ඇමැතිවරු ගොන්නක් බංකුවේ, ජනතාව පෝලිමේ…

485

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝග අතර පොහොට්ටු මැති ඇමැතින් සැනසීම ඉහළ අවධානයක් හිමිකර ගෙන ඇත. පසුගියදා මොනරාගල සියඹලාණ්ඩුව දී පැවති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යවස්ථාව පක්ෂයට අවශ්‍ය ආකාරයට පාවිච්චි කර අමාත්‍යධුර 40 සහ රාජ්‍ය අමාත්‍යධුර 30 මායිම කැඞීමට තමන් අකැමැති බවයි. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ සියල්ලන්ටම අවශ්‍ය කැබිනට් ධුරයක් බවයි. හැත්තෑවෙන් එකෙකු ඉවත් කර ඇත. තව 69 ක් සිටිති. උහුලා ගත නොහැකි ජීවන බර, ගෑස් සිලින්ඩර සම්බන්ධ පිපිරීම්, ආහාර, ගෑස් සහ භූමිතෙල් පෝලිම් සහ අදහාගත නොහැකි විදේශීය සංචිත අර්බුදයකට මැදිවී සිටීම හේතුවෙන් ආණ්ඩුවද, ජනතාවද අසරණ වී ඇත. රට මුහුණ දෙන සැබෑ අභියෝග ආණ්ඩුව සහ විපක්ෂය තේරුම් ගත යුතුය. අප රටේ අවාසනාවට ජනතාව රැක බලා ගැනීමට ජනතා ජන්දයෙන් පත්වන මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන සම්බන්ධතා ඇති ව්‍යාපාරික ප‍්‍රජාව ජනතාව රිසිසේ පෙළයි. අමිහිරි ඇත්ත එයයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා සුසිල් පේ‍්‍රම්ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයාව බංකුවෙන් ඉවත් කළේය. ඒ බලයේ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වන තමන්ව බංකුවක් උඩ හිඳුවා තබා ඇති බවට චෝදනා කර පැය 48 යෑමට පෙරය. පේ‍්‍රම්ජයන්ත ප‍්‍රකාශ කළ ආකාරයට එතුමන් ‘රිසව්‘ එකේය. නැතහොත් අතිරේක ක‍්‍රීඩකයෙකි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ ලෙසට බංකුව උඩ හිඳුවා ඇති කණ්ඩායම තීන්දු තීරණ ගන්නා ස්ථානවල නැත.

‘‘කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා තමයි රටම අමාරුවේ දාලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනැ තීන්දු ගත්ත අය” මේ චෝදනාව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා එල්ල කරන්නේ ගෝඨාභය රාජපක්ෂට බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මල්ටි බැරල් රොකට් ප‍්‍රහාරයකි.

පොහොට්ටු පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට 2020 අගෝස්තු මහමැතිවරණයට තරග කළ පේ‍්‍රම්ජයන්ත පාර්ලිමේන්තුවට පත් විය. ආණ්ඩු පක්ෂයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් 12 අතර පේ‍්‍රම්ජයන්ත 11 වැනිය විය. ඔහු මනාප 50,321 ලබා ගත්තේය. අවසන් ස්ථානය හිමිවූයේ මනාප 47,693 ක් ලබාගත් ජගත් කුමාර ටය. නමුත් බංකුවේ හිඳුවා තැබීමට තෝරාගත් කණ්ඩායමට පේ‍්‍රම්ජයන්ත පත්වීමක් ලැබුවේ නැත. බංකුවේ ස්ථානයක් මනාප 120,626 ලබාගෙන හතරවන ස්ථානය හිමිකරගත් ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට හිමිවිය. පොහොට්ටු කණ්ඩායමේ අතිරේක ක‍්‍රීඩකයෙක් වීම ප‍්‍රතික්ෂේප කළ රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යධුරය භාර ගත්තේ නැත. එම පුරප්පාඩුව පිරවූයේ පේ‍්‍රම්ජයන්තය. ඒ පසුගිය 2021 අගෝස්තු 26 දිනය.

වසර 40 ක් තිස්සේ සෑම සති අන්තයකම එළවළු ගැනීමට දෙල්කඳ පොළට යන පේ‍්‍රම්ජයන්ත ‘වොයිස් කට්‘ දේශපාලන නිසා බංකුව අහිමි විය. පක්ෂ, විපක්ෂ සියලූ මහජන නියෝජිතයන් ‘වොයිස් කට්’ දේශපාලනයේ යෙදෙති. හිටපු අගමැති සහ එජාප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ හැර අවස්ථාවක් ඇති සෑම මහජන නියෝජිතයෙක්ම තමන් ඉදිරියට එල්ලවන සෑම මයික‍්‍රෆෝනයට යමක් පැවසීම දේවකාරියක් ලෙස සලකති. පේ‍්‍රම්ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා වර්තමාන අර්බුද සියල්ලට වගකිව යුත්තේ අදාළ විෂයභාර ඇමැතිවරු සහ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත් අය බව පවසන්නේ විශ්වාසයෙනි. මහා කන්නය විනාශ කළ පොහොර අර්බුදය සම්බන්ධයෙන් පේ‍්‍රම්ජයන්ත තවත් මල්ටි බැරල් රොකට් ප‍්‍රහාරයක් එල්ල කළේය. විදේශ ආක‍්‍රමණයක් සිදුවූ කාලයකදිවත් මෙවැනි හානියක් ගොවි ප‍්‍රජාවට සිදු නොවූ බව පේ‍්‍රම්ජයන්ත අවධාරණය කළේය. වර්තමාන අර්බුදය හමුවේ පළමුවෙන්ම විදේශික ආක‍්‍රමිකයන්වත් මේ ආකාරයට ගොවි ජනතාවට මෙතරම් වේදනාවක් නොදුන් බව ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති ශ‍්‍රීලනිප නායක සහ පොහොට්ටු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේනය.

ජනාධිපතිවරයාට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත්කිරීමේ බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට හිමිය. එම පත්වීම් ලබන සියලූම මහජන නියෝජිතයන් බංකුවේ හිඳුවා තිබේද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් 2021 අගෝස්තු 26 දින පත්වීම ලබන අවස්ථාවේ පේ‍්‍රම්ජයන්ත දැන සිටියේ නැතිද? බංකුව උඩ තවදුරටත් සිටින පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉහළ නායකත්වය එල්ල කරන අභියෝගයට මුහුණ දීමේ ශක්තිය තිබේද? පේ‍්‍රම්ජයන්ත දෙල්කඳ ප‍්‍රහාරය එල්ල කිරීමට දින කීපයකට පෙර රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක සමස්ත කැබිනට් මණ්ඩලයම අසාර්ථක බව ප‍්‍රකාශ කළේය. වර්තමාන අර්බුදයට කැබිනට් මණ්ඩලයම වගකිවයුතු බව විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයාද මෙම ලියුම්කරු කළ විමසීමකදී පැවසීය. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාය. කැබිනට් මණ්ඩලයම අසාර්ථක නම් ජනාධිපතිවරයාද එම චෝදනාවට ලක්වීම වැළැක්විය නොහැක. කෙසේ වෙතත් පේ‍්‍රම්ජයන්ත ඉවත් කිරීම බංකුවේ සිටින කණ්ඩායමට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට ප‍්‍රබල බලපෑමක් කරයි.

කුප‍්‍රකට යුගදනවි ගනුදෙනුවට එරෙහිව රටේ ඉහලම උසාවියට ගිය කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අදටත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරයි. පසුගියදා ජනාධිපතිවරයා පුවත්පත් කර්තෘවරුන් හමුවේ ප‍්‍රකාශ කළේ එම අමාත්‍යවරුන් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ අධිකරණයට යෑමට පෙර ඔවුන් තිදෙනා අමාත්‍යධුරවලින් ඉවත්වීම වැඩ යෝග්‍ය බවයි. බොහෝවිට රාජ්‍ය ඇමැති පේ‍්‍රම්ජයන්ත ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහ විදුර වික‍්‍රමනායක සහෝදර රාජ්‍ය ඇමැතිවරයා කළ ප‍්‍රකාශය හේතුවෙන් ඔහුට ප‍්‍රශ්නයක් නොවීම පේ‍්‍රම්ජයන්ත දෙල්කඳ පොළේදී කළ පහර දීමට යම් කිසි බලපෑමක් කරන්න ඇත.

බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ජන්ම දිනය සැමරීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ගාලූ මුවදොරදී සංවිධානය කළ උත්සවයකට පේ‍්‍රම්ජයන්ත සහභාගි විය. ශ‍්‍රීලනිප නායක සිරිසේන, පේ‍්‍රම්ජයන්ත වෙනුවෙන් අවි ආයුද අතට ගෙන ඇත. පොහොට්ටු පක්ෂයට එරෙහිව ප‍්‍රබල ප‍්‍රහාරයක් දියත් කර ඇති ශ‍්‍රීලනිපය සමඟ නැවත එකතු වීමේ අවස්ථාව පේ‍්‍රම්ජයන්තට ඇත. ශ‍්‍රීලනිප නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයේදී පරාජය විය. මෛත‍්‍රිපාල සිරිසේන බලයට පත් විය. ශ‍්‍රීලනිපය දෙකඩ විය. පේ‍්‍රම්ජයන්ත සිරිසේනගේ නායකත්වය පිළිගත්තේය. ඔහු ඒකාබද්ධ විපක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු නොවීය. පේ‍්‍රම්ජයන්ත යහපාලන අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබුවේය.

මන්ත‍්‍රීවරයෙකු ලෙස පේ‍්‍රම්ජයන්ත 2017 අගදී ටොයෝටා ලෑන්ඞ් කෲසර් වර්ගයේ සැප වාහනයක් තීරු බදු රහිතව ආනයනය කර, එය විකුණා දමන අවස්ථාවේදීත් ඔහු සිටියේ යහපාලන කණ්ඩායමේය. ඒ අමාත්‍යවරයෙකු ලෙසය. (සිවිල් සමාජ ක‍්‍රියාකාරියෙකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ‍්‍රී ලංකා රේගුවෙන් කළ ඉල්ලීම නිසා 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වී තීරු බදු රහිතව වාහන ගෙන්වූ සියලූම මහජන නියෝජිතයන්ගේ විස්තර ජනතාව අතරට පත් විය. සෑම මන්ත‍්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂ 30 කට අධික බදු සහනයක් ලැබුණු බව රේගුව කොඩිතුවක්කු මහතාට ලබා දුන් ලේඛනවල සඳහන්ය.)

තම දේශපාලන ජීවිතය කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපතිවරයෙකු ලෙස ආරම්භ කර, 1995 දී බස්නාහිර පළාතේ මහා ඇමැති වී 2000 දී පාර්ලිමේන්තුවට පත් වී, පසුව අමාත්‍යධුර කීපයක් දැරූ පේ‍්‍රම්ජයන්ත පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසුව ඉසුරුපායේ පිහිටි තම අමාත්‍යාංශයෙන් පිටව ගියේ ත‍්‍රිරෝද රථයකිනි. පාර්ලිමේන්තුවට පත්වන සෑම වරකදීම තීරු බදු රහිත අතිශය සැප වාහනයක් ආනයනය කිරීමේ වරප‍්‍රසාදය භුක්ති විඳින මහජන නියෝජිතයන්ගේ ජීවිත මෙතරම් කටුකද? තමන් නැවතත් නීතිඥයෙක් ලෙස මුදල් උපයා වාහනයක් මිලදී ගන්නා බවට පොහොට්ටු මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය අවධාරණය කරන්නේ වර්තමානයේ ක‍්‍රියාත්මක රැවටිලිකාර දේශපාලනය නොවේද?

පළමුවන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වාර්තාව මැති සබයට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව 2015 ජුනි 26 දින ජනාධිපති සිරිසේන විසිරුවා දැමූ අවස්ථාවේදීත් පේ‍්‍රම්ජයන්ත සිටියේ යහපාලන කණ්ඩායමේ ය. පාර්ලිමේන්තුව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසිරුවා හැරියේ එජාපය විනාසකාරී ‘කෝප්‘ වාර්තාවෙන් ගලවා ගැනීමට බව චෝදනා කරන්නේ කොමිනියුස්ට් පක්ෂයේ එවකට මහා ලේකම් වූ ඩිව් ගුණසේකර මැතිතුමාය. එතුමාගේ ප‍්‍රකාශය අභියෝගයට ලක්කිරීමට හැකි අයෙක් ශ‍්‍රීලනිපයේ සිටීද? එසේත් නැතහොත් ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත් මන්ත‍්‍රීවරයෙකුට හිටපු ඇමැති ඩිව් ගුණසේකරට අභියෝග කළ හැකිද?

ඒකාබද්ධ විපක්ෂය ක‍්‍රම ක‍්‍රමයෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තම බලය ස්ථාවර කර ගැනීමත් සමගම යහපාලන ආණ්ඩුව නියෝජනය කළ ශ‍්‍රීලනිපය දියවීම ආරම්භ විය. ශ‍්‍රීලනිප බලය හීනවීම වේගවත්ව සිදුවිය. පළාත් පාලන ආයතන සඳහා වූ 2018 පෙබරවාරි මාසයේ පැවැත්වූ ජන්දයෙන් එජාපය සහ ශ‍්‍රීලනිපය අන්ත පරාජයක් ලැබීමත් සමඟ බැසිල් රාජපක්ෂ මූලිකව නිර්මාණය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් පොහොට්ටු පක්ෂය දැවැන්ත පිම්මක් පැන්නේය. පොහොට්ටු පක්ෂය ඉදිරියේ ශ‍්‍රීලනිපය දණින් වැටුනේය. ජනාධිපති සිරිසේන තමන්ව විනාශ කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා එල්ල කළ රාජපක්ෂවරු සමඟ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් 2018 ඔක්තෝබර් අගදී ක‍්‍රියාත්මක කළේය. පේ‍්‍රම්ජයන්ත සිටියේ රාජපක්ෂ කඳවුරේය. සිරිසේන ජනාධිපතිවරයා මහමැතිවරණයට 2019 ජනවාරි 05 දිනට දින නියම කළේය.

ජනාධිපතිවරයාගේ දේශපාලන වෑයම තේරුම් ගැනීම අපහසු නැත. ශ‍්‍රීලනිප නායකයාට අවශ්‍ය වූයේ මහා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමයි. ඉහළ උසාවිය ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය කණපිට හැරවීම හේතුවෙන් සිරිසේන ජනාධිපතිවරයාගේ මෙහෙයුම පිලි පැන්නේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට 2015 අගෝස්තු මස මැති සබයට පත්වූ කණ්ඩායම 2018 නොවැම්බර් 11 දින විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවාසයේදී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පළමුවෙන්ම සාමාජිකත්වය ගත් කණ්ඩායම අතර මෑතකදී බංකුවෙන් ඉවත් කළ පේ‍්‍රම්ජයන්තද විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම කැබිනට් ඇමැතිවරුන් පිළිබඳව විශ්වාසයක් නැත. ජනාධිපතිවරයා ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් සම්බන්ධයෙන් පේ‍්‍රම්ජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පසු ජනාධිපතිවරයා ජනවාරි 7 දින මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේදී කළ පහත සඳහන් ප‍්‍රකාශය පිළිබිඹු කරන්නේ වර්තමාන අස්ථාවරත්වයට හේතු නොවේද? ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි අවශ්‍ය විටදී විපක්ෂයෙන් මන්ත‍්‍රීවරු නම්මවා ගැනීමට ශක්තියක් තිබෙන පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවධානයට යොමු විය යුතුමය. ජනාධිපතිවරයා මෙලෙස ප‍්‍රකාශ කළේය: ‘‘අද සමහරුන්ගෙන් මොනවා හරි ඇහුවම ඒක රාජ්‍ය ඇමැතිවරයාගේ වැඩක් කියනවා. රාජ්‍ය ඇමැතිවරයාගෙන් ඇහුවම කියනවා කැබිනට් ඇමැතිවරයාගේ වැඩක් කියලා. සමහර වෙලාවට ඒක පළාත් සභාවට අයිතියි කියනවා. නිලධාරීන්ගෙන් ඇහුවම කියනවා නීති නිසා කරන්න බැහැ කියලා. මට පසුගියදා රාජ්‍ය ඇමැතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමැතිවරයෙක් ගිහින් කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා, ඒ කියන්නේ එයත් වැරදියි කියලා. හැම මන්ත‍්‍රීවරයෙක්ම සාමුහිකව ආණ්ඩුව කෙරෙහි වගකිව යුතුයි. ඔහුම වැරදියි කියනවා නම් ඔහු වැඩ කරන්නේ නැහැ. මම ලේකම්වරයෙක් වශයෙනුත් හමුදා නිලධාරියෙක් වශයෙනුත් වැඩ කරලා පෙන්වලා තියෙනවා. අපි වැඩ කළේ සාමුහිකව.”

පාසල් ප‍්‍රජාව ඉදිරියේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ධුරයෙන් හදිසියේ ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට වීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

පේ‍්‍රම්ජයන්ත අමාත්‍යංශයෙන් ගෙදර යැවූ ආණ්ඩුවට වාසුදේව, විමල් සහ උදය ජනාධිපතිවරයා නායකත්වය දරන කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට යෑම නොසලකා සිටිය හැකිද? එලෙසම, ශ‍්‍රීලනිපය එල්ල කරන අභියෝගය හමුවේ තීරණාත්මක තීන්දුවක් නොගෙන සිටිය හැකිද? ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ආඩම්බරයෙන් කියන පරිදි පොහොට්ටු ආණ්ඩුවෙන් වෙනත් මත දරන්නන් ඉවත් වූවාට ප‍්‍රශ්නයක් නැත. විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ඒමට ඕනෑ තරම් මන්ත‍්‍රීවරු සූදානම්ය. ආණ්ඩුව වර්තමානයේ මුහුණ දෙන ප‍්‍රශ්නය සහ ඊට ඇති විසඳුම කිසිසේත් සරල නැත.

පොහොට්ටු මන්ත‍්‍රී සිරිසේන මඩු වලිගයෙන් පොහොට්ටු ආණ්ඩුවට නොනවත්වා පහර දෙයි. ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මෙන්ම පක්ෂයේ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද ප‍්‍රහාර එල්ල කරයි. පොහොට්ටු පක්ෂයෙන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල වෙමින් පවතියි. පොහොට්ටු ආණ්ඩුව තුළ තවදුරටත් ශ‍්‍රීලනිපයට සිටිය හැකිද? ශ‍්‍රීලනිපය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන්ට තවදුරටත් පොහොට්ටු කැබිනට් මණ්ඩලය තුළ සිටීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද?

ශ‍්‍රීලනිප නායකත්වය අවධාරණය කරන පරිදි රට නිවරැදි දිශාවකට යොමු කිරීමේ සැබෑ අවශ්‍යතාවක් මෙන්ම වැඩ පිළිවෙළක් පක්ෂයට තිබෙනවද කියා පක්ෂ නායකත්වය පෙන්වා දිය යුතුයි?. පොහොට්ටුවට චෝදනා කරමින් ආණ්ඩුවේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමේ තේරුමක් නැත. ආණ්ඩුවද ශ‍්‍රීලනිපය පීලි පැන ඇත්නම් වහාම තීන්දුවක් ගහ යුතු නොවේද. යුගදනවි ගිවිසුමට එරෙහිව අධිකරණයට ගිය ඇමැතිවරු වෙනත් පක්ෂ නියෝජනය කළත් පාර්ලිමේන්තුවට පත්වී ඇත්තේ පොහොට්ටු පක්ෂයෙනි. එනිසා ආණ්ඩුව තල තලා තවදුරටත් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමේ තේරුමක් නැත. ආණ්ඩුවද සංදර්ශන පවත්වමින් සිටී. දෙපාර්ශ්වයම තකට තකය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment