ඇමැතිතුමනි… වායු දූෂණය විතරද…?

155

මින් පසු රටට වාහන ආනයනය කිරීමේදී දෙපාරක් සිතා එය සිදුකරන ලෙස වන වැදගත් ඉල්ලීමක් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එනම්, කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් පරිසර ඇමැතිවරයා ඉල්ලා සිටින්නේ මින් පසු ශ‍්‍රී ලංකාවට වාහන ආනයනයේදී විදුලි බලයෙන් ක‍්‍රියාත්මක කෙරෙන වාහන සඳහා ප‍්‍රමුඛතාව ලබා දීමට ක‍්‍රියා කරන ලෙසය.
 
 මේ සඳහා අමාත්‍යවරයා විසින් හේතු දක්වමින් කියා සිටින්නේ පොසිල ඉන්ධන භාවිත කරන රථවාහන මගින් සිදුවන වායු විමෝචනයෙන් හා අනෙකුත් ක‍්‍රම මගින් සිදුවන වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධවලට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 8 ක් වැය කිරීමට සිදුව ඇති බවයි. එනිසා මේ ආර්ථික අභියෝගය ජයගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන වාහන සම්පූර්ණයෙන්ම පාහේ විදුලි බලයෙන් ක‍්‍රියාකරන ඒවා වීම වැදගත් වන බවයි.
 
 රටේ පවතින ආර්ථික අවපාතය හා ඩොලර් සංචිත හිඟය නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග රටට වාහන ගෙන්වීම නවතා ඇත. එම තීරණය අනුව මේ වනවිටත් වාහන ආනයනය තහනම් කර වසර 2 ක් පමණ ගෙවී ගොස් ඇති නිසා පරිසර අමාත්‍යවරයා දක්වා සිටින පාරිසරික, සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයේ යම් ධනාත්මක ප‍්‍රවර්ධනයක් අපි මේ වසර 2 තුළ යම් ලෙසකින් අත්විඳ තිබෙන්නට පුළුවන.
 
 එසේම, කොවිඞ් වසංගතය නිසා රථවාහන ධාවනය සීමා වීම නිසා ද පසුගිය කාලයේ පරිසරයට යම් අස්වැසිල්ලක් ලබන්නට ඇත. එහි ප‍්‍රතිලාභ සෘජුවම සෞඛ්‍ය හා ආර්ථික අංශ හිමිකරගෙන ඇතිවාට සැක නැත. (නමුත් සමස්තයක් ලෙස ආර්ථික චක‍්‍රය නතරව ඇති බැවින් ලාභයට වඩා පාඩු වැඩිවන්නට ඉඩ කඩ වැඩිය.)
 
 මේ තත්ත්වය කෙතරම් ද යන්න පරිසර ඇමැතිවරයා අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවේ දක්වා ඇති සංඛ්‍යාලේඛනවලින් තවදුරටත් පැහැදිලි වේ. ඔහු පවසන පරිදි කොළඹ ඇතිවන රථවාහන තදබදය නිසා දිනකට රුපියල් කෝටි 100 ක ඉන්ධන නිකරුනේ දහනය වෙයි. එසේම, අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම නිසා සහ කාලය අපතේ යෑම නිසා අපේ රටට වාර්ෂිකව සිදුවන ආර්ථික පාඩුව රුපියල් කෝටි 390 ක් බවට ගණන් බලා ඇත.
 
 මේ අනුව මහින්ද අමරවීර මහතා සිදුකරන යෝජනාව ඉතා කාලෝචිත වූවකි. නමුත් එසේ ගෙන්වන වාහනවල බදු අඩුකර සාමාන්‍ය ජනතාවට ද මිලදී ගත හැකි තත්ත්වයට ගෙන ආ යුතුය. එය තවත් සුඛෝපභෝගී භාණ්ඩයක් වන්නේ නම් මධ්‍යම පාන්තිකයින්ට එයින් සෙතක් අත්නොවේ. එක අතකින් සමුද්‍ර දූෂණය අතින් ශ‍්‍රී ලංකාව ලෝකයේ 5 වැනි තැනට ලේඛන ගතකර ඇති රටක් බැවින් අප ඉන්නේ ඉතා අපකීර්තිමත් තැනකය. නමුත් වායු දූෂණය වැළැක්වීම සඳහා තීන්දු තීරණ ගෙන ඇති රටවල් අතර ශ‍්‍රී ලංකාව ඉහළින් සිටී. සෑම පොසිල ඉන්ධන දහන වාහනයක් සඳහාම වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබාගැනීමේදී දුම් සහතිකයක් ලබා ගන්නේ ඒ ජාත්‍යන්තර වායු දූෂණ පාලන එකඟතා ක‍්‍රියාත්මක කිරීම සඳහා ය. මෙම දුම් සහතිකත් හොර පාරේ ගිය සිද්ධි පිළිබඳව කතා අපිට පසුගිය කාලයේ අසන්නට ලැබුණු බව වෙනම කතාවකි. නමුත් සමස්තයක් ලෙස අපි වායු දූෂණ පාලනය අතින් යම් ප‍්‍රගතියක් අත්කරගෙන සිටින රටකි. එසේ හෙයින් ඇමැතිවරයාගේ තීරණය අනුව රටේ බහුතර වාහන සංඛ්‍යාව පොසිල ඉන්ධන නොවන ඉන්ධනවලට (විදුලි) මාරුවීමේදී රට යම් වැදගත් සන්ධිස්ථානයකට පත්වනු නොඅනුමානය. වායු දූෂණය අතින් කප් ගසා සිටින චීනයේ බීජිං නගරය පවා අද වේගයෙන් විදුලි බස් රථ, විදුලි දුම්රිය, විදුලි යතුරුපැදි යනාදිය වෙත පමණක් නොව, හරිත මං තීරු හා පාපැදි මං තීරු වෙත යොමු වෙමින් සිටී.
 
 එසේම, ද්විත්ව පහර (2 Stroke) ත‍්‍රී රෝද රථ ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය මීට පෙර තීන්දුවක් ගන්නා ලද්දේ ඉන්ධන ලෙස පැට‍්‍රල් සමග මිශ‍්‍ර කර යොදන 2T නමැති ඉන්ධන උත්තේජකය දහනය නිසා පරිසරයට සිදුවන හානිය වැළක්වීම සඳහාය. අදාළ එකඟතා අනුව 2000 දශකය වන විට ද්විත්ව පහර ත‍්‍රී රෝද පමණක් නොව, එම අමතර කොටස් ද රටට ගෙන්වීම නවතා දැමිය යුතු වුවත්, අදටත් 2 Stroke ත‍්‍රී රෝද රථ මෙන්ම, 2T ද භාවිතයට ගැනේ. මේ පිළිබඳවද ඇමැතිවරයාගේ අවධානය යොමුවිය යුතුව ඇත.
 
 මේ සියල්ලටත් වඩා මේ රටේ ශබ්ද දූෂණයේ තරම ඉහ වහා ගොස් ඇති බවද පරිසර ඇමැතිවරයාට මතක් කර දීමට අප කැමතිය. ඒ අතරින් ප‍්‍රධාන දූෂක කාරකයින් වන්නේ ප‍්‍රයිවට් බස්කාරයන්ය. ඇතැම් බස්වල ඇති අලි එළවන
 
 ”හෝන්” තවමත් ඉවත් කර නැති අතර, බස් රථ තුළ ඇති, මගියාගේ කන පැළෙන ස්පීකර් හඬ මෙන්ම, කුණු ජරා සංගීත මෙන්ම අවලං චිත‍්‍රපට පෙන්වීම ද මේ සමඟ වහාම තහනම් කළ යුතු ය.

advertistmentadvertistment
advertistmentadvertistment