ඇමැති අංතට්ටු ලබාගෙන ඇමැති වරදාන බෙදාගැනීම සර්වපාක්‍ෂික රජයක් නොවේ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

63

සර්ව පාක්‍ෂික රජයක් යනු ඇමැති අංතට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවත්, ජනතා බලය ඉදිරියේ ඉතා ඉක්මනින් ආණ්ඩුව පරාජය වන බවත් ඒ වෙනුවෙන් සියලුදෙනා එක්ව සම්මුතියක් හදාගත යුතු බවත් විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී ඔහු මේ බව කීය.

 එහිදී ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

 ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින්, හිටපු අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් ගෙදර යැවූ බවත්, නමුත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්‍ෂ නායකතුමා පැවසීය. නව ජනාධිපතිවරයා පත්වූ දාට පසු දින පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළේ විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබාදෙන බව යැයි කී විපක්‍ෂ නායකතුමා සර්ව පාක්‍ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය යැයි ද පැවසීය.

 එසේ නොමැතිව සර්වපාක්‍ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමැති අංතට්ටු ලබාගෙන වරදාන, වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බව ද ඒ මහතා පැවසීය. 225 ම එකයි යන්න නිවැරදි නොවන බව පැවසූ විපක්‍ෂ නායකතුමා, ඇත්ත වශයෙන්ම 134 ම එකයි යන්න නිවැරදි බවද කීය. ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත යැයි පැවසූ විපක්‍ෂ නායකතුමා එයින් අනතුරුව රට ගොඩනැඟීම වෙනුවෙන් අප සියලුදෙනා එක්ව සම්මුතියක් සකසා ගත යුතු බව ද පැවසීය.

 පැවැතියේ ජනාධිපතිවරණයක් නොවන බව පැවසූ විපක්‍ෂ නායකතුමා ඇත්ත වශයෙන්ම තිබුණේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් බව ද පැවසීය. මහපොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත්, පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵලවලින් පැහැදිලි වූ බව පැවසූ විපක්‍ෂ නායකතුමා, තමන් ඊට ඉදිරිපත් වන්නට ගියේ ඒ යථාර්ථය අවබෝධ කොටගෙන බව ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment