ඇමැතිගේ ප්‍රකාශයට ජයලාල් හරහට නොරොච්චෝලෙත් විරෝධතා

188

ගල් අඟුරු නොලැබුණොත් ජනවාරියේ සිට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කළ සත්‍ය ප්‍රකාශයට හා නොරොච්චෝලේ ඊයේ (22දා) පැවැති විරෝධතාවට එරෙහිව යම් විනයානුකූල පියවරක් ගැනීමට ලංවිම පාලනාධිකාරිය ක්‍රියාකළහොත් ඊට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය යමෙකුට එරෙහිව විනයානුකූල පරීක්‍ෂණයක් සිදුකර යම් පියවරක් ගැනීමේ කිසිදු වරදක් නොදකින බවද ඒ මහතා කීය. නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගල්අඟුරු නොමැති වන බවට ලංවිම ඉංජිනේරුවන් ඇතුළු පිරිස කී කාරණය සත්‍ය එකක් යැයිද ජයලාල් මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා දෙස් විදෙස් සමාගම්වලට විකිණීම නවතනු, විදුලි ගාස්තු ඉහළ දැමීම නවතනු සටන්පාඨ සහිතව ඊයේ (22දා) නොරොච්චෝල ලක්විජය බලාගාරය ඉදිරිපිට විදුලි සේවකයන් විරෝධතා උද්ඝෝෂණයක නිරතවීමෙන් පසු රන්ජන් ජයලාල් මහතා මේ බව කියා සිටියේය.

මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීම කිසිසේත් අනුමත නොකරන බවද ඒ මහතා කීය.

ලංවිම ඉංජිනේරුවන් හා සෙසු සේවකයන් ගල්අඟුරු තිබෙනවාද නැද්ද යන්න දන්නා බවත් ඒ කළ හෙළිදරව්ව පදනම් කරගෙන විනය පියවර ගන්නට සැරසුනහොත් වෘත්තීය සමිති ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඔහු කීය. ඊයේ (22 දා) පුත්තලම, නොරොච්චෝල බලාගාරය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට දහසක පමණ සේවක පිරිසක් එක්ව සිටියහ. බලාගාරයේ අත්‍යවශ්‍ය අංශවල හැර සෙසු සේවක පිරිස්ද මීට එක්ව සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment