.

ජනාධිපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කරන්නේත් පවතින සම්මත දේශපාලන ක්‍රමය හා ඒ මාර්ගය දැන් ප්‍රතික්ෂේප වී තිබෙන බවය. එදා තමන්ගේ දේශපාලන ගුරුවරයා මෙන්ම ඥාතියා ද වූ ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය නායකත්වය පිළිබඳ සමාජගත කළ අධිපතිවාදි සුපිරි බලමහිමය අද නිෂ්ක්‍රීය වී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. ජනාධිපති දෙවියකු නොව මහපොළවේ ජනතා හදගැස්ම හඳුනා ගන්නා අයෙක් බව ඔහු අද පිළිගෙන තිබේ. ජයවර්ධන තමන් වෙනුවෙන් යොදාගත් ‘උතුමාණන් වහන්සේ’ යන්නත් මහින්දට යොදාගත් ‘ආයුබෝවන් මහා රජාණනි’ යන්නත් අද අවලංගු වී ඇති බවද ඔහුගේ අදහස වී තිබේ. ඇත්ත වශයෙන්ම ජුලි 09 වැනිදා මෙරටේ සිදුවූ ඓතිහාසික පෙරළියට නායකත්වය දුන් තරුණයන්ගේ ප්‍රාර්ථනාව වූයේ ද මෙම ප්‍රභූ දේශඵාලන පැලැන්තියත්, එම ක්‍රමයත් යන දෙකම අහෝසි කර දැමීමය. ඒ අපේක්‍ෂාව ඈත ගම් දනව්වල අන්තිම ගැමියාගේ ද පැතුම ලෙස වැඩුණු ආකාරය දෙස් – විදෙස් සියල්ලෝම විස්මයෙන් හා කුතුහලයෙන් යුතුව බලා සිටියහ. 2022 ජුලි මාසයේ මෙම සමාජ දේශපාලන පරිවර්තනයේ යෝධ පියවර ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අවධානයට ලක් වූවකි. මෙය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම් ලක්‍ෂයක් බව බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල දැක්විණි.

ලංකාවේ පොහොට්ටුවේ ඇතැම් ළිං මැඩියන් තවමත් ඩෙඟා නටන්නේ මේ කිසිවක් නොදැනය. මහජනයා විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගත් තමන්ට එම දුර කාලය අවසන් වනතෙක් සිටිය හැකි බවද ඔව්හු පවසති. එහෙත් තම නායකයා වූ ගෝඨාභය ජනාධිපති ධුරය අත්හැර ගියේ කුමක් නිසා දැයි ඔව්හු නිකමටවත් සිතා නොබලති. ඔවුන්ට අනුව ආපසු ලංකාවට පැමිණෙන ගෝඨාභයට යළිත් තම ධුරයට වුවද පත්විය හැකිය. මක්නිසාද යත් එය ව්‍යවස්ථානුකූලව, තහවුරුව විශාල ජනවරමකින් අනුමත කරන ලද තත්ත්වයකි. පොහොට්ටුවේ මොන්ටිසෝරි දේශපාලන චරිත ගැන අපට කීමට දෙයක් ද නැත. එහෙත් මාටින් ලුතර් වරක් ප්‍රකාශ කළ පරිදි රටක පාර්ලිමේන්තුව දෙස බලා ඒ රටේ ජාතික, සංස්කෘතික ආඪ්‍යත්වය ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි නම් අපේ තත්ත්වය ගැන කවර කතාද?

පසුගිය දිනක ජ.වි.පෙ. දේශපාලන ක්‍රියාකාරී නලින්ද ජයතිස්ස පවසා තිබුණේ පොහොට්ටුවේ බහුතරයක් ඇතුළු මන්ත්‍රීවරුන් වැඩි දෙනෙක් මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ වන්නේ ද ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප, වාහන බලපත්‍ර ඇතුළු වෙනත් ප්‍රතිලාභ අහිමි වන නිසා බවය. එය සත්‍යයකි. අද මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත්, සමාජවාදයක්වත් නැත. ඇතැම් අය එය හඳුන්වා ඇත්තේ බඩගෝස්තරවාදයක් ලෙසය. හොරකම, බොරුව, වංචාව, අල්ලස, දූෂණය අද දේශපාලනය හා රාජ්‍ය පාලනය සමග වෙන් නොකළ හැකි තරමටම මිශ්‍රවී තිබේ.

අදත් අපේ දේශපාලනය තුළ ඇත්තේ ජාතික අභිලාෂයන් නොව පුද්ගල කේන්ද්‍රීය අරමුණුය. විශේෂයෙන් ඒ ගර්හිත දේශපාලනයට උචිත පරිදි සකසා ගත් ඡන්ද ක්‍රමයක් ද අද තිබේ. ඇත්ත වශයෙන්ම පවතින මෙම ඡන්ද ක්‍රමය අනුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් බලයට පත්විය හැක්කේ දූෂිත පක්‍ෂ නායකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට පමණි. පසුගිය දිනවල ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් පැවැත්වුනු විද්වත් සංවාදවලදී ප්‍රකාශ වූ වැදගත් අදහසක් විය. එනම් පාර්ලිමේන්තුවට පත් කරනු ලබන මහජන නියෝජිතයන්, ආපසු කැඳවීමේ බලය ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවය. එහෙත් මේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබන අයෙකුට වුවද මන්ත්‍රී ධුරයක් ලබාගත හැකිය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු පාර්ලිමේන්තු අනුමැතියක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමක් හෝ නොමැතිව 2/3 ක පාර්ලිමේන්තු බලයක් හිමි සුපිරි ජනාධිපතිවරයකු වූ (20 වැනි සංශෝධනයෙන් දුන් බලය) ගෝඨාභයට එම ධුරය අත්හැරීමට සිදුවී ඇත. එයින් සංකේතවත් වන්නේ රාජපක්‍ෂ රැස් වළල්ල බිඳී යාමක් පමණක් නොව සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ද මියයමින් තිබෙන බවය. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? දියවන්නාවේ නියෝජනය වන දේශපාලනය තුළින් ඒ ඓතිහාසික ජන පිබිදීමෙන් ප්‍රකාශිත අභිනව දේශපාලනය මැඬලීමක් අද සිදුවෙමින් තිබේ.

ජනාධිපති රනිල් පසුගිය දිනක විද්වත් හමුවකදී ප්‍රකාශ කර තිබුණේ දැන් නීතිය හා සාමය ස්ථාවර වෙමින් තිබෙන නිසා යළිත් හදිසි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් මතු නොවන බවය. එයින් ඔහු ඇඟවීමට යන්නේ හදිසි නීතිය, රාජ්‍ය මර්දනයක් බවට චෝදනා කළ අයට තමන් නිවැරැදි බව පෙන්වා දීම ද විය හැකිය. එහෙත් හදිසි නීතිය උපයෝගී කර ගනිමින් ආණ්ඩුව කිසිදු සමාජ – ආර්ථික ප්‍රශ්නයක් විසඳීමට යොමු නොවූ බවද ජනතාව දනී. එය මුළුමණින්ම ගාලුමුවදොර අරගලකරුවන් වෙනුවෙන් යොදාගත් නිර්දය උපකරණයක් බව නීති ක්‍ෂේත්‍රවල ද විවේචනය විය.

ගාලුමුවදොර අරගලය මර්දනය කිරීම පොහොට්ටුවේ ප්‍රසාදයට හේතු වුවත් එය මෙරටේ බහුතර ජනතාවක් මෙන්ම විද්වතුන්, වෘත්තිකයන් ආදී බොහෝ දෙනෙක් අනුමත නොකරති. එසේම අරගලය නමින් සිදුවූ සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය දේපොල විනාශ කිරීම් ද කිසිවෙකුට අනුමත කළ නොහැකිය. පොලිසිය ඔවුන් ලුහුබඳින ආකාරය ප්‍රශ්නකාරී වුවත්, එයට විරුද්ධ විය නොහැක. නීතිඥ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් මගින් දන්වා ඇත්තේ ද එය නීතිමය රාමුව තුළ සිදුවිය යුතු බවය.

ආණ්ඩුව මෙහිදී දක්වන උද්යෝගය, අවධානය මෙරටේ දූෂණ, වංචා, නාස්තිය, අල්ලස ආදී දුෂ්චර්යාවල නිරතව නිදැල්ලේ සිටින ජාති භ්‍රෂ්ටයන් සම්බන්ධයෙන් ද යොමු නොවීම පිළිබඳ තිබෙන විවේචනයට අපිත් එක් වන්නෙමු. තවමත් රාජ්‍ය ආයතනවල දූෂිතයෝ රජ කරති. එසේම කිසිදු යුක්තියක් හෝ හිමිකමක් නොමැතිව රාජ්‍ය සම්පත්, නිලවාහන, නිවාස නිදහසේ භුක්ති විඳින දේශපාලනඥයෝද සිටිති. ඒ අය නැලවීමත් ආණ්ඩුවට හිසරදයක් වී සිටින විවේචකයන් පසුපස එලවීමත් අපට ද අනුමත කළ නොහැක. අද මේ රට සමාජ – ආර්ථික හා දේශපාලන වශයෙන් විනාස කළ අය සුවසේ වැජඹෙද්දී යහපත් දේශයක් මානව හිතවාදී සමාජයක් උදෙසා අවංකව අරගල කළ තරුණ තරුණියන් ඇතුළු දයාබර, පුරවැසියන්ට හිර ගෙයි දොර හැර දීම කවර යුක්තිධර්මයක්ද? අලුත් ලොවක් – අලුත් හෙටක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය – යෞවනය කැප කිරීමට ඉදිරියට ආ කිසිවකුට මානසික හෝ ශාරීරික හිංසනයක් සිදුවිය යුතු නැති බවද අපගේ අවධාරණයයි. අනෙක් අතට රනිල් අගමැති වූයේත් පසුව ජනාධිපති ධුරයට පත්වූයේත් ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයෙහි අනපේක්‍ෂිත බලයක් ලෙසය. එනිසාම ඔහුට මේ තාරුණ්‍යයේ හෘද සාක්‍ෂිය අගතියකින් තොරව කියවීමටත් එයට සුබවාදී ප්‍රතිචාර දැක්වීමටත් විශේෂ යුතුකමක් ද තිබේ.

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ කෙබඳු සමාජ – ආර්ථික දේශපාලනයක් ද යන්න ජනාධිපති රනිල් පළමුව වටහා ගත යුතුය. ඔහු සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට එකඟ වන්නේ ද ඒ අභිනව ප්‍රතිසංස්කරණ සඳහා විවිධ දෘෂ්ටි කෝණවලින් බලන කැබිනට් මණ්ඩලයක්, පාලන තන්ත්‍රයක් ස්ථාපිත කර ගැනීමටය. එහෙත් මේ ගර්හිත – ජරපත් දේශපාලන වළල්ල යළිත් එහි මුලට පැමිණ සිටියි.

සමාජ දේශපාලන අංශවල මෙන්ම මාධ්‍යවල ද සඳහන් වූ පුවත් සත්‍යය නම් ජනාධිපති රනිල්ට විශාල කැබිනට් මණ්ඩලයක් සහිත රාජ්‍ය හා උප ඇමැති ආදීන් පිනවීමට සිදුවනු ඇත. එහෙත් ඔහු තෝරා ගන්නා පිරිස අතර ප්‍රබුද්ධ, විදග්ධ චරිත කීයක් තිබේද? ජනාධිපතිවරයා වසර හතළිහක් මෙරටේ විවිධ ඇමැති ධුර, ආදිය හෙබවූවෙකි. එසේම අද ඇමැති පොරොත්තු ලේඛනයේ සිටින සෑහෙන පිරිසක් දිගු කලක් එම පදවි හෙබවූවෝය. ඔවුන් බොහෝ දෙනෙක් පදවි වලින් බැබලුනා මිස ඔවුන්ගෙන් ඒ පදවි බැබලුනේද යන්නත් මෙහිදී විමසා බැලිය යුතුය. විපක්‍ෂ නායක සජිත් විවෘතවම ප්‍රකාශ කරන්නේ ඇතැම් අය සමග රෙදි ඇඳගෙන එකට වාඩිවී සිටිය නොහැකි බවය. චෝදනාවලට ලක්වූ නම ඇසූ පමණින් නොදෝමකින් කියන සභ්‍යත්වයක්, ශිෂ්ටත්වයක් නැති අයට මෙබඳු ජාතික ව්‍යසනයකදී භාරදිය හැකි වගකීම කුමක්ද? ගෝඨාභය පාලනයේදීත් එහාට මෙහාට පනිමින් මේ රට අගාධය කරා යන ගමන වේගවත් කළ අයගෙන් අමුතුවෙන් රටට ලබාගත යුතු දෙයක්ද නැත. එසේම පොහොට්ටුව නියෝජනය කරමින් දේශපාලනයට එක්වූ විද්වත් පිරිසක් අදත් මේ පාර්ලිමේන්තුවේ සිටිති. අද රටට වුවමනා ලෝකය සමග ගනුදෙනු කළ හැකි දුරදර්ශී, ප්‍රබුද්ධ පාලන තන්ත්‍රයක් විනා, දේශපාලන වන්දි භට්ටයන්, දූෂිතයන් ලෙස චෝදනාවලට ලක්වූවන් නොවන බවද අපගේ අවධාරණයයි. එබඳු පතිරූප දේශයක් සඳහා තමන් සතු විධායක බලය යොදා ගැනීමට ජනාධිපති රනිල්ට හැකි වුවහොත් රටත් ගොඩය, ජනතාවත් ගොඩය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment